ආදරණීය සරස්වතී…….. by Gayani Asingsala Piyadigama

පාසල ආරම්භ කරන සීනුව නාද වූවද එහි කිසිදු ප‍්‍රාණවත් බවක් නොවීය. සරස්වතී පන්තිය සිසාරා නෙත් යැව්වා ය. උසින් උස්ව දිස් වූ බිත්තිවල අතරින් පතර සිදුරුවලින් මළානික හිරුඑළිය පන්ති කාමරය තුළට ගලා හැලේ. කලකට පෙර කාලතුවක්කු ප‍්‍රහාරයකට ලක් ව කඩා වැටුණු බිත්තිය සිටින්නවුන්ගේ හදවත්වල ඊටත් වඩා උණුසුමක් ඇතැයි සරස්වතීට සිතිණි. මාස දෙක තුනක සටන් විරාමය අතරතුර බිඳ වැටුණු පාසල් ජීවිත සොයා ගමේ නිවසක් පාසා ඇවිද යන්නට තමා හා විදුහල්පතිවරයා ගත් උත්සාහය සරස්වතීට මැවී පෙනුණි. එහෙත් එය ඵලදරා වැඩි කලක් ගත වූයේ නැති බව ඇය සිතුවේ කනගාටුවෙනි. එයින් ද ශේෂ වූ මුහුණු කිහිපයක් බලාපොරොත්තු කඩ වූ මුහුණින් තමා දෙස බලා සිටින අයුරු සරස්වතීට පෙනිණි.

”කෝ, අදත් රවී, ගෝපාලන් හෙම ඇවිත් නැද්ද…?”

ඇය ළමුන්ගෙන් ඇසුවාය. කිසිවෙකුගේ හඬ ඉස්මතු වන්නේ නැත. සරස්වතී අසලට රාධා සෙමින් ආවාය.

”නෑ ටීචර්, ඊයෙ රවීලගෙ ගෙවල් පැත්තට කට්ටියක් ඇවිත්. ඒ හන්දා ඉස්කෝලේ එවන්නෑ කියලා එයාලගෙ අප්ප කිව්වා. ගෝපාලන් අද මඩකලපුවෙ මාමලගෙ ගෙදරට යවනවලූ. එයත් ආයෙ අපේ ඉස්කෝලෙට එන එකක් නෑ ටීචර්…”

රාධා කීවේ රහසිනි. එහෙත් ඈ කියූ දෙය දැනසිටි කාගේත් මුවට සුසුමක් නැඟිණි. පන්තියේ කැපී පෙනෙන සිසුවෙකු වූ කුමාරන් මීට දින කිහිපයකට ඉහත දී සංවිධානයෙන් පැහැරගෙන ගියේ පාසල් නිම වී නිවසට යන අතරතුරදී බව සරස්වතීට ආරංචි විය. එය අනෙකුත් සිසුන්ගේ පාසල් ගමනට ද තිත තබන්නට හේතුවක් වූ බව ඇයට පෙනිණි. දිනෙන් දින ම පාසල් එන ළමුන්ගේ සංඛ්‍යාව අඩු වූයේ තමන්ගේ උත්සාහයට වඩා මරණ භය දැඩිව දැනෙන්නට වූ නිසා යැයි සරස්වතී සිතුවාය. සංවිධානයේ බලපෑම වැඩියෙන් ම ගමට දැනෙන්නට වූයේ මෑතක සිට බව විදුහල්පතිවරයා කීවේ ඇය ඒ පිළිබඳ විමසූ අවස්ථාවක ය. යුද්ධය එන්න එන්න ම දරුණු වන බවට පැතිරෙන කටකතා ද දවසින් දවස ගමෙන් අතුරුදන් වන තරුණ තරුණියන් සංඛ්‍යාව වැඩි වන්නට හේතුවක් වූ බව සිහිවීමෙන් සරස්වතීගේ සිතට දැනුණේ මහත් සංවේගයකි.

”කමක් නෑ අපි ඉන්න ටිකදෙනා වුණත් පාඩම් වැඩ පටන් ගමු…. ඔයාලා හැමෝම හිතට ගන්න ඕන දෙයක් තමයි මේ ජීවිතෙන් අපි දිනන්න නම් තියෙන එකම මාර්ගය තමයි ඉගෙනීම කියලා. එහෙම නැතුව ආයුධ අතට ගත්තා කියලා අපිට ලැබෙන අනාගතයක් නෑ.. ඒ නිසා වෙන දේවල් ගැන නොහිතා අපි ළඟ එන විභාගයට සූදානම් වෙමු.”

පන්තියේ ළමුන් අතරින් ඇයට කුමාරන්ගේ රුව මැවී පෙනෙන්නට විය. හැම උදෑසනකම සිනා පිරි මුවින් පන්තියේ ඉදිරි පෙළ අසුනේ ඉඳගෙන සිටි ඔහු ඉගෙනීමට මෙන්ම ක‍්‍රීඩාවටත් එක සේ දක්ෂ සිසුවෙකු වූවා නොවෙද? මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප‍්‍රතිඵල අපේක්‍ෂා කළ අයෙක් වූවත් අද ඔහු කොහේ සිටිනු ඇත්ද? කොතැනක හෝ වනාන්තරයක අවි පුහුණුව ලබනවා ඇත්ද? එසේ නොවේ නම් යුධ පෙරමුණට යවා ඇතිද? ජීවිතය හෝ මරණය වැළඳගෙන ඇතිද? පිළිතුරු අවිනිශ්චිත ප‍්‍රශ්න ගණනාවක් සිතට නැඟුණෙන් සරස්වතීගේ දෑස් කඳුළු පටලයකින් වැසී ගියේ නොදැනුවත්ව ය. පන්තියේ අනෙක් සිසුන්ගේ මුහුණු ද ශෝකයෙන් බිමට බරව තිබෙනු ඇයට පෙනිණි.

බිත්තියේ කොණක දුර්වර්ණව එල්ලී සිටි ලංකා සිතියමේ ඉහළ කොටස ඉරී යන්තමින් එල්ලී සිටිනු සරස්වතීගේ ඇස ගැටිණි. ගම් බෝතලයක් ගත් සරස්වතී සිතියමේ දෙකට ඉරී ඇති ඉහළ කොටසත් පහළ කොටසත් එක්කොට යළි එකට අලවා තැබුවාය. වෙඩි සලකුණු කීපයකින් සිදුරු වී ඇති ඉහළ අර්ධද්වීපයේ තමන් සිටින තැන නිශ්චය කරගැනීමට මෙන් සරස්වතී එදෙස බැලූවාය. එක්ව සිටින විට එක් රටක් ලෙස පෙනෙන්නේ කොතරම් අපූරුවටදැයි සරස්වතීට සිතිණි.

සංගීත කාමරයේ කොණක සැඟ වී සිටි හමුදා සෙබළුන් හට පාද සළඹක හඬ ඇසෙන්නට විය. විදුහලේ ආවරණ කළ හැකි එකම ස්ථානය ලෙස ඉතිරිව තිබූ සංගීත කාමරයේ භාණ්ඩවලින් ආවරණය වී තිබූ එහි මුවා වූ කිසිවෙකු සොයාගැනීම දුෂ්කර විය. ඔවුහු වහා නිශ්ශබ්ද වී සූදානම් ව සිටිය හ. පිච්ච මල් සුවඳක් හාත්පස පැතිර ගියේය. සංගීත කාමරයේ දොර හැර ඇතුළට පැමිණියේ තරුණ ගුරුවරියකි. ඈ සිටියේ බර කල්පනාවක බැවින් අවට සිටි කිසිවෙකු ඇස ගැටෙන බවක් නොපෙනිණි. සරස්වතී අවට විමිසිලිමත් වනවිට කාමරයේ ජනේලයක් යන්තම් විවරව ඇති බව පෙනිණි.

”මේක කොහොමද ඇරුණේ….? ඊයෙ මං වහලනෙ ගියේ….!”

තමාට ම මුමුණා ගත් සරස්වතී ජනේලය වසා තැබුවාය. සෙබළුන් හය දෙනා තමන්ගේ හුස්ම හඬ තමන්ට ද නොඇසෙන තරමට සීරුවෙන් සිටියහ. එහෙත් කිසියම් හදිසි අවස්ථාවක් පැන නැගුණහොත් වහාම ක‍්‍රියාත්මක වන ලෙසට ඉඟියක් ප‍්‍රධානියාගේ දෑසේ සටහන් විය. ඔවුන් පිළිබඳ යන්තමක හෝ දැනීමක් නැති ඇය සෙමෙන් ගීයක් මුමුණන්නට පටන් ගත්තාය.

”සරසවියේ දී මා අතගත්
පෙම්වත නුඹ කොයිදෝ
මා අතහැර ගිනි අවිය අතට ගෙන
මරණය එනතුරු දෝ
ඔබ බලා සිටින්නේ
මා අමතක වීදෝ
නැතිවද හමුවන්නේ…”
හමුදා සෙබළුන්ගේ දෙසවන්වල අවධානය මොහොතකට ඈ දෙසට යොමුව තිබිණි. ගීතයට පසු ඇය නැඟු සුසුම් හඬ ඔවුන්ගේ හදවත්වලට තදින් දැනුණේ එකිනෙකා හුස්ම ගන්නා හඬ පවා යටපත් කොටගෙන සිටි බැවිනි. ගුරුවරිය තවත් මොනවාදෝ මුමුණමින් අල්මාරියක තිබූ වයලිනය අතට ගෙන එය වසා තබා නැවතත් කාමරයෙන් පිටතට ගියාය.

”ඉස්කෝලෙ පටන් ගෙනත් දැන් ටික වෙලාවක්. අද මූ කීයට මෙතනට එයිද දන්නෙ නෑ…”

ගුරුවරිය පිටව ගිය බවට ප‍්‍රත්‍යක්‍ෂ කරගත් පසු කෝප‍්‍රල් ජයන්ත තම සගයින් දෙස බලමින් කීවේය.

”ඒක තමයි වැඬේ…. අද අපි පාන්දර තුනට මෙතනට බැස්ස ගමන්… දැන් නං අම්බානක බඩගිනියි මට… තාම කෑම්ප් එකෙන්වත් මැසේජ් එකක් නෑනෙ…”

හමුදා සෙබළුන් හය දෙනාගේ ම මුහුණුවල වූයේ වෙහෙසකර බවකි.

”කීයට හරි මැසේජ් එක දෙනකං ඉතිං මෙතනට වෙලා ඉන්ඩ වෙනවා.” තවත් අයෙක් කීවේය. කෝප‍්‍රල් ජයන්තට තම ප‍්‍රධානියා දුන් අවවාදය සිහි විය.

”මේ තමයි ටාගට් එක… මෙහෙ ඒරියා එක භාරව ඉන්නෙ මෙයා තමයි. කාර්තික් රඝුනාදන්… ඉංජිනියර් ෆැකල්ටි හිටපු කොල්ලෙක්. ඒ නිසා බ්ලාස්ට්වලට කෙළින්ම සම්බන්ධව වැඩ කරනවා. ගිය සතියෙ අපේ අය අරන් ගිය බස් එක බ්ලාස්ට් කළෙත් කෙළින්ම මුගේ ඕඩර් පිට. අපේ වන් වන් නයින් දැනුම් දීලා තියෙනවා තුනේ කඳවුරේ ඉස්කෝලෙ ළඟට මූ එනවා කියලා. ටයිම් එක ෂුවර් නැති නිසා ඔයාලට උදේම ඉස්කෝලෙට බහින්ඩ වෙනවා. හැබැයි කිසිම කෙනෙක්ට දැනෙන්න බෑ. ඒ වගේම කාටවත් ඩැමේජ් වෙන්ඩ බෑ…”

මේජර්වරයා දුන් ඡුායාරූපයේ තිබූ රුව කෝප‍්‍රල්වරයාගේ සිතේ තදින් සටහන් විය. ඔහුගේ උකුසු ඇස් ඒ රුව බලාපොරොත්තුවෙන් පාසල පුරාමත් ඒ අවටත් සක්මන් කළේය.

”ඊයෙ සවස හතට විතර ගමට එනවා කියලා ආරංචි වෙලා අපේ ටීම් එකක් ඉඳල තියෙනවා. ඒත් හරි ගියේ නෑ. ආවෙ නැත්තේ ආරංචි වෙලා වෙන්ඩ පුළුවන්. මොකක් හරි හේතුවකට තමයි මූ ගාඞ් එකක් නැතුව තනියම මෙතනට එන්නෙ.”
”ඒක තමා. අදවත් ගුඞ් නිව්ස් එකක් සර්ට දෙන්න පුලූවන් උනොත් හොඳයි. දවල් වෙනකං බලමුකො…”

සරස්වතී තල් ගස යට පුටුවකට බර දී වයලීනය වාදනය කරන්නට පටන් ගත්තාය. ළමුන් සිටින්නේ එතරම් උනන්දුවකින් නොවන බව ඇයට පෙනේ. එහෙත් ඇය එය ගණනකට නොගනී. වාදනය අතරතුර ඇගේ හිස වරින් වර යොමුවන්නේ පාර දෙසට ය. ඒ බැල්මේ වූයේ බලාපොරොත්තුවක් ද ශෝකයක් ද යන්න පැහැදිලි නැත.
රඝු පාසල වෙත සිය මෝටර් සයිකලය ධාවනය කරන්නට වූයේ වේගයෙනි. දැන් පාසල ඇරඹී බොහෝ වෙලාවක් ගතව ඇත. මෙතෙක් කල් ප‍්‍රමාද වූයේ සිය ආරක්‍ෂකයා මඟ හැර ආ යුතු බැවිනි. සංවිධානයට නව සොල්දාදුවන් බඳවාගැනීම් වේගයෙන් කෙරෙන බැවින් ඉන් විවේකයක් ගන්නට තමාට ඉතා අසීරු ය. එහෙත් සරස්වතී සිහි වනවිට විනාඩියකට හෝ පාසල අසලට විත් යන්නට ඔහු වෙහෙසෙන්නේ ඇය මෙහි සිටින බවට තොරතුරු ලද දිනයේ පටන් ම ය. සරස්වතී අදත් පාසල් එන්නට ඇත්දැයි ඔහු විමසිලිමත් විය.

සරස්වතී විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව ගුරු පත්වීමක් ලැබ ගමේ පාසලට ම පැමිණ ඇති බව රඝුට දැනගන්නට ලැබෙන්නේ ඔත්තුකරුවෙකු මාර්ගයෙනි. තමන් විශ්වවිද්‍යාල ගමන නිමවීමටත් පෙර සංවිධානෙට බැඳෙන බව දැනගත් පසු ඇය හඬමින් ඔහුගෙන් සමුගත් අයුරු රඝුට මැවී පෙනිණි.

”මේ තරං දවසක් මං ඔයාව හොයන්න මහන්සි වුණා. දැන් මගේ සිතට සැනසීමක් දැනෙනවා. සංවිධානෙට බැඳිලා එක දිගටම මහන්සි වෙලා වැඩ කරද්දි මට ඔයාගෙ මතකය අඩුවෙලා ගියා. දැන් මං ඒකෙ ප‍්‍රධාන නායකයෙක් වෙනකං ඇවිත් තියෙන්නේ. ඒත් මට මොකක්දෝ අඩුවක් දැනෙනවා සරස්වතී…”

රඝුගේ මුවට සුසුමක් නැඟිණි. පාසලට තරමක් ආසන්න වී සිටිය දී සරස්වතී සුපුරුදු පරිදි ළමුන් සමඟ වාදනයේ යෙදෙන අයුරු රඝුට පෙනිණ. ඔහුගේ සිතට දැනුණේ මහත් අස්වැසිල්ලකි.

”මෙච්චර කාලයක් ගිහිල්ලත් සරස්වතී ඉස්සර වගේමයි. එදා අහම්බෙන් වගේ එයාව දැක්ක දවසෙ ඉඳන්ම මට හිත හදාගෙන සංවිධානෙ වැඩ කරන්න අමාරුයි. මේ ටිකේ ලොක්ක දුන්න ප්ලෑන් එකක්වත් හරියට කරේ නැති එක ගැන මට කේස් එකක් වැටෙන්ඩ පුළුවන්. කවුරු හරි මං ගැන ඇහැ ගහගෙන ඉන්ඩ පුළුවන් ඒත් මේක ඉව වැටුණොත් සරස්වතීටත් හොඳ නෑ.”

රඝු කල්පනා කළේය. අහඹු ලෙසට ඔහුගේ සවනත වැටුණු ප‍්‍රධානියාගේ කතා බහ රඝුට එවෙලෙහි සිහි විය.

”රඝු යන එන තැන් ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්ඩ ඕන. මේ ටිකේම මිනිහගෙ හැසිරීම අමුතුයි. මගේ ඕඩර් එකක්වත් හරියට කළේ නෑ. කාට හරි මිනිහ ඔත්තු දෙනවා වෙන්ඩ පුළුවන්. තුනේ කඳවුරේ ඉස්කෝලෙ ළඟ කීප දවසක්ම කැරකුණා කියලා මිනිහගේ ගාඞ් මට කිව්වා. ඒ ඇයි, මිනිහා කතා කරන්නෙ කාටද, ඒ මොනවද කියලා මං ඉක්මණට දැනගන්ඩ ඕනි. හරිද…”

මූලස්ථාන භාර නායකයාගේ කතාබහෙන් රඝුගේ සිරුර සලිත වී ගියේය. ඉන්පසු දින කීපයක් ම ඔහු සගයා මඟහැර සිටියේ ය. එහෙත් කෙසේ හෝ මේ තොරතුරු ඔහුගේ කණට යා හැකි යැයි ද ඉන් මහත් ව්‍යසනයක් සිදුවේ යැයි ද ඔහුට සිතිණි.

රඝුට ඒ කතා බහ මොහොතකට අමතක වූයේ සරස්වතී ඇස ගැටීමෙනි. සංවිධානයට බැඳී නැගෙනහිර පළාත බලා යෑමට පෙර අවසන්වරට ඇය මුණ ගැසුණ අවස්ථාවේ දී සරස්වතී කී දේ නැවතත් ඔහුගේ මනසේ දෝංකාර දෙන්නට විය.

”ජීවිතේක වටිනාකම දන්නෙ නැති ඒ වගේ සංවිධානෙකට බැඳිලා ඔයා කරන්න හදන්නෙ සෙල්ලමක්… එහෙම කෙනෙක් එක්ක මට අනාගතයක් ගැන හිතන්න බෑ රඝු… මං ආදරේ කරන්නෙ මිනිසුන්ට මිසක් තුවක්කුවලට නෙවි…”

රඝුගේ සිත යළි සසල විය. සරස්වතීගෙන් තමාට කිසිදිනක සමාවක් නොලැබෙනු ඇතැයි ඔහු සිතුවේය. සංවිධානය තුළ තමන්ගේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ඇය දැනසිටිනු නොඅනුමාන ය. එසේ නම් සරස්වතීගේ සිතේ දැන් ඇත්තේ තමා ගැන වෛරයක් මිස ආදරයක් නොවේද?

සංගීත කාමරයේ සිටින සෙබළුන් යුහුසුළුව ස්ථානගත වී තම ඉලක්කය වෙත තුවක්කුව මානගෙන සිටියි. එහෙත් නොකඩවා එහෙ මෙහෙ දුව පැන යන ළමුන් එයට මැදි වී සිටීම ඔවුන්ට ගැටලූවක් වී ඇත. කුසගින්නත් වෙහෙසත් මැද පීඩාවට පත්ව සිටින ඔවුන්ට ඉලක්කය අත ළඟ වුවද එය සපුරා ගැනීමට අවස්ථාවක් නැත.

”අද මූ ඇවිත් තියෙන්නෙ තනියම. ෂිහ් ළමයි කවර් වෙලා නැත්තං මෙලහකටත් ෆයර් කරලා…”

සෙබළෙක් රහසින් අනෙකාට කෙඳිරුවේය.

”ඒක තමයි. ඒත් පොඩි එකෙක්ට හරි වැදුනොත් වැඬේ අවුල්… තව ටිකක් බලමු… අදම ටාගට් කරගත්ත නං ගොඩ…”

තවත් ටික වෙලාවක් ගතව ගියේය. එහෙත් හමුදා සෙබළුන්ගේ අරමුණ ඉටු වූයේ නැත. ඔවුන් බලා සිටියදීම ත‍්‍රස්ත නායකයා නිරුපද්‍රිතව එතැනින් පිටව ගියේය. හමුදා සෙබළුන් හයදෙනාගේ මුහුණුවල වූයේ කෝපයකි.

”මේ වැඬේ මෙහෙම කරන්න නං බැරි වෙයි. හෙටත් ළමයි හිටියොත් අපිට බලං ඉඳලා යන්න වෙයි. මේ තරං වෙලා බලං ඉඳලත් වැඩක් වුණේ නෑනෙ. මූ තවත් ඔපරේෂන් එකකට වෙන්නැති එන්නේ…”

”ඒ වුණාට අපිට කැප්ටන්ගෙ කීම අහක දාන්න බෑ. අපි මේ ඉන්නෙ ඉස්කෝලෙක. මේක ලේසි වැඩක් නෙවි….”

පසුවදා දහවල් ද පාසල අසලට පැමිණි රඝු මෝටර් සයිකලය නවතා ඈ දෙස බලා සිටියේ ය. රඝු කඳවුරෙන් පිටත් වනවිට ම තවත් උකුසු ඇසක් තමා පසුපස ඇදෙන බවක් දැන සිටියේ නැත. ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබූ එකම සිතිවිල්ල නම් ඈ ගැන පමණි. සරස්වතී කීපවරක් ම විමසිල්ලෙන් පාර බලනු ඔහුට පෙනේ. ඇය තමා හඳුනාගෙන ඇත්දැයි ඔහුට සැක සිතිණි. එහෙත් මෙම ස්ථානයේ ඉඳ ඇය සමඟ කතා කිරීම අවදානම් සහගත ය. ඊයේ රාති‍්‍රය පුරාවට නිදි වරමින් තම සිත කළ අරගලය අවසානයේ ජයග‍්‍රහණ ලැබුවේ ඈ බව සරස්වතී දන්නේ නම්?

සාක්කුවේ දමාගෙන ආ කොළ කැබැල්ල ඔහු නැවතත් දිග ශැර බැලූවේ ය. එය තමන් මේ කියවූයේ කී වෙනි වරටදැයි ඔහුටම මතක නැත.

ආදරණීය සරස්වතී,

බොහොම කාලයක ඉඳන් මගේ හිතට දැනෙන ප‍්‍රශ්නයකට අද විසඳුමක් ලැබුණා. ගත වුණු මාසයක කාලය පුරාවට එක වචනයක් හෝ කතා නොකර ඉස්කෝලෙ ගේට්ටුව ළඟට වෙලා විනාඩියකට හරි ඔයාව දැක ගන්න මං වුණ මහන්සිය දන්නෙ දෙවියො විතරයි. ඒ හැම දවසකම මට අපේ අතීතය මතක් වුණා. අන්තිමට ඔයා ආස කල සංගීත ගුරුවරියක් වෙන්න පුළුවන් උනාට මට ඉංජිනේරුවෙක් වෙන්න බැරි වුණා. ඔයාගේ දැනුම ළමයින්ගෙ මනස පෝෂණය කළාට මගේ දැනුමෙන් මං හොඳ වැඩක් කළේ නෑ. මට ඕන ආයෙමත් මනුස්සයෙන් වගේ ජීවත් වෙන්න. ඒකට මට ඔයාගෙ ආදරය උපකාරය අවශ්‍යයි.

එදා හිටපු රඝුට ඔයා තවමත් ආදරෙයි නම් මේ ලිපිය දුටු පසුව එක වතාවක් හරි තල් වැට අයිනට ඇවිත් මං දිහා බලලා හිනාවෙන්න. ඒක මගේ හිතට ශක්තියක්…. අපි මේ ජීවිතවලින් මරණ බයෙන් මිදිලා දුර රටකට ගිහිං හොඳින් ජීවත් වෙමු.

මෙයට,
ආදරණීය රඝු….

රඝු දිග ෂුසුමක් අල්ලා සිත සනසා ගත්තේ ය. මෙම ලිපිය කියවීමෙන් පසු සරස්වතී දක්වන ප‍්‍රතිචාරය කුමක් වනු ඇත් ද? ඇය තමා පිළිගැනීමට සූදානම් නම් මේ සියලූ ත‍්‍රස්තවාදීකම් අතහැර ඇය සමඟ පළායාමේ සැලැස්මක් ඔහු සිතා ගත්තේ ය. එය මරණය හා කරන සටනක් බව රඝුට දැනිණි. එහෙත් එසේ නොවී ඈ තමා ප‍්‍රතික්ෂේප කළහොත් යළි කිසි දිනක ඈ බැලීමට නොඑන සේ සටන් පෙරමුණට යා යුතු ය.

රඝු දුන් කොල කැබැල්ල අතින් ගත් සිසුවා පවනට බඳු වේගයෙන් සරස්වතී ගුරුතුමිය වෙත දිව ගියේ ය. ඒ අතරතුර සරස්වතී එය ගෙන කියවා බැලූවේ කුතුහලයෙනි. ඇගේ දෑස් විමතියෙන් හා පී‍්‍රතියෙන් බබළන්නට විය. එසේ නම් මෙතකේ කල් තමා සිතූ දේ නිවැරදි ය. දින ගණනක් පුරාවට පාසල අසල විපරම් කළේ රඝු බව දැන ගැනීමෙන් සරස්වතීගේ නෙතට කඳුළක් ඉනුවේ ය. ඈ වහා ගේට්ටුව දෙස බැලූවා ය. යළි ලිපිය දෙස බැලූවා ය. ඔහුගේ ආරාධනාවට තමා පිටුපාන්නේ කෙසේ ද? දැන් ඇයට ඔහු පෙනෙනුයේ ත‍්‍රස්තවාදියෙකු ලෙස නොව, විශ්ව විද්‍යාලයේ තමා අසල දැවටුන තම පෙම්වතා ය.

තල් ගසකට මුවා වී සිටින තවත් තුවක්කුවක් ඉලක්කය සොයමින් සිටියේ ය. රඝුනාදන්ගේ සෑම හැසිරීමක්ම නිරීක්‍ෂණය කළ ඒ නෙත කිසියම් තීරණයකට එළැඹ සිටියේ ය.

සරස්වතී සෙමෙන් තල් වැට අසලට කිට්ටු වුවා ය. ඇගේ හදවත වේගයෙන් සැලේ. දෙපා හරිහැටි වාරු නැත. තමා එනු දැක රඝුගේ මුහණේ නැෙඟන සිනාව ඇයට දුර තියාම පෙනිණි. සරස්වතී කඳුළු පිරි නෙතින් සිනාසුණා ය. කියාගත නොහැකි බොහෝ දෑ ඔහුගේ මුහුණේ පිරි ඇති බව ඇය දුටුවා ය. රඝු තල් වැට අසලට ළඟා වූයේ ය.

එක්වරම කොහේ දෝ සිට ආ වෙඩි වර්ෂාවකට සරස්වතී මැදි වූවා ය. ඇසිපිය හෙළන්නටත් ඉඩක් නොතබා රඝුගේ සිරුර වෙඩි උණ්ඩවලින් සිදුරු වී ගියේ ය. ඇය කෑ ගැසුව ද හඬක් පිට වූයේ නැත. පිටුපසින් පාසල් ළමුන් කෑ ගසමින් ඒ මේ අත දිව යන අයුරු ද තමා අසලට වේගයෙන් දිව එන හමුදා නිලධාරීන්ගේ රුව ද සරස්වතීට යන්තමින් පෙනිණි. ඈ රඝු අසලට ගොස් ඔහුගේ හිස ගෙන තම උකුලේ තබා ගත්තා ය. ඔහුගේ පිය නොවූ දෑස් සිනාසෙමින් ඈ දෙස බලා සිටියේ ය. මඳ වෙලාවකින් ඔහුගේ හදගැස්ම නැවතී ඇති බව සරස්වතීට වැටහිණි. ඇය ඔහු වැළඳගෙන බිම වැතිරුණාය….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s