එක ම පැදුර by Thilini Wasana Marasinghe

ඒ වන විට උදේ නවයහමාරේ කෝච්චියත් ගාලූ බලා පිටව ගිහින් තිබුණත් තවමත් පරිසරය තුළ සීතල මුසු අන්ධකාර රජයමින් තිබිණි. දැඩි සීතලත් වැහි අඳුරත් සමඟ ”ටොක්” ”ටොක්” ගාමින් ටකරන් වහලයට වැහි පොද ඇද වැටේ. වෙනදාට කරුවලගස්වැවට එළිය ගෙනා ඉර, අද මුළු ගමත් එක්ක ම උරණ වී ඇතිවා වාගේ ය.

දින ගණනක් තිස්සේ නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වැස්ස අන් හැමට ම වගේ ම තිලකසිරිගේ පවුලටත් බොහෝ කුරිරුකම් කරන්නට විය. යල කන්නය වගේ ම මෙවර මහ කන්නයත් තිලකසිරිට සරදම් පෑවේය. දම් ම දම්පාට දං ගෙඩියක් බඳු වූ බටහිර අහස තවදුරටත් වසින්නට සූදානම් බවක් පෙනිණ.

බොහෝ වෙහෙස මහන්සියෙන් දහඩිය කඳුළු වගුරුවා සරු කරගත් ගොයම වී කරලින් බරවී තිබුණා පමණි. රත්තරන් පාටින් දිලිහුණු කරල් දෙස ගමේ කාගේත් ඇහැ යොමු වී තිබිණි. ගොයම් කපා බැත ගොඩගන්නට හරියට ම දින දෙකක් තිබිය දී අනෝරා වැහි ඇද හැලෙන්නට ගත්තේ තිලකසිරි ආත්ම ගණනාවක් පුරාවට ම රැුගෙන ආ කරුම ගොඩක් එකවර ම පලිසන් දෙන්නට වගේ ය.

තිලකසිරි ගෙයි පිල උඩ සිට බලාපොරොත්තු සුන් වූ හදින් බලා සිටියේ ගිගුම් දෙන ගොරහැඩි අහස දෙස ය. ගොයම් කරලක් තියා නියරක් තිබූ තැනක්වත් හොයන්නට නැත. ගෙයි පිල උඩ සිට පොල් වත්තට එහායින් තිබූ වෙල්යාය අද එක ම වැව් දිය තලයකි.

”අනේ මන්ද මෙහෙම වහින්ඩ ගත්තොත් නම් මේ පාර ඉතුරු වෙන්නෙ ඇඳන් ඉන්න චීත්ත කඩමල්ල විතරයි. ගෙදර හරියට උයන්ඩ කියල හාල් ඇටයක්වත් නෑ….”

බිරිඳ නන්දාවතීගේ නෝක්කාඩු කියවිල්ල වැහි අඳුරේ බරට ලතෝනි සංගීතයක් එක් කරන්නට පටන්ගෙන තිබිණ.

”අදත් පැන්නද උදේ ම වතුරට
මං දැන් එක පාරකුත් කීවා
වරෙන්කො මඩ කනය වගේ ගෙට
අද දෙන්නං කෝටු මස් වෙන්ඩ….”

බිරිඳ නන්දාවතී කොලූ පැටියා ට බනිමින් ගෙන ආ කහට කොප්පය තිලකසිරි අතට දුන්නේ ය. සෑම දිනක ම ඇසෙන සීපදයක් වැනි තරවටුව ද වැසි කුණාටුව හා තරඟයට ඉදිරිපත් කරමිනි.

ඇළ කණ්ඩිය හරහා ගලා යන බොර පැහැති වතුරට ලෝබ වූ පුංචි දඟකාරයා උදේ පටන් ම එහාට මෙහාට දිය බුං ගහ ගහ හිටියේ වැස්සෙන් සතුටට පත් වූ එක ම කෙනා ඔහු බව පසක් කරමිනි. කොලූ පැටියා ට එසේ නෝක්කාඩු කීව ද තිලකසිරිත් නන්දාවතීත් ඔහුට පණ මෙන් ආදරය කළෝ ය. දියමිටියා කෑමෙන් කොල්ලාගේ ඇඟිලිකරු වණ වන්නට ඉඩ තිබේ. එහෙත් කොලූවා ගෙට එන පාටක් නො තිබිණි.

නන්දාවතී ගෙන ආ කහට කෝප්පය උගුරට දෙකට ගිල දමා ඔහු විටක් සපන්නට ගත්තා පමණි. කඩුල්ල ඉස්සරහා ”පීප්” හඬින් බ්රේක් තද කරනු ඇසුණේ මුදලාලි මහත්තයාගේ එක ශී‍්‍ර කාර් එකයි.

නොම්මර තහඩුව එක ශී‍්‍ර උනත් තැනින් තැන සායම් මැකී ගොස් තිබුණත් මුළු ගමට ම කාර් එකක් තිබුණේ කඬේ මුදලාලිට පමණි. තඩි කළගෙඩියක් තරම් වූ බඩක් හිමි ඔහු මැදිවියත් ඉක්ම යන වයසේ පසු විණි.

”තිලකසිරි…. මොකද බං අත් දෙකත් පොරවාන බලා ඉන්නෙ….. සරම ඔලූවේ ඉඳන් පොරවගෙන ගුලි වෙලා බුදියගත්තම සේරම හරි කියලද උඹ හිතන් ඉන්නේ ?…. උඹට මං දැන් කීප දොහකම ඉඳලා ණය ගැන මතක් කරා… උඹට මං මේ කියන අන්තිම පාර….. ණය බේරුවෙ නැත්තං මම නරක මිනිහ කියන්ඩ එපා….. අක්කර කාල සින්න උනොත් මහ පාරට තමයි….”

කාරයෙන් බැස නෝක්කාඩු කී මුදලාලි අඩි හප්පා ආපසු කළු කාරයට නැග්ගේ ය. වෙල් යායෙන් නැග කාර් එක මහ පාරට ගොඩවන තෙක් ම තිලකසිරිත් නන්දාවතීත් බලා සිටියේ බලාපොරොත්තු කඩ වූ මළානික දෑසිනි.

”මේ පාර ගොයම සරුයි වගේ මුදලාලි…”

බැත ගෙට ගත්ත ගමන් ණයටික බේරගතහැකියි…. ඔහු මුදලාලිට කීවේ ඊට සතියකට පෙර මුදලාලිගේ දර මඩුවේ වැඩ කළ කොලූවා පැදුරටත් නො කියා ගිය විට, ටික දවසකට ඒ අඩුව පුරවන්නට වැඩ කරන අතර ය. ඒ දර පැලිල්ලට බත් පිඟානක් හා කහට කෝප්ප දෙකක් විනා වෙනත් ගෙවීමක් ලැබුණේ නැත.

නමුත් නොසිතූ ලෙස එකපාරට ම අවපාතයක් කඩා හැලූණේ තිලකසිරි ට වැලේ වැල් නැතිකර දමමින් ය. නිලට නිලේ කරල් බරින් ගැබ්බර වුණු කුඹුරු යාය අද එකම වැව් දිය තලයකි. ගොයමක් තියා නියරක්වත් හොයන්නට නැත.

සියලූ බලාපොරොත්තු සුන් වී ඔහු ගිගුම් කන අඳුරු අහස දෙස සුසුම්ලමින් බලා හිඳිනු උහුලා ගත නොහැකි වූ තැන බිරිය නන්දාවතී රට රස්සාවක් ගැන සිතුවා ය.

”මං ගිහින් ඉක්මනින් සල්ලි ටිකක් එවන්නම්. කොලූවත් එක්ක ඔයා ගෙදරට වෙලා ඉන්න. රාණි අක්කා රට ගිය ඒජන්සිය තියෙනවනෙ….. මං හෙට ම රාණි අක්කා හම්බවෙලා එන්නම්කො…..”

තිලකසිරි කිසිවක් කීවේ නැත. එහෙත් ඇගේ මතයට විරුද්ධව කිව හැකි කිසිවක් සිතා ගැනීමට ද අසීරු බව දැනෙමින් තිබිණි. ඔහුගේ අත පය ද හිරි වැටෙමින් අවසඟ වෙන අසරණ ගතියක් දැණුනි.

හවස් වෙන්න, හවස් වෙන්න වැස්ස ටිකින් ටික වැඩි වන්නට වූයේ හිතාගත නොහැකි ලෙසට ය.

හෝ ගාමින් තද සුළං හැමුවේ කස පහර වදින්නාක් මෙනි. ගස්වැල් ඒ මේ අත ඇඹරෙමින් හමන සුළගට මිදුලේ රූස්ස මාරගහේ අතු බිම පතිත වන්නට විය. ටකරම් වහලයට වැහි පොද පොද පතිත වන විට අමුතු ම ඝෝෂාවක් හටගත් අතර, එය කන් අඟුළු වට්ටවන තරම් අමිහිරි ළතෝනියක් විය.

දිරා ගිය ටකරං වහලයේ තැනින් තැන මතු වූ හිල්වලින් ගොම ගෑ සාලය මඩ වුණු අතර, නන්දාවතී යුහුසුළුව පොඩි පොඩි වළං කෑලි ඒ සිදුරු යටින් තැබුවා ය. ගේ මැද සාලයේ තිබූ භූමිතෙල් ලාම්පු දැල්ල කලබලෙන් එහාටත් මෙහාටත් නටන්නට වූ අතර, ඉතිරි ව තිබූ භූමිතෙල් ප‍්‍රමාණවත් වූණේ පැයකටත් අඩු කාලයකට ය.

”තිලකසිරි අයියේ තිලකසිරි අයියේ….. මහ ඔය ගලලා….. පහළ ගම්මානෙ ම යටවෙලා. මුදලාලිගේ ගේ තිබ්බ තැනක්වත් නෑ… සේරම උඩ පන්සලේ. උඹලත් යමල්ලා විගහට… පන්සලේ හාමුදුරුවො කීව ගම ම එකතු කරන්ඩ කියලා…”
කඩුල්ල ගාවට විත් හේරත් මල්ලි කෑ ගසන්නට විය.
එසැනින් කලබල වූණු තිලකසිරි, ”නන්දා…. ඔය තියෙන ඇඳුම් කඩමලූ දෙක තුනක් සිලියක දාගෙන විගහට වරෙං…… වෙන මොනවා කියලා ගන්න ද?….”
”තිලකසිරි මලේ ….. තිලකසිරි මලේ ආරංචි වුණා නේද?…. ඉක්මන් කරල තියෙන දෙයක් අරං විගහට පන්සලට ගොඩ වෙයල්ලා….” කියමින් රත්නෙ අයියා සිය දරු පවුල සමග ඇළ කණ්ඩියෙන් මහ පාරට ඇදුණේ තිලකසිරිටත් අත වනිමිනි.

තිලකසිරි ට අරන් යන්නත් රැුක ගන්නත් කියා දෙයක් නො තිබිණි. ඇඳුම් කඩමලූ දෙක තුනක් පන්මල්ලට ඔබාගෙන කොලූ පැටියා උකුළට ගත් නන්දාවතී තිලකසිරි පසුපසින් අඩි තබන්නට විය. කඩුල්ල පනින විට ඉබේට ම වගේ ඔහු මෙන්ම ඇයත් ආපසු හැරුණේ එක විට ය.

”පපුව පිච්චෙනව තිලකෙ…. උඩහ වතුර පාර සැර වුණොත් මෙගොඩහත් යට වෙන්න බැරි නෑ….”

තිලකසිරි කිසිවක් කීවේ නැත. නමුත් ඔහු වෙතින් පළ වූයේ කියාගත නො හැකි මහා බරක් ඔළුව උඩ තිබෙන්නාක් මෙනිි.

ආරාම පාරින් උඩහට වැටී තිබුණ ගල් පඩි පෙළ නැග පන්සල් මළුවට ගොඩ වන්නට වූ විට මුළු බෝමළුව පුරා වූයේ එක ම හිස් ගොඩකි. වෙනදාට බෝ මළුව තුළ අරක් ගත් ඒ නිහඬ නිසංසල බව අද දුර ඈතක ඉගිලී ගොසිනි. මුළු පන්සල් මළුව ම එක ම හිස් ගොඩක් වූවා මෙන්ම එහි ඝෝෂාව සති පොළෙන් නැගෙන හඬ ද පරයන තරම් විය. ඇතැමුන් නොනවත්වා හඬමින් සිටින අතර කිහිප දෙනෙකු වරින් වර සිහිසුන් වනු පෙනිණ. ගුණපාල අයියලා, රත්නෙ අයියලා, සෝමලා, පියසීලිලා වගේ ම නාන්නේරිය වතුයායේ දෙමළ ගම්මානයෙනුත් පන්සල් මළුව පිරී ඉතිරී තිබුණි.

නන්දාවතීත් කොලූ පැටියත් සමග ආරාම මළුවට ගොඩ වූ තිලකසිරි දාන ශාලාවේ කෙළවරට වන්නට ඉටි රෙද්ද අතුරන විට නන්දා ඉටි රෙද්ද පැත්තකට ගත්තේ ය.

”මුදලාලි මහත්තයා…..”

නන්දාවතී වචන ගොත ගහන විට ඔළුව හරවා බැලූ තිලකසිරිගේ ඇස් දෙකට එකවර ම ලක් වූයේ පැදුරක හිඳගෙන බිත්ති කණුවට හේත්තු වී උඩ බලාගෙන සුසුම්ලන මුදලාලි මහත්තයා ය.

”එන්ඩ තිලකෙ…. මේ පැදුරේ ඉඩ තියෙනවා….” කී මුදලාලි මහත්තයා හීන් සැරේ ඔළුව ඉස්සුවේ ලාභ-අලාභ, නින්දා-ප‍්‍රශංසා, සැප-දුක, යස-අයස යන අටලෝ දහම හැමෝට ම පොදු බව පසක් කරමිනි.

වරින් වර මුදලාලිගේ ණය හිලව්වට මුදලාලිගේ වතුවල වැඩ කළ සෙල්ලයියා බිත්තියක් අද්දර ගුලි වී සිටිනු පෙනිණි.

”අර සෙල්ලයියටත් කතා කරහං තිලකෙ….”

මුදලාලි ඇත්තටම එසේ කීවා ද නැත්නම් ඒ තමාට ඇසුණ අයුරු දැ යි තිලකසිරි ට සිතාගත නො හැකි විය. එහෙත් තිලකසිරි නැගිටගොස් සෙල්ලයියා පැදුරට ඇදගෙන එනවිට මුදලාලි හිස වනන්නාක් මෙන් පෙනිණි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s