කළු ගලින් තැනූ කුඩු ගල් by W A C Sandamali

ඔහු හිස් දෑසින් යුතුව වාඩි වී උන්නේ ය. ”ටික් ටික්….” තමා පසුකර දිවයන තත්පරයන්ය . සුසුම් රැුල් මන්දගාමී ය. එහෙත් උණුසුම් ය. උරා දැමු බීඩිකොට ඇඳි පුටුව මත සරිය කියාපෑවේය. උරස් කුහරය තදින් අල්ලා ගත් හම් පොත්ත වියළා දැමූ සේය. ඒ මේ අත දිවූ කෙස්රොද මුරණ්ඩු ය. හදිසියේ ආ වියළි සුළඟ නාස් පුඩු පුම්බා පහත් කළේ ය.

”ම්…. වඬේ බදින සුවඳක්. සාමිනාදන්ලා වෙන්න ඇති. නෑ…. නෑ…. ඕන නෑ. උන්ගේ නාමයක්. මගේ රත්තරං කඳ මරාගත්තවුන්ගේ එවුන්. මං උන් ඉතුරු….”

”අප්පච්චි…. අප්පච්චි”

චාරුකීගේ හඬින් සිමියොන් තිගැස්සී මඳකට සසලව ගියේ ය.

”ආ…. වෙනිවැල්ගැට බොන්න. අදත් වැඩට යනවද අප්පච්චි?” ඇය විමසුවේ තිත්ත සිතුවිලි තුළ තැම්බෙමිණි.

උඩු ඇන්ද තරයේ අල්ලා ගත් යටි ඇන්ද තරමක් අපහසුවෙන් වූව ලිහිල් විය. වෙහෙස නොව සිතේ වෙහෙස ප‍්‍රභලව සිටිය ද සිය දියණියගේ හඬට පිළිතුරු ගෙතුවේ සිතේ සිටි අතීතයත් සමඟය. තමා මෙතෙක් ඔසවා ආ බර මැන බැලීමට තරම් මිම්මක් දියණිය සතු නොවන නිසාම ඈ තුලනය කිරීමේ යුතුකම සිමියොන් විසින් ඉටුවූයේ වෙනිවැල්ගැට කෝප්පය අතට ගැනීමෙනි.

”කොහොම ද නොගිහින් දුවේ? ”ළඟයින්නේ අම්මගේ දානෙත්. එපායැ කීයක් හරි වැඩිපුර.” සිමියොන් පැවසුවේ බලාපොරොත්තු සහිතව කැළඹුණු මනසිනි.

”නියදැල්ලේ අක්කා එහෙ දානේ දෙයි. එන්නේ නෑනේ මෙහේ.” චාරුකීගේ නෝක්කාඩුවෙන් ඔහුගේ සිත කීතු වී ගියේ ය. මිහිදන් ව සිටි පුරාණයක් යළි යළිත් නැගිට්ටේය.

ඒ සිය බිරිඳගේ වියෝවයෙන් හීල්ලූවේ ය. ලේලියගේ සුව දුක් බලා ආපසු ආ ඇය, ම්ලේච්ඡුයන් විසින් බස් රියේ ඇටවූ බෝමිබයෙන් නතර කළේය. ශේෂය වෛරයෙන් කෙටූ ශෝකයකි. බැලූ බැලූ අත වෛරයේ සැමරුම්මය.

උන් මගේ පවුලම විනාස කළා, සක්කිලි හැත්ත. හිත රිදුම් කෑ නමුත් එය පිට නොවීය.

වෙනිවැල්ගැට කෝප්පයේ පතුලේ ඉතිරිය මණ්ඩිය. නොමැරී තැලූම් කෑ මාපිලෙකු සේ ඔහු නැගී ගල්වල දෙසට හැරුණේ ය.

”කඩනවා ගල් උන්ට වඩා. කී දෙනා ද දැන් සිංහලයො. කලින් එහෙම ද? කම්….මැලිකම ඒකටත් එක්ක උන්. ලොක්කටත් මොකද? සොච්චමට ලාබයි නේ.” සාධාරණය ඔහු පිහිරා සෙව්වේය. වාරය කාගේ වූවත් එදත් අදත් බහුතරය තුළ සුළුතරය උපක‍්‍රමශීලි පසුබැස්මක් නොවන්නේ ද ඔහු සොයන්නකි. පුදුමය ඉතිරිය හිමිවූයේ ගල් වැඩපල අසලම සිහලූන් තිදෙනෙකුට වීමය. ගල්බෝර ගොස් සිදුරු කළ වහල තුළ වචන ඉබි යතුරු ලාගත් එය නුදුටු මාවතක් සේ යැයි සිත අනුමානයකය.

”ආ…. සෙමි අය්යා. දෙන් ද ආවේ?”

සාමිනාදන්ගේ ස්වරය ගල් කටුවෙන් බෝරවල විදින්නා සේ සිමියොන්ගේ සිත විද්දේ ය. මෙතෙක් වේලා පැසව පැසවා තිබූ තුවාලය ඉන් මොහොතින් පෑරෙන්නට පටන් ගත්තා සේ දැනුණ මුත් වැරයෙන් වාවාගන්නට තැත් කළේය. සාමිනාදන් තම සිත මෑත් කර බැලූවේ නම් නිරුවත රිසි සේ දිස් වනවග ලැජ්ජාවෙන් සිහිකළ සිමියොන් එය රහසේ ම වසාගත්තේ ය. ඔහු තමා නිරුත්තර වන්නට ඉඩ හැරියේ ය.

ගල් ලොරි දෙකකට පමණ සරිලන කැඩූ ගල් තමා සතු වූවත් සාමිනාදන් ඉදිරියෙනි. එහෙත් එදින නාමය සටහන් පිළිවෙල ප‍්‍රවාහනයේ දී මෙහි ක‍්‍රමවේදය නමුත් විවිධ හේතු මත වෙනස් වීමට ද හැකි බව බස්නායක මහතා දිනක් පැවසුවා ඔහුට මතකය. ”වාඩිවල උන් පොංගල්වලට ගමේ ගිහිල්ලා. අද ටිකක් ඉස්පාසුවේ කඩා ගත්තැකි. කඩපුවා පටවනවා කලින් එන ලොරියට” ඔහු නිහඬව කියා ගත්තේ පිරිස් අඩුවිට ලොරි හිමියන්ගේ පැමිණීම ද සීමිත වන බැවිනි.

”ශෙයින් කරා නේද පොතේ? ආවේ මමයි උදේ. කුලූගෙඩිය ගෙලවිලා හද හද හිටියේ.” යකඩ පහරින් පෝෂිත ගල් පැහැ දේහය උර බාහු පුම්බා ගනිමින් පැවසුවේ ය.

සාමිනාදන් තමාගේ නිහඬ බව බිඳින්නට යන හැඩ සිමියොන්ට පැහැදිලිය. තවත් සීමාව ඉක්මවිය යුතු ද? රත් වූ කණ් පෙති දුම් පිට කරන්නා සේය. සියුම් නාලිකා උණුසුම් වී සුදු ඉංගිරියාව පැහැය වෙනස් කරගෙනය.

”උදේ නිවුස්වලට තමා කිව්වා අපිලගෙ අයලට බෝම්බ දලා.”

ශිංගල හමුදා තමා පෙරියනිවල අපිලගේ අය මරා දාලා…. හයියෝ හයියෝ…. එන්න නඩන්දදු? (මොකද වුනේ* මාලූ අල්ලපු තමිල් මිනියලත් අල්ලගෙන.

”අපිලට ගේ තමා නෙති වුණා. දෙන් අපිලට නේයෝ ටිකත් නෙති වෙලා යනවා.”
”අප්පා…. ශිංගල මිනියා කරදර කරනවා එයි අපිලට?”

වෙඩි බෙහෙත්, ඩයින දමා හිරකළ බෝර වලක ධන සෘණ වයර් බැටරියට සවි කලා සේ සිමියොන් පුපුරා ගියේ ය. හිස් මුදුනට නැග සිටි කෝවේ දැමු කිරණ ආවේශ වූයේ ඉහ කණිනි. ගල් කුඩෙන් පහුරු බැඳි බොර පැහැ හිල් වැසූ දිගු පැරණි කලිසම ද හීන් ඉණ වටේ දා බිඳු හා ගෝරනාඩුවක ය. කැකෑරුණු කුරුවල් හිත විසින් නිහැඬියාව බිඳ දැමීය.

”ඇයි යකෝ සිංහලයෝ විතරද මිනී මරන්නේ?”
”තොපේ ජාතියේ යාපනේ කල්ලිකාරයෝ….”
”බෝම්බ ඇටෙව්වේ උන්. මගේ පුතා හිටිය කෑම්ප් එකටත්? ඇයි මගේ දරුවන්ගේ අම්මා.” සක්ක ගල්කැට සේ වචන විසිර ගියේ ය. ඇස්පිය ගැටීම වෙහෙසකරය. ඔහු සීමාවක් නොදුටුවේ ය.

”පෙරනියවල ඉඳන් සුනාමියට ඇවිත් උඹලා හිටියේ අම්පාරේ පිරිවෙනේ.”
”අරන්තලාවේ පෙති ගහලා මරපු නායක හාමුදුරුවන්ගේ පිරිවෙනේ.”
”පාරේ උන්නු දෙමළ මිනිස්සු පිරිවෙනට අරන් ගිහින් බලාගත්තේ සෝමරතන හාමුදුරුවෝ. ලැගුම් ගන්න දුන්නේ ලොකු හාමුදුරුවන්ගේ මිනිය තිබ්බ සාලාවේ.”
”මතකද උඹේ පුතෙක් බලෙන්ම ඒ නරුමයෝ ඇදගෙන ගියා කීවා?…. සිමියොන්ගේ කේන්තිය සාමිනාදන්ගේ වැළලූණු අතීතය ගොඩගත්තාට සැක නැත. සියල්ල හමුවේ ඔවුන් මොණරාගලටත්, ඉන් පසු අක්කර හැට ගමටත් ආ බිහිසුණු ගමනක මතකය ඉරා දැමිය නෙැහැකි වූවකි. ගිනිගත් වෙඩි බෙහෙතේ දුර්ගන්ධය අවකාශය පුරා යන කලකටත් වඩා වේගයෙන් දුර්ගුණයේ පැහැය සිරුර පුරා ඇදී යන වග දෙසිතටම පැහැදිලිය .

”ඇයි හොඳයි කං නෑ දැන් උඹලා එක්ක.” සිමියොන් හඬ බාලකරමින් අවසන් තීරණය පිට කළේය.

සිත කැලතූ වචන වමනය දමා දෙපැත්ත ඇද වී තැලී ගෙවී තිබූ කුලූගෙඩිය ඉක්මන් පහරින් කළුගල තැලූම් කෑවේය. නමුත් ක‍්‍රමයෙන් වේගවත් බව වෙහෙස විසින් උදුරන ලදී. හැව ඇර ඇදෙන්නා වූ සර්පයෙකු සේ සාමිනාදන් ඇදී ගියේ ය. අනතුරුව දෙදෙනාම කළු ගල් හා පොර බදින හඬ පමණක් එහි ඉතිරි විය. කුලූගෙඩි පහරට පසුව නැගෙන දෝංකාරයේ හඬ ගල් තලාවේ උස කියා පෑවේ ද මූසල පෙනුමකිනි. පහළ ගල් තලාවේ වූවෙකු ඉහළ බලන කළ අංශක අනූව ද ඉක්මවා යන්නා සේ මය. ගත වූයේ නිමේශයකි. ඉහළ සිට පහළට බසින ගල් පතුරක බොල් හඬ ජෙගනාදන්ගේ මොර දීමට දෙවැනි විය. සිදු වූයේ යමක් ද එය සිමියොන් හට වැටහීමට ප‍්‍රමාද නොවීය.
”අයියා…. අයියා…. මයේ පුතා වෙටුණා.”
”වාංග අයියා…. වාංග…. ඉන්ගෙ වාංග”

”හයියෝ…. අප්පා….”
”ආඩවන්…. එන්ඩ කුළන්දෙයි සිත්තිරම් මාසත්තිලා තමා ඉපදුණා. අපලේ…. අපලේ…. ඊයේ ? හීනේ තමා දෙක්කා. ගොක් කොළ, අඹ කොළ කණපිට තිබ්බා….”

පුතු හිස පපුවට තද කරමින් සිහිවිකලින් දොඩවමින් ආ ගමන ගල් පතුරු ගොඩ මත රඳන පය වේගය ඇද දමන මුත් දරු දුක විසින් තැනූ සෙනෙහස ඒ සියල්ල පැරදවීය. සිමියොන්ට සිහි වූයේ සිය පුතාගේ මිනිය සීල්කර නිවසට ගෙන ආ මොහොතය. දාරක ස්නේහය නම් සම් මස් ඇට පසාරු කරන් ගිය ආත්මීය බැම්මකි යැයි ඔහුට දැනුනේ ය. අතීතය කුලූගෙඩි පහරින් කඩා බිඳ දැමීය. පළමු විපරම තුළ එහි බරපතල බවක් නොපෙනෙන නමුත් ගල් පතුරින් තුවාල කල හිසෙන් රත් පැහැ රුධිරය අතොරක් නොමැතිව වෑස්සෙයි. එය දුටු සිමියොන්ගේ නෙත් සිහින් විය. ඇඟිලි අතර සිර වී තිබූ වඩයක ලේ සටහන් නෙත් සිදුරු කරමින් හදවත සොයා රිංගයි. වේදනාව කළු සුදු නොහඳුනයි.

හදවත ඉක්මන් ය.

සිමියොන් අවසන් තීරණයට පැමිණියේ ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s