කුල පොසිටිව් by Nirmani Herath

වෙහෙසකර සතියක් අවසාන වී තවත් සිකුරාදාවක් උදාවී තිබුණි. චාපා තමාට නුහුරු නුපුරුදු විශ්වවිද්‍යාලීය දිවිය ආරම්භකර ගතවී තිබුණේ යන්තම් සති තුනක තරම් වූ කාලයකි. උදෑසන සිට දේශන ගණනාවකට සහභාගී වූවත් චාපාට වෙනසක් නොදැනුණේ දින ගණනාවකට පසුව ගෙදරයාමේ දැඩි ආශාවෙන් සිටි හෙයිනි. ඇත්තට ම ගෙදර යාමේ උවමනාව යනු නුවන් අසළ වාඩිවී අතීතයේ මිහිරි කතා යළි සිහිකරමින් අනාගත සිහින තව තවත් වර්ණවත් කරමින් ඔහු සමඟ ගත කිරීමයි. එවිට වමනය ගතියක් හිස කැරකිල්ලක් එන්නේ නැත. නුවන් ගේ උරහිස ද ඇයට නිදිමත දැනෙන තුරු බලා සිටින බව ඇය දැන සිටියා ය.

දේශන ශාලාවෙන් පිටතට පැමිණි ඇයට යාමට හැකි වූයේ කෙටි දුරකි. කොහෙන්දෝ හමාගෙන ආව සුළඟට මුහුවුණ වරුසාව නිසා ඇයගේ ගමනේ වේගය බාල විය. වටපිටාව පුරා පැතිරුණ වැහි අඳුර ඇගේ සිතට අමුතු දුක්මුසු අඳුරු සිතිවිලි ගෙනෙන්නට හේතු විය. චාපාගේ රෝස මල් කුඩයට දැරිය නොහැකි තරම් වූ ඒ මහ වැස්ස අසීරුවෙන් දරාගෙන ඇය බස් නැවතුම්පළ දෙසට ඇදෙමින් සිටියා ය. හදිසියේ ජංගම දුරකථනය නාද වන්නට විය. ඇමතුම තමාගේ ප‍්‍රමාදය ගැන නොසන්සුන් වූ පෙම්වතාගෙන් යැයි සිතා චාපා තමාගේ පය ඉක්මන් කළාය. නැවතත් දුරකථනය නාද වූ විට ඇයට එයට ප‍්‍රතිචාර ලෙස පැවසීමට හැකිවූයේ ‘‘හෙලෝ’’ යන්න පමණකි.

”චාපා උඹ කැම්පස් ගියා ඇති. මේ දැන්ම ගෙදර වරෙන්. ආයෙ උඹට කැම්පස් ගමනක් නෑ.”

”ඇයි තාත්තේ?” යැයි චාපා ඇසුව ද ඒ වන විටත් දුරකථනය විසන්ධි වී හමාරය. කිසිවක් සිතාගත නොහැකි වූ ඇගේ මනසට කෝප වූ කළ තාත්තාගේ හැසිරීම මැවී පෙනෙන්නට විය.

චාපාට මොහොතකින් තමාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සිටින පෙම්වතා ගැන ද අමතක විය. මහ වරුසාවේ වුව ද පය ඉක්මන් කළ ඇය කොළඹ සිට අනුරාධපුර යන බස් රථයක නැගී ගෙදර යාමට පිටත් වූවාය.

”තාත්තා එහෙම කීවේ ඇයි? උඹ කැම්පස් ගියා ඇති…..” ගෙදරට යනතුරු ම චාපාගේ මනසේ රැුඳුණේ ඒ ප‍්‍රශ්නයයි. සෝමපාල මහතා කී ලෙසම එය චාපාගේ විශ්වවිද්‍යාලයීය ගමනේ අවසන් දිනය වන්නට ද ඉඩ තිබේ. නොනවත්වාම ඇදවැටුණු වරුසාව සමග ඇතුළත වූ රේඩියෝවේ වාදනය කෙරුණේ වික්ටර් රත්නායක මහතාගේ ගීයකි.

”ළං වෙනවාදෝ වෙන් වූයේ
වෙන් වෙනවාදෝ ළං වූයේ”

ගීතය සමග ඇසුණු දුක්බර සංගීතය සමග මුසුවුණු වරුසාවේ හඬ ද නිසා එය දුක්බර ශෝකාලාපයක් බවට පත්විය. ඒ ශෝකී වටපිටාව හිතෙහි වූ අඳුරු සිතුවිලි ගොන්න වඩාත් තීව‍්‍ර කරන්නට හේතු විය. අනුරාධාපුරයට ළඟාවන විට කොළඹ පැවති අඳුර වෙනුවට අවට ගිනියම් වී බසය පෝරණුවක් බවට පත් වී තිබිණි.

”අපි ළමයි හැදුවේ උන්ට ඉගැන්නුවේ ඔය එක එකාලට දෙන්න නෙවෙයි. කමලා … මම නොකීවයි කියන්න එපා. මම අද ඕකිව හම ගහනවා. අනික උඹ ඒකිගේ අම්මා …. ඒකි තාම පොඩි එකී …. උඹ දැනගන්න ඕන අම්මා විදියට ඒකිගේ හිතේ තියන දේවල් දැනගන්න.”

ගේට්ටුව අසළට ගිය චාපාට නිවස තුළින් තාත්තාගේ කෑගැසිල්ල ඇසුණි. ඒ අතරින් යන්තමින් වාගේ අම්මාගේ ඉකිබිඳුම් හඬ ද ඇසුණු අතර තාත්තාගේ ගෙරවිල්ලට බියපත් වූ විට තම නැඟණියගේ මුහුණේ ඇති දුක්බර බියගුළු පෙනුම ද ඇගේ මනසේ චිත‍්‍රයක් සේ ඇඳෙන්නට විය. මඳකට එතන නැවතුණු චාපා කල්පනා කළේ ගෙදර යනවා ද නැතිනම් ආපහු යනවා ද යන්නයි.

තාත්තාගේ ගෙරවිල්ලට වහලේ තිබූ උළු ද ගැළවී විසිවෙන තරම් විය. එහෙත් චාපා බාලවියේ සිට ඒ කෑගැහිල්ලට ප‍්‍රතිචාර දැක්වූයේ අතපය දරදඬු කරගෙන බලා සිටීමෙනි.

”ආහ් …. උඹ ආවාද? කොයි උඹේ මහලොකු ආදරවන්තයා? තවම කැම්පස් ගිහින් සති කීය ද…. උඹලා හිතාන ඉන්නේ කොළඹ ඉඳන් යන එන තැන්, කරන කියන දේවල් අපට ආරංචිවෙන් නෑ කියලද?” කියමින් චාපා දුටු විගස සෝමපාල මහතා ඇය ඉදිරියට කඩා පැන්නේ ය. ”අනේ තාත්තේ අක්කාට බනින්න එපා” යැයි කියමින් ගේ ඇතුළේ සිට චාපාගේ නැගණිය දිව ආ අතර චාපාගේ පැමිණීමත් සමග කමලාගේ හැඬුම තවත් වැඩිවන්නට විය.

”චාපා උඹ දන්නවද උඹේ පේ‍්‍රමවන්තයා කොහේ ද කාගේ කවුද කියලා…. උගේ අම්මා අප්පා කවුද උන් මොකද කරන්නේ කියලා. මෙච්චර කාලයක් එවුන් කරන්නේ ගමේ උන්ගේ රෙදි අපුල්ලන එක. මම මේ හොයලා බලලා කරුණු කාරණා දැනගෙනයි කතා කරන්නේ. අම්මා අප්පා පැත්තක දාමු. ඌ කවුද? නිකන්ම නිකන් අට පාස් වුණ හමුදාකාරයෙක්. ඔය වගේ කාලකන්ණින්ට දෙන්න කෙල්ලෝ මයෙ ළඟ නෑ. උඹ කියන්නෙ ඔලූව කෙළින් කරන් ඇතුළට යන්නවත් බැරි පොල් අතුපැළවල ලගින්න උඹව යවන්න කියලද? උඹ ඉගෙන ගත්තා කියලා මෙච්චර කල් මොකද කරේ කියපන්. එතකොට මේ රටේ ලෝකෙ එකාලා කියයි කැම්පස් ගියපු චාපා ගමේ උන්ගේ රෙදි අපුල්ලනවා කියලා.”

ඉවරයක් නැති චෝදනා, ගෙරවිලි හා හැඬුම් සමග එදා මුළු රාත‍්‍රිය ම ගෙවුණි. චාපා නුවන් සමග ඇති සම්බන්ධය නවතා දැමීමට පොරොන්දු වූවාය. එහෙයින් ඇය යළි තාත්තා බැණ වදීවී යැයි බලාපොරොත්තු නූවූවා ය. නමුත් සෝමපාල මහතා පහුවදා දවස ආරම්භ කළේ ද පෙරදා ? මෙන් ම චාපා ගැන උපන් කෝපයෙන් දඟලමිනි.

”උඹලා වැඩකරන්නේ උඹලාගේ හිතු මනාපෙටමනේ, අපි මොකටද උඹලා වෙනුවෙන් නැහෙන්නේ?” යැයි කියූ සෝමපාල වේගයෙන් දොරවසා යතුරු පැදියට නැගී කොහේදෝ යන්නට ගියේ ය. නමුත් ඔහු කොහේ යන්නේදැයි ඔහුවත් දැන සිටියේ නැත.

ගෙදර පුරාම තිබුණේ නිහඬ මූසළ වටපිටාවකි. තම සැමියා කියවමින් සිටි එහේ මෙහේ විසිරුණු පත්තර ගොන්නක් පිළිවෙලට සැකසූ කමලා ඔහු එනතුරු නෙත් දල්වා බලා සිටියා ය. කාලෙකින් ගෙදර ආවත් වෙනදා වාගේ සරුවට බත් මාළු නොතිබුණ නිසා චාපාට අම්මා ගැන කේන්තියක් ද ඇතිවුණි.

”කමලා අක්කේ, අයියා මේ දැන් පැයකට වගේ කලින් හංදියේ දී බයික් එකෙන් වැටිලා. එතන හිටපු කොල්ලෝ කට්ටිය ඒ ගමන්ම අයියාව ඉස්පිරිතාලෙට ගෙනිහින් තියෙනවා. දරු දෙන්නා එක්ක පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලෙට ගියොත් හොඳයි අක්කේ.”

හංදියේ තේ කඬේ රත්නායක මුදලාලි ඇවිත් කලබලයෙන් කිවූ ඒ පණිවිඩය කියා නිම කිරීමටත් පෙර කමලා සිහිසුන්ව ඇද වැටුණි.

ඔවුන් පැයක් ගතවෙන්නටත් පෙර රෝහල වෙත ගියද ඒ වන විටත් සෝමපාල මහතාව කොළඹ මහ රෝහල වෙත යවා තිබිණි. තම මව හා නැගණිය කැටුව චාපා එහි යාමට පිටත් වුණේ හිතට නැගුණු දහසක් සිතුවිලි මධ්‍යයේ ය. චාපාට පෙනුණේ අම්මාත් නංගීත් තමා දෙස රවා බලන්නාක් මෙනි. කිසිවකු එකිනෙකා හා කතා කළේ නැත.

රෝහල තුළ වූයේ හරියට අනාථ කඳවුරක තරම් වූ වටපිටාවකි. හරිහැටි දිගා වෙන්නටවත් ඉඩක් නැති සමහර රෝගීහූ බිම මත එලූ ඉටිරෙදිකඩක ඉඳගෙන තමන්ගේ ඇදුම්කන පාද පිරිමදිමින් වේදනාවෙන් කෙඳිරිගාමින් සිටියෝ ය. සමහර පිරිමින්ගේ අත් කකුල් පුරා ම සුදු පාට වෙළුම් පටිවලින් ඔතා තිබිණි. මේ මිනිසුන් දුටු චාපාගේ හිතට නැගුණේ තමාගේත් තම නැගණියගේත් ජීවිත මතට අඳුරු සෙවණැල්ලක් පතිත වීමට යන්නාක් මෙනි.

දැවෙන සිතුවිලි ගොන්නක් මැද වුව ද ඇය තම පියා සිටින වාට්ටුව සොයා ඒ මේ අත දිව්වා ය. ඇයට තම පියාව දුටු විගස දැනුණේ අමුතු ආකාරයක සතුටකි. ඒ ඔහු කෙරෙහි දක්වා තිබූ විශේෂ සැලකිලි නිසාය. ඔහු වැතිරහුන් ඇඳ වටකර ශක්තිමත් යකඩ වැටක් යොදා තිබුණි. අතරමගදී දුටු රෝගීන්ගේ මෙන් අතපය වෙලා නොතිබුණ අතර, මුහුණේ තැන තැන හා නළලේ සීරීම් කිහිපයක් පමණකි තිබුණේ. ඇය එසේ සිතමින් දෙවියන් යැද්දා වුවද කමලා ”අනේ මගේ මහත්තයෝ” කියමින් හඬා වැටුණේ අවට වාට්ටුවල සිටි පිරිස්වලට ද ඇය කොහේ සිටින්නේදැයි විපරම් කිරීමට ඉඩ සලස්වමිනි.
පැය ගණනකට පසුව සෝමපාල මහතා දෙනෙත් හැරියේ ය. ඔහු බලා සිටියේ හැඟීම් විරහිතයෙක් ලෙසටයි. මුහුණේ සිනහවක් හෝ වෙනත් කවර හෝ හැඟීමක් මතු වුණේ නැත. විටක ‘කමලා’ යන අකුරු තුන මිමිණුවද චාපා හා ඇගේ නැගණිය දෙස බැලූවා පමණකි. චාපාට හිතුණේ කලින් දා තමා සමග ඇති වූ කෝපය තාත්තා තමාගේ නැගණියගෙන් ද පිරිමහන බවයි.

”මේ දරුවා සෝමපාල මහත්තයාගෙ දුව වෙන්නැති. දුවේ ඔයාලා මේ වෙලාවේ කලබල වෙන්න එපා. ඔයාගේ තාත්තාට මින් ඉදිරියට ලොකු කල්පනාවක් තියන එකක් නෑ. තාත්තාගේ ඔළුව කොහේහරි තදින් ම වැදිලා තියනවා. ඒ නිසා එයාගේ මතකය එහෙ මෙහෙ වෙලා තියනවා. එයාට ඔයාලව උනත් අඳුරන්න බෑ.”

දිනක් වෛද්‍යවරයෙක් චාපා කැඳවා සෝමපාලගේ තත්ත්වය ගැන එසේ කීවේය.

විටෙක තමා වටේ තිබුණු යකඩ වැට ගලවන්නට උත්සහ කළ සෝමපාල මහතා තවත් වරෙක මහ හයියෙන් විලාප තියන්නට විය. තවත් විටක හැඟීම් විරහිතව කොහේදෝ බලාසිටියේ ය. මුහුණේ මද සිනහවක් වත් මතු නොවන වෙලාවල්ද තිබුණි. නමුත් විටෙක මුළු වාට්ටුවේම සිටියවුන් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් කරමින් ද ඔහු උමතු ලෙස හැසිරුණේ ය. ඔහුගේ අවුල් වූ මනස බොහෝ විට බලා සිටියවුන්ට ගෙන ආවේ අනුකම්පාවකටත් වඩා හාස්‍යයකි.

”අනේ සෝමපාල අයියාට මොකද මේ වුණේ?”කියමින් ලෙඩදුක් බැලීමට පැමිණි බොහෝ හිත මිත‍්‍රාදීන් වාට්ටුවෙන් පිටව ගියේ තමන් හාස්‍යජනක චිත‍්‍රපටයක් නැරඹුවේයැයි යන හැඟීමෙන් සිනහා වෙමිනි. කලාතුරකින් පැමිණි අයෙක් හඬා වැළපෙන්නට ද විය.

එලෙස සෝමපාල මහතාගේ අවුල් වූ මනස නිසා වන ඔහුගේ චර්යාවන් රසවිඳීමට පැමිණිය ද ඔහුගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූවෙක් නම් නොවීය. දිනක් වාට්ටුවේ උන් හෙදියක් සෝමපාලගේ ආරක්‍ෂාව වෙනුවෙන් කෙනෙක් යොදවන්නයැයි කමලාට පැවසීය. ඇය අවුල් වූ මනසකින් යුතු ව චාපා දෙස බැලූවේ අපි දැන් මොකද කරන්නේ යන ප‍්‍රශ්නය නිහඬව ම අසමිනි. කමලා සෝමපාලගේ සහෝදරයන් දෙදෙනාටම දුරකථනයෙන් අමතා මේ බව කියා සිටිය ද වැඩිමල් සොහොයුරා මේ දිනවල කන්තෝරුවේ වැඩ ඉතාමත් අධික බව පැවසූ අතර, බාල සොහොයුරා කියා සිටියේ තමාගේ නව නිවසේ වැඩකටයුතු පටන් ගෙන ඇති නිසා එය මඟහැරිය නොහැකි බවයි. චාපාගේ පෙම්වතා වූ නුවන් ඒ මොහොතේ දීත් සෝමපාලගේ ලෙඩ දුක් බැලීමට වාට්ටුවට විත් සිටියේ ය.

”ඒ ගැන මට බලාගන්න පුළුවන්. ඔයාලා පරිස්සමට ගෙදර යන්න. පුළුවන් හැමවෙලේම තාත්තාව බලන්න එන්න. මට දවස් කීපෙකට වුනත් නිවාඩු ගන්න පුළුවන්. එහෙම බැරි වෙලාවට අපිත් එක්ක ඉන්න කොල්ලෙක් උනත් එවන්න පුළුවන්. බයවෙන්න එපා අම්….” යැයි කියන්නට ගියත් ඔහු එය ගිල ගත්තේ තමාට එසේ ඇමතීමට තරම් හයියක් නැති නිසා විය හැකිය. එවිට කමලා තුෂ්ණීම්භූතව චාපා දෙසත්, නුවන් දෙසත් බලන්නට වීය.

නුවන් එසේ කියන විට ළඟ සිටි හෙදිය එක වරම පැවසුවේ:

”ආහ් මේ ළමයාමයි නේද එදා සෝමපාල මහත්තයාට අමාරු වුණ වෙලාවේ ‘ඒ’ පොසිටිව්’ ලේ දෙන්නත් ඉදිරිපත් වුණේ. ඒ වෙලාවේ ලේ දෙන්න කෙනෙක් හොයාගන්න අමාරු වුණානේ”

”ඔව් මිස් අපේ නංගී කෙනෙකුත් වැඩකරනවානේ මෙහේ, නංගී තමයි ලේ ඕන කරනවා කියලා කීවේ.”

එසේ හෙදිය සමඟත් සුහදව කතාබහ කළ නුවන්, පවුලේ අය සිටි තැනින් ඉවතට යාමට සැරසුණේ ය. ඔහු දෙසට දිව ගිය චාපා ඔහු දෙස ද තමාගේ මව දෙසද බලා සිටියේ දෙනෙතින් කඳුළු වගුරවමිනි. කමලා දින ගණනාවකට පසු චාපාගේ දෑස් දෙස සෘජුව බලා සිටි අතර ඇගේ දෙනෙතද කඳුලින් පිරී තිබුණි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s