(අ) මනුස්සකම් by Kashalya Dissanayake

පේරාදෙණිය හංදිය දුම්රියපළෙහි දී කොළඹ-මහනුවර නගරාන්තර දුම්රියෙන් බැස තම විශාල බෑගය ද එල්ලා ගෙන ගනේෂ් අනෙක් පස වූ වේදිකාවට මාරු විය. නාවලපිටිය බලා යන දුම්රියක් ඒ වනවිටත් එහි නවතා තිබුණි. ගනේෂ් යන්නේ ගෙලිඔයට ය. ගෙලිඔයට මෙහි සිට ඇත්තේ ටික දුරකි. ඊළඟ ඉෂ්ටේෂම! බස් එකෙන් ගමන ඉක්මන් තමා. ඒත් කෝච්චියෙන් එනකොටයි රටේ ලස්සන දකින්න පුළුවන්. ඒ ලස්සන විඳින කොට උපන් රට ගැන ආඩම්බර හිතෙනවා. කොච්චර කාලෙකට පස්සෙ ද! අසූ තුනේ ජූලි මාසෙට පස්සෙ…. දැන් දෙදාස් දහයත් අත ළඟ. මෙහෙන් පිට වෙනකොට මට අවුරුදු අටයි. නිමල්ටත් අවුරුදු අටයි. එකට සෙල්ලම් කරපු අනෙක් කොල්ලොත් ඒ වයසෙ වගෙ. දැන් නිමල් බැඳලා බබාලත් ඇති. කෝ! අපි එවාපු එක ලියුමකටවත් උත්තරයක් එව්වයැ. නිමල්ගෙ ඇර අනෙක් කොල්ලන්ගෙ නම්වත් දැන් මට මතක නෑ….. නිමල් වුණත් මගේ හිතේ මැවෙන්නෙ කොට කලිසමක් විතරක් ඇඳගෙන. කෝච්චියට යට වෙන්නට පීලි උඩ කාසි තැබූ හැටි, ගහකින් වැටී තම අතක් කැඩුණු හැටි ද ගනේෂ්ට මතක් විය. ඒ ගහේ ගෙඩිවල නම දැන් ඔහුට මතක නැත. ගහේ කොළ වැහෙන්නට තිබුණු කුඩා ගෙඩි!

ගෙලිඔය දුම්රිය පළෙන් බැස්ස ගනේෂ්ට දැනුණේ මංමුළා වූ හැටියකි. අවට වටාපිටාවේ දැන් තිබෙන කිසිවක් ඔහුට ඉස්සර කොයි වාගේ තිබුණා ද කියා මතක නැත. දුම්රිය පාර හරහා ගඟ පැත්තේ ගම්මානයට ත‍්‍රීවීල් යනු දුටු ඔහු පුදුම විය. ඒ කාලයේ තිබුණේ අඩිපාරවල් බව පමණක් ඔහුට මතක් විය. හොඳ වෙලාවට නිමල්ලගෙ ඇඩ‍්‍රස් එක මං ළඟ තියෙනවා. අහගෙන අහගෙන ගිය හැකි නෙ. මට තාම සිංහල අමතක වෙලා නෑ. වැල්ලවත්තෙ මාමා නම් කිව්වෙ මට ඉංග‍්‍රීසි ඇක්සන්ට් තියෙනවා කියලා. සිංහල අමතක වෙනව යැ. මං ඉපදුණෙත් මෙහෙ. හැදුණෙ වැඩුණෙත් මෙහෙ. ලංඩන්වලත් සිංහල යාළුවො ඉන්නවා.

නිමල්ලාගේ නිවස තිබුණේ නගරයට තරමක් නුදුරින් බව ගනේෂ්ට මතක ය. පාලම පසු කළ විට වම්පස පිහිටි පන්සල දුටු විට ඔහු තුළ සතුටක් ඇති වූයේ එය ද ඔහුගේ අතීත ජීවිතය හා බැඳී තිබූ හැටි සිහි වීමෙනි. කංගි නැන්දා, නිමල් හා නිමල්ගේ ශානි නංගී සමඟ තමා ද වෙසක් කූඩු සෑ¥ හැටිත් පන්සලට ආ සැටිත් ඔහුට මතක් විය. පන්සල පසුකර කිලෝ මීටර් බාගයක් පමණ ගිය පසු පරිසරයේ අමුතු බව දැක නැවතත් ඔහු අන්ද-මන්ද විය. ඔහු කඩයකට ගොඩ වැදී ලිපිනය පෙන්වා විමසුවේය.

”ආ.. සමඟි මාවත, අංක 20 නේද? ඔය එහා වමේ කොන්ක‍්‍රීට් පාරෙ තුන්වෙනි ගෙදර. පාර අයිනෙ දෙල් ගහ…”

ගනේෂ් වහා පාරට පැන්නේ ය. කඩකාරයා තවත් කුමක් දෝ ඇසූ නමුත් ගනේෂ්ට එය ඇසුණේ නැත. අහගැනීමට ඉස්පාසුවක් ද ඔහුට නොවී ය. බෑගය පිරී ඇත්තේ නිමල්ගේ පවුලේ අයට ලංඩන්වල දී හා කටුනායක තීරුබදු රහිත සාප්පුවලින් ගත් තෑගිවලිනි. ගත යුතු තෑගි සම්බන්ධ උපදෙස් ලැබුණේ භාෂ්කර්ගෙනි. භාෂ්කර් ගනේෂ්ගේ බිරිඳගේ සහෝදරයා ය. තමා හඳුනාගන්නා නිමල්, කංගි නැන්දා, සුමනෙ මාමා ආදීන්ගේ ප‍්‍රතික‍්‍රියා ගනේෂ්ගේ සිිතේ මැවී ගියේ ය. ඔහුගේ නෙත් කඳුළින් මඳක් තෙත් විය. ගමන ඉක්මන් විය. හදවතේ අමුතු ගැස්මක්, ප‍්‍රසන්න හැඟීමක්, සර්ප‍්‍රයිස් එකක්.

ඔහු නිවස වෙත ළඟා විය. ගෙයි අංකය නිවැරදි ය. ගේට්ටුව වසා ඇත. නිමල්ලාගේ ගේට්ටුව කොයි වගේදැයි ඔහුට මතක නැත. මිදුලේ විශාල දෙල් ගස දුටු ඔහු පුදුම විය. අවුරුදු විසි ගාණකට පස්සෙ. පුදුමයක් යැ. ගනේෂ් ගේට්ටුවේ කොක්ක ශබ්ද කළේ ය. මොහොතකට පසු කොටකලිසමක් හා ටීෂර්ටයක් හැඳ ගත් තරුණයෙක් ගේට්ටුව වෙතට ආවේ ය. නිමල් ද? නැත. මුහුණේ සිනාවක් වත් නැත. ගේට්ටුවට එහායින් බැඳ සිටින බල්ලෙක් මහ හඬින් බුරයි. සුහද පිළිගැනීමක් නැත.

”බඩු විකුණන සේල්ස් රෙප් කෙනෙක් ද? අපට මොනවත් එපා.”

ගනේෂ්ට එකවර පිළිතුරක් සොයා ගැනීම අපහසු විය.

”ඔය කවුද?” තරුණයා තරමක් උස් හඬින් සැරෙන් ඇසී ය. ගනේෂ් ඔහුට ලිපිනය පෙන්වූයේ තමාට කිසියම් වැරදීමක් වී ඇත යන සැකයෙනි.
”සුමනසිරි රත්නායක… මේ ඇඩ‍්‍රස් එක නම් හරි. ඒත් දැන් මෙහෙම කෙනෙක් මෙහෙ නෑ. මෙහෙ ඉන්නෙ පෙරේරා පවුලක්”
”මෙහෙ හිටියෙ මේ ගොල්ල. දැන් ඒ අය කොහෙ ද?”
”අප්පච්චිලා නම් දන්නවා ඇති. අම්මයි අප්පච්චියි ගෙදර නෑ.” කියූ තරුණයා නිවස දෙසට ගමන් ගන්නේ ආචාරශීලිත්වයකින් තොරව ය.

කුමක් කළ යුතුදැයි ගනේෂ්ට සිතා ගත නොහැකි විය. ඔහු ආ මඟ දිගේ ආපහු ටවුමට ආවේ විදේශයක අතරමං වූ හැඟීමකිනි. ටවුමේ ලී බඩු සාප්පුව දුටු ඔහුට තමන් කුඩා කාලයේ ද එය එතැන තිබූ බව මතක් විය. ඔහු එහි සිටි තලතුනා මහත්මයකුගෙන් ”සුමනසිරි රත්නායකලා ඉන්නෙ කොහෙද? ඉස්සර ඒ අය උන්න ගෙදර දැන් ඉන්නෙ වෙන කට්ටියක්” යි කීවේ ය. තලතුනා මහතා තමා දෙස විමසුම් සහිතව බලා සිටිනු දුටු ගනේෂ් ”මගෙ අප්පා පද්මනාදන්. අපිත් අවුරුදු විසි ගණනකට ඉස්සර ගෙලිඔය තමා හිටියෙ.” යැයි කීය.

”හරි හරි… සුරුට්ටු කඬේ පද්මන්….. එයා රට ගියා නේද? මේ රත්නායකලා මේ… මේ ගොල්ල දැන් ඉන්නෙ කිරිබත්කුඹුරෙ. මේ ගොල්ලන් ගිහින් අවුරුද්දකට විතර පස්සෙ ඒ අයට ආපු පංගුවක් ලියුම් අපට තමා බාර දුන්නෙ. නිමල් මහත්තයා ළඟදිත් ඇවිල්ලා ගියා. ඇඩ‍්‍රස් එක දෙන්නම්. කිරිබත්කුඹුර හංදියෙන් වතුරකුඹුර පාරෙ කිලෝ මීටරයක් විතර ගියා ම පාර අයිනෙ බුදු පිළිමයක් ඇති. හොඳම වැඬේ කිරිබත්කුඹුර හංදියෙන් වීලයක් ගන්නකො. නිමල්ගෙ ගෙදර කීවම වීල්කාරයො දන්නවා” යි තලතුනා මහතා ලිපිනය ලියමින් කීවේ ත‍්‍රීවීල් රියක් දෙසට අත දිගු කරමිනි. වීල්! වීල්! ලංකාවට ආපු දවසෙ කොළඹ තියෙන වීල් ගොඩ දැකලා පුදුමත් හිතුණා. දැන් නම් ඒවාට ටිකක් හුරුයි.
ලී බඩු සාප්පුවේ මහතා දුන් ලිපිනය ගෙන ඔහු බසයෙන් අවුත් වතුරකුඹුර පාරේ දෙවන බස් නැවතුම්පළෙන් බැස අතුරු පාරට වැටී අංක 116/2 සෙව්වේ ය. ඒ අංකය ඇති නිවස දුටු ගනේෂ් පුදුම විය. ඔහු සිතා සිටියේ නිමල්ලා හිටි තත්ත්වයෙන් ඉහළ නැඟ වඩා සුවපහසු නිවසක් මිල දී ගන්නට ඇත කියා ය. 116/2 කුඩා ඉඩම් කැබැල්ලක පිහිටි පරණ පාට කුඩා නිවසකි.

මහලූ කාන්තාවක් මිදුලේ වට්ටියක මොනවා දෝ වනා කෙළින් වී කොන්දට අත ගසා නැඟිට සිටියා ය. කංගි නැන්දා ද? ඔව්. කෙස් පැසී සුදු වී ඇඟ කෙට්ටු වී ඇතත් නාසය උඩ ලොකු ඉන්නා එසේ ම ඇත. අම්මා ළඟ තිබූ කංගි නැන්දාගේ ජායාරූපය ගනේෂ්ට සිහි විය. ඇර තිබූ කබල් ගේට්ටුවෙන් ඇතුළු වූ ගනේෂ් දුව ගොස් ”කංගි නැන්දේ” කියා මහලූ කාන්තාව ළඟ දණ ගැසුවේ ය. මහලූ කාන්තාව පුදුම වී ”මේ! මේ! කවුද?..ම්! ම්! මට කංගි නැන්දා කිව්වෙ එක ම එක් කෙනෙක් විතරයි. පොඩි කොල්ලෙක්. හුඟාක් ඉස්සර….”

”ඔව්. කංගි නැන්දෙ මම ගනේෂ්. ගෙලිඔය හිටියෙ. පද්මනාදන්”

”අනේ! දෙයියනේ මෙච්චර ලොකු ඉලංදාරියෙක්. ‘කංගි’ කියලා ඇහෙන කොට මට නිකම් ම ඉස්සර කාලෙට ගියා වගෙ වුණා. අනෙක් අය ‘ගංගා’කිව්වා. පුතාට ‘ග’ යන්න කියවුණේ නෑ…. පුතාගෙ නම ඇහුවම ඒ දවස්වල පුතා කිව්වෙ ‘කනෙත්’ කියලා. අනෙක් ළමයි හිනා වෙනවා. අනේ! යමු ගෙට පුතේ… පුතාලා කොහෙද ඉන්නෙ? අප්පා කොහොම ද? අම්මා එහෙම? යාපනේ ද? ත‍්‍රිකුණාමලේ ද? කෝ ඒ අය? අනේ ඇත්තට! මං වගේ පුතා ඉඳ ගන්නත් ඉස්සර ප‍්‍රස්න අහනවා. හරියට ආපහු හැරිලා දුවයි කියලා වගේ. පුතේ, ඔතනින් ඉඳ ගන්න.” ප්ලාස්ටික් පුටුවක් පෙන්වමින් කංගි නැන්දා කීවා ය.

”කංගි නැන්දට වගේ ම මටත් හුඟක් දේ අහන්න තියෙනවා. සුමනෙ මාමා”

”අනේ පුතේ, මාමා අන්තරා වුණා. ලෙඩ ගානෙ හිටියෙ. පපුවෙ අමාරුව. පුතාගෙ යාළුවා, අපේ නිමල් පුතා නුවර කොළඹ බස් එකක වැඩ. ශානි දුව ගුරුවරියක්. එයත් බැන්දා. දැන් අම්පාරෙ. ඉතින් පුතේ, අවුරුදු කීයකට පස්සෙ ද? පුතා දැන් පිටරටක ද? ලියුමක්වත් එව්වෙ නැත්තෙ?”
”අපි ගෙලිඔයෙන් ගියෙ ත‍්‍රිකුණාමලේ මාමලාගෙ දිහා නෙ. පස්සෙ අප්පා මාත් එක්ක ඕස්ටේ‍්‍රලියාවට ගියා. තමිල් හින්දා ලේසියෙන්ම වීසා ලැබුණා. අම්මත් එහාට ගෙන්නා ගත්තා. ඒ දෙන්නම දැනටත් එහෙ. එහෙදි අප්පා නැන්දලාට ලියුම් එව්වා. උත්තරයක් ලැබුණෙ නෑ. අප්පා හුඟක් දුක් වින්දා මට උගන්නන්න. මට ලංඩන්වලට ශිෂ්‍යත්වයක් ලැබුණා. එකවුන්ටන්සි කරන්න. මට දැන් හොඳ රස්සාවක් තියෙනවා.’’

”පුතා බැඳලා ද?”

”ඔව්. අවුරුදු හයක පුතෙකුත් ඉන්නවා. මට හුඟාක් ඉස්සර ඉඳල ම නැන්දලා බලන්න එන්න ඕනෑකම තිබුණා. යුද්දෙ හින්දා වයිෆ් එන්න දුන්නෙ නෑ. පෙරේදා ලංකාවට ආවෙ. ත‍්‍රිකුණාමලේ මාමලා බලන්න යන්න ඉස්සර ආවෙ නැන්දලා බලලා යන්න… ගෙලිඔයට ගියා.

ඒ ගෙදර දැන් ඉන්නෙ වෙන කට්ටියක්. ලී බඩු සාප්පුවෙ අන්කල් කෙනෙක් මේ ඇඩ‍්‍රස් එක දුන්නා. නැන්දා හින්දා තමයි අද අප්පයි අම්මයි මායි තාම මේ ලෝකෙ ඉන්නෙ…” ගනේෂ්ගේ ඇස්වල කඳුළු පිරී ඇත. ඔහුට ගොත ගැසෙයි. ඔහු නැන්දාගේ අතක් අල්ලා ගත්තේ ය.

”කලබල කියලා ආරංචි වෙන කොට ම නැන්දා අපිව ගෙයි සීලිමේ හැංගුවා. සිංහල මිනිස්සු අපේ ගෙටයි කඬේටයි ගිනි තියලා අපිව හැම තැනම හොයලා නැන්දලාගෙ ගෙදරටත් ඇවිත් කාමර පුරා හොයලා එළියෙ ලැට් එකෙත් බලලා ගියා. දවස් හතරකට පස්සෙ කලබල නැවතුණා ම මහ ? එකට විතර නැන්දලා අපේ වෙස් මාරු කරලා මාමගෙ මෝටර් සයිකලෙන් අපිව පේරාදෙණියට එක්කන් ගිහින් කෝච්චියට දැම්මා. අම්මා ඔසරියක් ඇඳ ගෙන. මමත් ශානි නංගිගෙ ගවුමක් ඇඳගෙන. අප්පා ජාතික බැනියම”

”ඇති ඇති පුතේ. පුතා ඒක මතක තියාගෙන ඉඳලා මූදෙන් හත්ගව්වක් එපිට ඉඳලත් මේ අපිව බලන්න ආවෙ. මනුස්සකම… අපේ නිමල්ගෙ තාත්තත් හිටියා නම් පුතා දැක ගන්න”

”මේ මං නැන්දලාට ගෙනාපු තෑගි… මාමට, නැන්දට නිමල්ට ඇඳුම්… නිමල්ට අයිපෑඞ් එකක්. කැමරා එකක්, ඩිජිටල්. නිමල් ළඟත් තියෙනව ද දන්නෙ නෑ”

”අනේ පුතේ, අපට ටිකක් කරදර වුණා. නිමල් පුතා හරියකට ඉගෙන ගත්තෙ නෑ. ඔය ගෙනාපුවා මොනවද කියලා දන්නෙත් නැතිව ඇති. දැන් බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ලේලිත් පොඩි රස්සාවක් කරනවා.”

”මටත් ගේ දැක්ක ම මොකද කියලා හිතුණා. අර වගේ ලොකු ගෙයක් අතැරලා ආවෙ කියලා මේ පොඩි ගේකට…”

”මං පුතාට තේ එකක් ගේන්නම්.’’ නැන්දා ගෙතුළ දෙසට හැරුණා ය.

”කංගි නැන්දා මොකක් හරි මගෙන් වසංගනවා. තේ එපා. නැන්දේ කියන්ඩ මාමගෙ අසනීපවලට හුඟක් වියදම් හින්දා ගේ විකුණන්න වුණා ද?” ගනේෂ් නැන්දාගේ අත් දෙකම අල්ලා ගෙන ”ප්ලීස් -ප්ලීස්” කියමින් දණ ගසා ගත්තේ ය. ”ඇයි අපි එවපු ලියුම්වලට උත්තර එව්වෙ නැත්තෙ? අපි එක්ක තරහ වුණා ද?’’

”පුතා ආව හැටියෙ ඕවා කියන්න බෑ. පුතාලා එවපු ලියුම් අපට ලැබුණෙ නෑ.”

”ලැබුණෙ නෑ… නැන්දෙ ඇත්ත කියන්න මට. මොකද වුණේ? මොකද වුණේ?”
”ඔව් පුතේ අපේ ඒ ගෙට ආපු ලියුම් විසි කරන්න ඇති. අනේ පුතේ, මේවා ඔයාගෙ අම්මට තාත්තට කියන්න එපා. අපිට ඒ ගේ දාලා යන්න වුණා. මිනිස්සු අපට ඉන්න දුන්නෙ නෑ. ළමයි දෙන්නට මොනවා හරි කරයි කියලා අපට බය හිතුණා. අපිව මරනවා කිව්වා. ගෙට ගල් ගැහුවා. උන් අමනුස්සයො. අපි ටික කලක් කුලී ගේක හිටියා. පස්සෙ මේ ගේ ගත්තා.”

”නැන්දලාට උන් හිටි තැන් නැති වුණා. නිමල්ගෙ ඉගෙනීම කඩාකප්පල් වුණා. අනේ නැන්දේ…” ගනේෂ් කංගි නැන්දාගේ පතුල් මත නළල ඔබා ගත්තේ ය. ගනේෂ්ගේ කඳුළු ඇගේ පතුල් මත වැටුණු අතර, ඇගේ කඳුළු ඔහුගේ කමිසය තුළින් පිට මතට කාන්දු විය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s