කුණාටුව by Rasika Deepani Gunasinghe

බැස යන හිරුගේ මන්දාලෝකය තවමත් පොළොව මත පතිත වී තිබුණේ මහත් ආයාසයකින් මෙනි. කැදලි කරා පියාසර කරන පක්‍ෂි සමූහයාගේ කිචි බිචි ශබ්දයෙන් මහපොළෙව ගිලගැනීමට අඳුර පැමිණෙමින් තිබෙන බව ලොවට කියාපායි. වැහි පොද ද සෙමින් මිහිමත පතිත වනු පෙනේ.

දිය නෑම සඳහා වැවට ගිය අම්මා පැමිණ තිබෙන බව කාමරයෙහි පාඩම් කරමින් සිටි මා හට ඇගේ රෙදි වැනීමේ ශබ්දයෙන් හැඟිණි.

පරිසරය නිසල ය. රැුහැයියන්ගේ නාදයෙන් ද බකමූණන්ගේ ශබ්දයෙන් ද පරිසරයෙහි බිහිසුණු බව දෙගුණ තෙගුණ කරවයි. ඈතින් බල්ලෙකුගේ උඩුබිරුම් හඬ ද මා සවනත ගැටිණි.

”පුතේ උඹටත් තේ ඕන ද?”යි ඇසූයේ අම්මා කුස්සියේ ලිපගිනි මෙලවීමට සූදානම් සේ ය.

”මම එන්නම් අම්මා”

තවත් අඩහෝරාවකින් කුස්සියට ගිය මා හට සීනි බෝතලය සූරන හඬත්, කිරිටින් එකෙහි බොල් හඬත් ඇසිණි.

”උයන්න දේකුත් නෑ. මොනව කරන්නද මන්දා”
”තාත්තා කෝ අම්මේ”
”මෙලහකට බේබද්දොත් එක්ක එකතුවෙලා බොනව ඇති. මොනව කරන්න හිතාගෙන ඉන්නව ද මන්දා?”

නිවසෙහි පවතින දිළිඳු බවත් තාත්තාගේ කි‍්‍රයාකලාපයත් ගැන සිතමින් නැවතත් කාමරයට ඇදුණේ ජීවිතය ජයගන්නා අධිෂ්ඨානයෙනි. දැල් වූ පහනක් නිවී ගියා සේ මාගේ සියලූ පැතුම් බොඳ විය. මෙතෙක් කිසි දිනෙක ඇති නොවූ ආකාරයේ සුළඟකින් ගස්වල අතු එකිනෙකට ඇතිලෙන්නට විය. එයින් නැගුණු ”කිරි කිරි” ශබ්දයෙන් පරිසරයෙහි නිසල බව බිඳ දැමීය. නිවසට වසා ඇති තහඩු එහෙ මෙහෙ වීමෙන් නැගෙන බිහිසුණු ශබ්දයෙන් මා හදෙහි ගැස්ම වැඩිවෙත්ම,

”තනිවයි ……… උපන්නේ ………”
”තනිවයි ……… මැරෙන්නේ ………”
”මේ ඩිංගෙ දී …. ඇයි ………”
”කෝළම් …….. නටන්නේ ………”
තාත්තාගේ හඬ ඈතින් ඇසිණ.

මට වයස අවුරුදු දහයේ දී තාත්තා නිවසට පැමිණි අයුරු මා හට සිහිවන්නට විය.
”මගෙ චූටි කෙල්ලේ ….. මම ආවා ….”

කෑගසා පවසන තාත්තා සෑම දිනක ම අඩුම තරමේ ටොපියක්වත් රැුගෙන ආවේය. අම්මාගේ ද තාත්තාගේ ද නොමද ආදරය ලබමින්, ඔවුන්ගේ උකුල්තලවලට පැන හුරතල්වෙමින් ගෙවූ දිවිය කොතරම් සුන්දර ද?

දිනක් සුපුරුදු පරිදි රැුකියාවට ගිය තාත්තා උදෑසන දහය පමණ වනවිට නිවසට පැමිණියේ ජීවිත සටනින් පැරදුන පුද්ගලයෙකු මෙනි.

”මොකද මේ ගිය පයින් ම ආපහු එන්නේ?”

අම්මා ඇසූ පැනයට තාත්තාගෙන් පිළිතුරු ලැබුණේ තවත් අඩ හෝරාවක් ගත වූ පසුව ය.

”ආයතනයේ ලක්‍ෂ දහයක හොරකමක් වෙලාලූ. ඒකට අහුවෙලා තියෙන්නේ මම.”
”මොන මහපොළොව නූහුලන කතාවක් ද ඒක?. අපිට කාගෙවත් දේවල් ඕනෙ නෑ. එදා වේල කාලා ජීවිතය ගැටගහන්න අපට මේ මොන විනාසයක් ද වුනේ. ඉතිං ඔයා කියන්න එපැයි හොරකම් කළේ නෑ කියලා”

”මම වැඳ වැඳ කිව්ව. උන් මහ නරුම මිනිස්සු; අස්වීම දීලා මාව එළියට ඇදලා දැම්මේ බල්ලෙක් වගේ.”
”අපට කරපු මේ දේට ජාති ජාතිත් ඔවුන්ට පටිසන් දෙන්ඩ ඕනෑ.”
අම්මා හඬමින් කීවා ය.

රැුකියාවක් සොයා ගැනීමට දහ අතේ වෙහෙසුන තාත්තා සියල්ලෙන් හෙම්බත් විය. නිවසහෙි තිබෙන බඩු මුට්ටු ටිකෙන් ටික අවසන් වනවිට දවසින් දවස මුදල් අවශ්‍යතා වැඩි වනවිට නිවසෙහි දිළිඳුකම ඉස්මතු වනවිට මිතුරන් ඇසුරට යොමු වූ තාත්තා ක‍්‍රම ක‍්‍රමයෙන් බීමට පටන් ගත්තේය.

”බොන්න එපා. හැමදාම ඔහොම බොන්න ගියොත් අපට මොකද වෙන්නෙ?”
”දිගටම බොන්න පුරුදු උනහම ලෙඩ රෝග හැදෙනව. බේත් ටිකත් ගන්නවත් සල්ලි කොහෙන් ද?”
”අනේ තාත්තේ…….. බොන්න එපා. බීලා ප‍්‍රශ්න විසඳන්න බෑනෙ.”
අම්මාත් මමත් විටෙන් විට තාත්තාට ආයාචනා කළෙමු. නමුත් තාත්තා බීම අඩු කළා වෙනුවට දිනෙන් දින බීමට ඇබ්බැහි විය. තාත්තාගේ ආදරය, සෙනෙහස ටිකෙන් ටික හොරු අරන් යන්නට පටන්ගත් සේ ය. දිනපතා ම පාහේ රණ්ඩු සරුවල් ඇති විය.

”මම තමයි මේ ලෝකෙ ඉන්න රජා. එකෙකුට බෑ මට අත තියන්න.”

විටෙක පුරසාරම් බස් කියන තාත්තා,

”අනේ ! ඇයි මට මෙහෙම වූනේ. මම කාටවත් වරදක් කරල නෑ.”
”මම දුප්පත් මනුස්සයෙක්. මගෙ කෙල්ල, හාමිනේ බඩගින්නේ. මේව බල බල තවත් මට ජීවත්වෙන්න ඕනෙ නැහැ”
කියමින් පපුවට පහරදෙමින් විටෙක හැඬුවේය.

”ගෑණියේ …… අදත් මම බිව්වා ……”
කියමින් නිවසට ගොඩ වදින විටම නිවස ඉදිරියේ තිබු මල් බඳුන බිඳී යන හඬ මා හට ඇසුණි.

සැනෙකින් මා කාමරයෙන් පිටතට දුව ආවේ විදුලි වේගයෙනි. අම්මා තාත්තා දෙස බලා සිටියේ අනතුරක සේයාවක් දුටු නාගයෙකු තම ආරක්‍ෂාව පතා පෙනය පුම්බන පරිද්දෙනි.

”හරි අගෙයි. ළමිස්සියක් ගෙදර ඉන්නා කොට හැසිරෙන හැටි.”

යක්ෂාවේශ වූ අම්මා බැන වදියි.

”ඇයි යකෝ මගෙ මොකක්ද තියෙන වැරැුද්ද?. මම ටිකක් බිව්ව විතරනේ…”
”ගෙදර උයන්න පිහන්න දෙයක් නෑ. දරුවො ගෑණි බඩගින්නෙ. උඹ හොඳට ජෝගි නටනවා.”
”යකෝ මට ඕන ජාති මම කරන්නේ. උඹට බෑ ඒවා නවත්තන්න.”

”මහ ලොකුවට අරක දෙන්නං මේක දෙන්නං කියල සුරපුරයක් මවල ගෙදරට ගෑණු ගෙනල්ල, ළමයි හදල උඹට පුළුවන් ද ඔහොම කතාකරන්න? තමුසෙට බීලා ජෝගි නටන්න ඕනෙ නම් ගෑණු ගත්තෙ මොකට ද?”
තාත්තා ඒ සමඟ ම මේසය උඩ තිබූ ගුරුලේත්තුව ගෙන පොළවේ ගැසීය.

”මොක්කද මිනිහො ඒ කරපු වැඬේ? ඕක මට පරම්පරාවෙන් හම්බෙච්ච එකක්, උඹට ඕකෙ අගයක් නොතිබුණාට. උඹ මට පිහියෙන් ඇන්න වගේ දෙයක් කළේ. ඔයිට වැඩිය හොඳයි මිනිහො මට පිහියෙන් ඇන්න නං.”
”ආ …… දැන් තමුසෙට මට වඩා වටින්නෙ මේක ද?”
”එක එක ගුබ්බෑයන්වල ලැගල, ?ට ?වෙලා ගෙදරට ඇවිත් මටයි දරුවටයි කරදර කරන තමුසෙගෙ ඇති වටිනාකම මොකක් ද මිනිහො?”
අම්මාගේ වචනවලින් කෝපයට පත් තාත්තා:
”තෝ බොල මොකක්ද මට කියපු පාහර කතාව?”
අසමින් අම්මාගේ කම්මුලට වැරෙන් පහරක් ගැසීය. තාත්තාගේ වේගවත් පහරින් පොළොව බදාගත් අම්මා දුටු මට කිසිවකු පහර දුන්නාක් මෙන් දැණිනි.

තාත්තාට ද කිසිවක් සිතාගත නොහැකිව දෑස් ලොකුකර අම්මා දෙස බලා සිටිනු පෙනේ. බිම ඇද වැටුණු අම්මා වේදනාවෙන් දඟලයි. නිවසෙහි දැල් වූ පහන් දැල්ල එහෙට මෙහෙට වැනෙමින් නිවී යාමට තැත් දරයි. මාගේ දෑස් නිලංකාර වී සියල්ල අඳුරු විය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s