දෙබිඞ්ඩෙන් උපන් මල by Swarna Kumara

හැමදේම වන්නේ හොඳට යැයි තම ජීවිතයට පැමිණි හැම අභියෝගයක දී ම හිත හදාගන්නා රාධිකා තම දියණිය වූ සාරා මුහුණ දුන් සම්මුඛ පරීක්‍ෂණයෙන් අසමත්වීම පිළිබඳ එසේ නොසිතුවා ය. සිංහල දමිළ මෙන් ම ඉංගී‍්‍රසි භාෂාව ද ඇයට චතුර ලෙස හැසිරවිය හැකිය. භාෂා හැසිරවීම සම්බන්ධ නිසග හැකියාව ඇයට ජන්මයෙන් ම උරුම වූවකි. දියණියගේ මව්බස කුමක් දැයි නිශ්චිතව හඳුනාගත නොහැකි පරිදි ඇය විවිධ භාෂා දැනුමෙන් පරිපූර්ණව සිටියා ය. දෙමළ බස කතා කරමින් ඉංගී‍්‍රසි බසින් අධ්‍යාපනය ලැබූ දියණිය මේ තරම් හොඳින් සිංහල භාෂාව කතා කිරීමටත් ලිවීමටත් උගත්තේ කෙටි කාලයකිනි. ලංකාවේ ගත කළ පහුගිය වසර කිහිපය තුළ ඈ හෙළ බස මැනවින් හසුරුවන්නට පමණක් නොව සද්ධර්ම රත්නාවලිය වැනි බණ කතා පවා කියවා රස විඳීමේ තරමට දියුණු වී සිටීම පිළිබඳ රාධිකා මවිත වූවා ය. භාෂා පරිවර්තිකාවක් වීම කුඩා කල සිටම සාරාගේ සිහිනය විය. පුද්ගලික අංශයේ සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයකින් ම ඊට අදාළ වෘත්තීමය පළපුරුද්ද ඈ ලබාගත්තේ මේ සිහිනය වෙනුවෙනි. ඒ සියලූ සුදුසුකම් සපුරා තිබිය දී පවා මේ රැුකියාව අහිමි වූයේ මන්ද යන පැනයෙන් දෙදෙනාගේ ම සිත් තැලී ගියහ.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට භාෂා පරිවර්තකයන් බඳවා ගන්නා බවට සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ දැන්වීම පළවූ දිනයේ ම අයදුම්පතක් සකස්කර යැවූ තම දියණිය සම්මුඛ පරීක්‍ෂණයට කැඳවන තුරු සිටියේ ඇඟිලි ගනිමිනි. සම්මුඛ පරීක්‍ෂණයට කැඳවා එවූ ලිපිය දැක ඈ උඩ පනිමින් කෑ ගැසුවා ය.

”අම්මා…. ඔන්න මගේ හීනේ හැබෑ උනා…. මං කොහොම හරි ට‍්‍රාන්ස්ලේටර් කෙනෙක් උනා.”
”වැඩිය හෝප්ස් තියා ගන්න එපා දුවේ මේ ලංකාව…. කැනඩාව නෙවේ.”
”අම්මා ඉන්නකෝ…. මේකේ ඉල්ලලා තියෙන හැම කොලිෆිකේෂන් එකක් ම මට තියෙනවා.”
”ඒවා විතරක් මදි…. ඒ උනාට මගේ දුවට මේ ජොබ් එක ලැබෙයි…. ඔයා දක්ෂයා නේ.”

මෙරට රජයේ රැුකියාවක් ලබාගැනීම එතරම් පහසු නොවන බව දැන සිටි රාධිකා, දියණියගේ සතුට ඉහවහා යන්නට ඉඩ නොදුන්නා ය. එහෙත් දියණියගේ ඉලක්කය නොබිඳින්නට ද වගබලා ගත්තාය.

සම්මුඛ පරීක්‍ෂණය නිමා වී දියණිය නිවසට පැමිණියේ තටු සිඳුණු කිරිල්ලියක මෙනි. ඇය මෙතෙක් සිර කරගෙන සිටි කේන්තිය නිවසට පැමිණි විගස පුපුරුවා හැරියා ය. පරීක්‍ෂක මණ්ඩලයේ ප‍්‍රධානියා හැර අනෙක් තිදෙනා ම සාරාගේ සුදුසුකම් දෙස විශ්මයෙන් කතා කළ බවත් එහි ප‍්‍රධානියා පමණක් ඇගේ සුදුසුකම් පිළිබඳ සැලකිල්ලක් නොදක්වා කතා කළ බවත් ඇය පැවැසුවේ කඳුළු පිරුණු දෑසිනි.

”අම්මා මට දුක හැම අතින්ම කොලිෆයිඞ් වුන මාව කැපුණු එකටත් වඩා අපි හැමෝම ඉස්සරහ ප‍්‍රැක්ටිකල් එක හොඳටම ෆේල් වෙච්ච කෙනා සිලෙක්ට් කරගත්ත එකට.”
”ඊටත් වඩා කොමිෂනර් මාව ඉන්ටර්වීව් කලේ හරියට මහ රැුජිණගේ ලැන්ග්වේජ් නොලෙජ් එක හොයනවා වගේ. අනික මං ඇප්ලයි කළේ දෙමළෙන් සිංහලට මිස ඉංගී‍්‍රසියෙන් සිංහලට නෙවෙයි නේ. මොකක්ද අම්මා මේ අසාධාරණේ.”

රැුකියාවකට යවා දියණියගෙන් යැපෙන්නට තරම් අගහිඟකමක් තමන්ට නැත. එහෙත් ඇයගේ අධ්‍යාපනයට නිසි වටිනාකමක් හිමි විය යුතු ය. රාධිකාගේ සිතේ නිරතුරුව පහුරුගෑවේ එපමණකි. තමන්ට අහිමි වූ ලෝකය දියණියට ද අහිමි කළ නොහැකි ය. දෛවයෙන් එහා ලෝකය දෙස බලන්නට ඉගැන්වූයේ තම එකම දියණියයි. කලක් තිස්සේ අහිමි වී ගිය අයිතීන් පිළිබඳ කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොකළ ද ජීවිතේ පළමු වතාවට දියණියගේ කඳුළු නිසා අයිතිවාසිකම් පිළිබඳ සටනක යෙදිය යුතු යැයි රාධිකාගේ සිත මොර ගෑවා ය.

”අම්මා ඇයි මාගේ සර්නේම් එකට විශ්වනාදන් කියලා දැම්මේ. මගේ තාත්තා කවුද කියලා මං නොදැක්කට එයා බණ්ඩාර කෙනෙක් කියලා මං දන්නවානේ. විශ්වනාදන් කියලා දැක්ක ගමන් කමිෂනර් මාව කරකවලා අතහරින ප‍්‍රශ්න ඇහුවා.”

පපුව දැවී ගියේ දියණියගේ එවදන් ඇසීමෙනි. ඇගේ පැනයට දිය හැකි පිළිතුරක් තමාට නොවීම පිළිබඳ රාධිකා ඒ දැවිල්ලෙන් තැවුණා ය. දියණි තනිවන්නට දී ලහි ලහියේ හැඳ පැළඳ ගෙන රාධිකා නිවසින් පිටවූවාය. විසි වසරක් තිස්සේ යුක්තිය සොයා ඉබාගාතේ නොගියත් කවදා හරි හැමදේම හොඳ අතට හැරේ යයි පැවැති විශ්වාසය මෙවර ඇගේ සිතෙන් පළුදු වී ගියාය. හැමදාම මේ ඉවසීම කරන්න පුළුවන් ද? තමන්ට සිදු විය යුතු හැම දේම සිදු වී හමාර බව ඇත්ත ය. එහෙත් සාරාගේ සිහිනය බොඳ වන්නට ඉඩ හැරිය නොහැකිය. රාධිකා මගට බැස්සේ එසේ සිතමිනි. නුගේගොඩින් බොරැුල්ල බසයකට නැග ගත් පසුත් හදවතේ ඇවිලූණු දැවිල්ල එලෙසම පැවැතිණි. බස් රථය ඇදෙන අතරේ පවා රාධිකා කල්පනා කළේ දියණියගේ අවනඩුව ගැනය. සාරතීගේ පැනය සාධාරණ ය. එහෙත් ඊට දිය හැකි පිළිතුරක් රාධිකාට එදා තිබුනෙත් නැත. අදත් නැත. යටගියාව අමතක කර සැනසීමට අන්දමින් වරින්වර දිය මත පාවෙන බැලූමක් සේ රාධිකාගේ ජීවිතයට වද දෙන්නට විය.

කොට කොට ඇදෙන බස් රථයේ රියදුරු, හමුවෙන හැම නැවතුමකම තිරිංග තද කරයි. නාවල රියෝ සිනමාහල අසල බස් නැවතුමේ බසය නවත්වා විනාඩි පහකට වැඩිය. රාධිකාගේ දෙනෙත සිනමාහලේ දැන්වීම් පුවරුවේ ඇලී ගියේ ක්ෂණයකිනි. කමලාහසන් සහ ශී‍්‍ර දේවි රඟන ”කාදලන්” හි විසල් නාමපුවරුව බසයට හොඳින් පෙනේ. පෙම් යුවළගේ දැවැන්ත රූප රාමුවක් එහි අලංකාරව දිස්වේ. පසුබිමින් ලේ තැවුරුණු මන්න කැති අතැතිව සටන් ජවනිකාවක් පෙන්වන තවත් රූ පෙළකි. ඒ දසුන නොවන්නට බසය නැවත ගමන් අරඹන තුරුම සිතුවම් පෙළ දෙස රාධිකා බලා සිටින්නට ඉඩ තිබිණි. ”කාදලන්’‘ වැනි සිතුවමක් තමාටත් තිබුණා නොවේද? එහි මුල මැද අග සුන්දරත්වයෙන් පිරුණු පේ‍්‍රම කතාවක් නැති වූව ද හඬා වැළපිය හැකි කතා විනාසයක් තිබුනා නොවේ ද? සුඛාන්තයක් නැතත් මතක් කරමින් රස විඳිය හැකි ආදර තිළිණයක් රාධිකාට උරුම විය. ඒ සාරතී විශ්වනාදන් ය.

රාධිකාගේ පියා වූ පස්සර දිසා රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී විශ්වනාදන් හා පස්සර ගැමුණු මහ විදුහලේ ඉරුගල් බණ්ඩාර ලොකු ඉස්කෝලේ මහත්තයාත් මිතුදමින් නොබැඳුනානම් රාධිකාගේ ලෝකයේ සාරා නැත. පේරාදෙණිය සරසවියේ උගෙනෙමින් සිටි ඉස්කෝලේ මහතාගේ පුත් සෙනේෂ් ඉරුගල් බණ්ඩාර, සිංහල මාධ්‍යයෙන් උසස් පෙළ හදාරමින් සිටි රාධිකාට සිංහල විෂයට අතිරේක පන්ති නොපවත්වන්නට අද මෙවැනි ගැටලූවකට ඇය පත්වන්නේ නැත. හිරු සඳුටත් හොරා මිහිදුම් සළුවෙන් වැසුණු මීරියබැද්ද වතුයාය පෙනෙන මානයේ ගුරු ගෝල සබඳතාව සෙනෙහස් ගමනක පාවී නොගියා නම් මෙවැනි දෙයක් සිදුවන්නේ නැත.

ජූලි මාසයේ සිදු වූ ඒ මහා නපුර රාධිකාව තාමත් මතකය. දකුණේත් උතුරේත් ඇති වූ සුළු සුළු සිද්ධීන් තමාගේ ඉරණමට ද බලපෑවේ නොසිතූ අයුරෙනි. ආච්චිගේ හදිසි අභාවය නිසා අම්මා හා අප්පා යාපනේ ගියේ දරාගත නොහැකි දුකකිනි. උසස් පෙළ විභාගය ආසන්න වූ නිසා තමා ඒ ගමන ගියේ නැත. බණ්ඩාර මහතාගේ නිවසේ නතරකර ගිය නිසා බියක් දැනුනේ නැත. ඒත් හිටිවනම කොළඹ හා යාපනයෙන් පටන්ගත් ගිනිජාලාවන් පස්සරට ගලා ආවේ මහා මේඝයක වෙළීගෙන මෙනි. ඒ මූසල දවසේ ඉස්කෝලේ ගෙදර සෙනේෂ් හැර කිසිවෙකු නො සිටියේ තමාගේ අවාසනාවට ය. බිරිඳට බෙහෙත් ගැනීමට බණ්ඩාර මහතා ද බදුලූ ගොසිනි. දොස්තර බංගලාව දෙසින් නැගී ආ දුම් රැුල්ලත් බුර බුරා නැගෙන ගිනි ජාලාව දෙස බලා සිටින්නට තමන්ට ශක්තියක් වූයේ නැත. සෙනේෂ් බදාගෙන බිම දිගා වූයේ ඊළඟ ගල් පාර හා ගිනි පුපුරු ඉස්කෝලේ බංගලාවට පතිත වේ යන බියෙනි. විදුලි කෙටීම නතර වූයේ මහ වැසි ආරම්භ කිරීමෙන් පසු ය. ඒ වනවිට තම නිවස අළු වී ගොසිනි. අනෝරා වැස්ස නිමා වන පාටක් නැත. මීදුම ද වැස්සටම සරි විය. තමා තවමත් සෙනේෂ්ගේ පපුතුරේය. වෙනකක් නිසා නොව සැඟවෙන්නට තැනක් සොයමිනි. බිය තුරන් වුනේ සෙනේෂ්ගේ අස්වැසීමෙනි. එහෙත් වරලසේ ගවසා තිබූ පිච්චමල් මාලය බුමුතුරුණු මත තැලී පොඩි වී ගියේ ආරක්ෂාව සෙවූ අතරතුරමය.

ඊට වඩා දෙයක් සිතන්නට රාධිකාට ඉඩ ලැබුනේ නැත. රාධිකා සිතුවිලි නැමැති වංක ගිරියේ භයංකාර ගිරි සිඛර තුළ සැඟව ගිය වග වළසුන් අතර වල්මත් වෙමින් පැමිණි ගමන රාජගිරිය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව අසල නවතා දැමුවාය.

”රාජගිරිය බහින්න….”

බස් රථයෙන් බැස ගත් රාධිකා අපිළිවෙලට විසුරුණු කෙස් කළඹත් විසිරී ගිය සාරිපටත් එල්ලාගෙන හති දමමින් කාර්යාල දොරටුවෙන් ඇතුළු වූවා ය. ඇය දෙස ආරක්‍ෂක නිලධාරියා බලා සිටියේ ඔලොක්කුවට මෙනි. ඒ බව ගණන් නොගෙන සිය පුද්ගලික හැඳුනුම්පත ආරක්‍ෂක කුටියට පෙන්වා කාර්යාලයට ඇතුල් වන්නට උත්සහ කළාය.

”නෝනාගේ හදිස්සියට ඇතුළට ගියාට ලේසියෙන් එළියට එන්න වෙන්නේ නෑ….”
”ඇයි මෙතන වැඩ කරන්නේ මිනිස්සු නෙවෙයි ද?”
”පුහ්…. මෙයාගේ සැර….”
”සැර…. තමුන්ලට පෙන්නලා වැඩක් නෑ….”

දෙන ලද පෝරමය ඉංගී‍්‍රසියෙන් ම පුරවා පිළිගැනීමේ නිලධාරිණිය වෙත දී, දෙපාර්තමේන්තු ප‍්‍රධානියා හමුවීමට අවසර පැතුවත් ඇයට එම අවස්ථාව ලැබුණේ ආරක්ෂක නිලධාරියා පැවසූ පරිදිම හෝරා දෙකකටත් එහා මහජන ගැලරියේ පුටුවක් රත්කිරීමෙන් අනතුරුවය. අතරතුර රාධිකා කාර්යාලය අවට සුපරික්ෂාකාරීව බැලූවේ කළ යුතු වෙන යමක් නොවූ නිසාය. දෙපාර්තමේන්තුව තුළ පිළිවෙලක් දක්නට ඇත. පෙනුමේ පිළිවෙල වැඩවල නැති එක තමා හොඳ මදි. එසේ සිතමින් තමාගේ වාරය පැමිණෙන තුරු මොහොතක් අසුනකට බරදී නැවතත් එයින් නැගිට වටපිට බැලූවාය. විසල් කාර්යාලයේ එහාට මෙහාට සක්මන් කලාය. නැවතත් අසුනකට බරවිය. නැවතත් නැගී සිට කෙටි සක්මනක යෙදුනා ය. කාර්යාලයේ එක් කොටසක දේශන ශාලාවකි. ඉන් ඇසෙන්නේ රාජ්‍ය සේවයට නවකයින් ලෙස එක්වූවන් සඳහා දෙවන බස උගන්වන දේශනයකි. එම ගුරුවරයාට වඩා සාරතී කෙතරම් දක්ෂද? ඇය අසල්වැසි සිංහල දරුවන්ට දෙමළ උගන්වන අයුරු දැක තිබූ රාධිකාට දියණිය ගැන ඇති වූයේ දුකට වඩා අනුකම්පාවකි. දේශන ශාලාවට කන්දීම නොමැනවැයි සිතූ ඇය එතැනින් ඉවත් වූවා ය.

කාර්යාල බිත්තියක සවිකර තිබූ ”බස රැුස” නම් බිත්ති පුවත්පත වෙත දෑස් යොමු වූයේ නිරායාසයෙනි. කොහොමත් තමන් කලාවට ලැදිය. කියවන්න රුචිය. සාමාන්‍යයෙන් ඇය පුවත්පතක් අතට ගත්විට එය බිම තබන්නේ වෙළඳ දැන්වීම් පවා කියවා හමාර කිරීමෙනි. ”බිඳුනු සිත් සුවපත්කොට ප‍්‍රතිසන්ධානය ඇති කරමු” මැයෙන් බිඳුණු පුවත්පතේ තීරු ලිපියක් පළ වී තිබේ. ලිපිය කියවීමටත් පෙර ඇගේ මුවගට සිනා පහළ වූවාය. බිඳුණු සිත් සුවපත් කරනවා වෙනුවට මොවුන් දැන් කරන්නේ බිඳුණු සිත් සුණුවිසුණු කරන එකය. කියන්නේ එකකි. කරන්නේ වෙනකකි. මේ කෙරුම් සිදුවෙනවා නම් හොඳය. තමා ද අවුරුදු විස්සක් තිස්සේ සොයන්නේ මෙහෙම දෙයකි. කෙසේ වූවත් ලිපිය රසවත් ය. ත්‍රෛභාෂාවට ම ලිපිය පරිවර්තනය කර ඇත. ආයතන ප‍්‍රධානියාගේ පැසුණු බුද්ධියේ තරම ලිපියේ කියා පා ඇත. ශී‍්‍ර ලංකාවේ පශ්චාත් යුද කාලීන තත්ත්වයෙන් පසුව ගැඹුරු මාතෘකාවක් බවට පත් වූ සංහිඳියාව පිළිබඳ මානුෂික මුහුණුවරකින් බැලිය යුතු බව අවධාරණය කරමින් ආරම්භ කර තිබූ ලිපිය ෙඡ්ද දෙකකට වඩා කියවා අවසන් කළ නොහැකි විය. රාධිකාගේ දෑස කඳුලින් තෙත්වීමට ගතවූයේ නිමේෂයකි. අතීතය විසින් තමාගේ ජීවිතයට උරුම කළ රුදුරු වේදනාවන් මේ තරම් පහුරු ගෑ දිනයක් ඈට මතක නැත.

එක අතකට තවත් ඇඬීමෙන් පලක් නෑ. මේ වගේ රැුවටිලිකාරයෙක් මතක්කර හැඬීම ද පාපයකි. කැනඩාවේ සිට සෙනේෂ් වෙත එවූ එකදු ලිපියකටවත් පිළිතුරක් ලැබුනේ නැත. එහෙම පිළිතුරක් ලැබුණා නම් දියණියට තමාගේ වාසගම දෙන්නට සිදුවන්නේ නැත. ඒ වෙලාවේ රට හැර ගියේ කළ හැකි වෙන යමක් නොවූ නිසා මිස හදවත ඉල්ලා සිටි දෙයක් නොවන බව දන්නේ තමා පමණි. හදිසියේ රට තුළ ඇති වූ කලබල තරමක් සන්සිඳීමත් සමඟ බණ්ඩාර ඉස්කෝලේ මහතාගේ මිත‍්‍ර පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපකාරය ඇති ව පස්සරින් කොළඹටත්, කොළඹින් ගුවන් මගින් යාපනයටත් පැමිණෙන්නට හැකි වූවත් සෙනේෂ් අතහැර එන්නට තරම් සිතක් තමාට වූයේ නැත. දෙදෙනා එදා ගුවන්තොටුපළෙන් වෙන් වූයේ මේ කරදර නිමා වූ ගමන් දෙමව්පියන්ට සියල්ල පවසා අතිනත ගන්නටය. සෙනේෂ් විශ්වාසය කඩ නොකරන බව සැබෑය. සිහින පොදි අහුරු සමග යාපනේට ගිය තමාට සිදුවූයේ කබලෙන් ලිපටත් ලිපෙන් අළු යටටත් වැටෙන්නට ය. යාපනේ ඇවිළුණු ගින්නට ලොකු නැන්දා හැරෙන්නට මුළු පවුල ම තමා අතැර ගොස් තිබුණි. යාපනය මඳකට සන්සුන් වූ ඇසිල්ලේ ලොකු නැන්දා පැමිණ තමා අවතැන් කඳවුරෙන් කැනඩාවට රැුගෙන නොගියානම් තමා ද මෙලොව හැර ගොසිනි. දැන් ඉතින් විය යුත්ත සිදු වී හමාරය.

එක අතකට සාරාතීට අහිමි වූයේ රැුකියාව පමණි. එකක් නැති වුණා කියලා මැරෙන්න ඕන නෑ. කැනඩාවට ගියානම් මීට වඩා හොඳ රැුකියාවක් හොයා ගන්න තිබුනා. ඒත් මේ දරුවා ලංකාව දාලා යන්න බෑම කියනවනේ. කැනඩාවේ ඉපදුනාට ඒ දරුවාගේ ලේ අයිතිය ලංකාව නේ. රාධිකාට එසේ සිතිණි. ? වැටුණු වලේ දවල් වැටෙන්නේ කුමටද? සෙනේෂ් වැනි රැුවටිලිකාරයන් තාමත් මෙරට සිටිය හැකිය. තම පණ වන් දියණිය ද එවැනි කරුමයක් කරගැහුවොත්. සිතුවිලි ඉබාගාතේ ගියත් අන්තිමට නතරවෙන්නෙම කරුමය කරපින්නාගත් තැනට අවුත් ය. මෙයනම් රාධිකාට දරාගත නොහැකි වදයක් ය. තමා අතීතය මකා දැම්මේ කැනඩාවේ දී ය. සෙනේෂ්ට ලිපි ගණනක් යැවුව ද ඒ එකකටවත් පිළිතුරක් නොලැබිණි. අන්තිමට සියල්ල අමතක කර හිත හදාගත්තේ නැන්දාගෙන් බේරෙන්නට නොහැකිවය.

”මිස් රාධිකා ඇතුළට යන්න”

අතීත සිතුවම් තාවකාලිකව මකා දමා ඇය වහා පෝලිමට එක් වූයේ මගහැරීමෙන් සිදුවන පසුතැවීම පිළිබඳ හොඳින් දැන සිටී නිසාය. පෝලිමේ මුලට ආ පසු කාර්යාල ලොබිය ආවරණය කළ කළු වීදුරුවෙන් තම රූපය පෙනේ. සුපැහැදිලි නැතත් ඒ දෙස බලා සාරි පටින් මුහුණ පිසදා අවුල්ව ගිය කෙස් රොද සකස් කර ගත්තාය. කෘතිම ආලේපන නැතත් රාධිකාගේ තරුණ බව වියැකී නැත. වයස අවුරුදු විස්සක දුවක සිටින අම්මා කෙනෙකු යැයි කියන්න තරම් තමා මහළු වී නැත. සිතේ ඇති වූ කේන්තිය හා ආවේගයට දුව ආවද රාධිකා කොමසාරිස්වරයාගේ කුටියට ඇතුළු වූයේ සැලෙන හදිනි. බදාදා දිනයක් වූ බැවින් මහජන සේවය උපරිමයෙන් ඉටු කරමින් සිටි ආයතන ප‍්‍රධානියා බොහෝ සේ වෙහෙස වී ඇති හැඩය. රාධිකාගේ දෑස රැුඳුනේ මේසය මත ඇති නාමපුවරුව වෙතය.

රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් – අයි. එම්. එස්. බණ්ඩාර

ප‍්‍රධානියා කැරකෙන අසුන අනෙක් පසට හරවා තත්පර ගණනක් සිය සේවාදායකයා වෙත පිටුපා වතුර පානය කරමින් සිටියේ ය. ඉන් පසු වටයක් කරකවා ඔහු සිය අසුන නැවත සකස් කර ගත්තේ අබිමනින් යුතුවය. එසේ කලේ තමා පරිපාලන සේවයේ ඉහළම නිලදරුවකු බව සේවාදායකයාට පෙන්වන්නට මෙනි. පිච්ච මල් සුවඳින් කාමරය පිරී ගොසිනි. පිච්ච මල් සුවඳ තමන්ට හොඳට හුරු පුරුදුය. සුවඳ එන්නේ රාධිකාගේ වරලසේ ගවසා ගත් මල් මාලයෙනි. එතෙක් මේසය මත අතැඟිලි අහුරමින් සිටි රාධිකා වහා ඉදිරියට දමා සිටි වරලස පිටුපසට මුදාහැරියා ය. හිස ඔසවා ඔහු වෙත ආචාර කිරීමට සැරසුණාය.

”ගුඞ් මෝනින්ග් සර්”
”ගුඞ් මෝනින්ග්….”

උපැස් යුවළක් පැළඳ තමා දෙස බලා සිටින කොමසාරිස්වරයාගේ මුහුණ දුටුවන ම හුරු පුරුදු බවක් රාධිකාට දැනෙන්නට විය. බණ්ඩාරට නම් රාධිකා හඳුනා ගන්නට වැඩි වෙලාවක් ගත වූයේ නැත. හොඳින් වායු සමනය කර තිබූ කාර්යාල කාමරය තුළ පවා ඔහුගේ නළලත ඩා බිඳු කීපයක් මතුවිය. වසර විස්සකට පසුව වුවද රාධිකා හඳුනාගැනීමේ අසීරුවක් සෙනේෂ්ට නොවීය. එසේ අමතක කළ නොහැකි මතක සුවඳක් ඔහුගේ සිත් තුළ පැලපැදියම් වී තිබුණු සෙයකි. රාධිකා නැවත වරක් නාමපුවරුව දෙස නෙත් යොමු කළා ය.

අයි. එම්. එස්. බණ්ඩාර

බණ්ඩාර…. සෙනේෂ් බණ්ඩාර…. ඉරුගල් බණ්ඩාර මුදියන්සේලාගේ සෙනේෂ් බණ්ඩාර. මේ ඔහු ද? දෙයියනේ අවුරුදු විස්සක් තිස්සේ තමා සෙවූ ඔහු ද මේ? රාධිකාගේ සර්වාංගයම හිරිවැටී ගියාය. මුව සිඳී ගියාය. අවුරුදු විස්සකට පසුව හමු වූ දෙදෙනෙකුට කතා කරන්න කප්පරක් දේ ඇත. එහෙත් දෙදෙනොම ගොළුය. සෙනේෂ් බණ්ඩාර තත්පර කිහිපයකට ගොළුව තිබූ හඬ අවදි කළේ කැඩුණු වචනවලිනි. සෙනේෂ් ජීවිතයේ පළමු වතාවට විඳගත් පිච්ච මල් සුවඳ සුසුම් පොද වසර ගණනාවකට පසු තමා ඉදිරියේ ය. පුදසුන මත ආත්ම පූජාව තබා ගිය ඈ දැන් ළඟටම අවුදින් ය. දේව දාසිය පිවිතුරු පුදසුනේ පුද කළ මල් දෝත තාමත් සුවඳ දෙන අපූරුව. රාධිකා අසුන පසෙකට ඇද නැගී සිටියාය.

”රාධිකා…. ඔයා….”
”ඔව් මම තමයි…. එහෙනම් ඔයා ද මෙතන ලොක්කා. බිඳුණු සිත් සුවපත් කරමු කියලා මහ ලොකුවට ආර්ටිකල් ලියන ඔයා ද මගේ දුව…. මගේ නෙවේ අපේ දුව ඉන්ටර්වීව් එකෙන් කැපුවේ.”
”අපේ…. දුව…. ඔයා කවුරු ගැනද මේ කියන්නේ….”
”දන්නෙම නෑ…. බබා….”
”ප්ලීස් රාධා ප්ලීස්…. කූල් ඩවුන්….”
”එහෙනම් තාමත් පෙට් නේම් එකත් මතකයි. රාධා මැරිලා ගොඩක් කල් මහත්තයෝ.”
”ප්ලීස් රාධා සිට්…. අපි හෙමින් කතා කරමු.”
”ඇයි හයියෙන් කතා කළාම මහත්තයාට ලැජ්ජයි ද?”
”ඔයා ඔහොම කතා කරන්නේ කිසිම දෙයක් නොදැන රාධා”
”ඔව්…. මං දන්නේ නෑ, ඔයා තමයි හැමදේම දන්නේ.”
”අපි එළියට ගිහින් කතා කරමු. මට ඔයත් එක්ක ගොඩක් කතා කරන්න ඕන.”
”හරි ෂෝක් මතකද එදා පස්සරදිත් කලබල අස්සේ කතා කරන්න ගිහින් කරපු හරිය….”
”මාව වැරදියට තේරුම් ගන්න එපා…. අපි ටිකක් කතා කරමු බබා….”
”බබා…. එදා දුන්න බබා තමයි තමුන් අද රස්සාවට නොගෙන අහකට විසික් කළේ….”

කොමසාරිස්තුමා තුෂ්ණිම්භූත වූයේ එවදන් ඇසීමෙනි. වෙලාවට කැබින් එක ඇතුලේ කතා කරන දේවල් පිටට ඇහෙන්නේ නැත. විමලසිරි පියන් නොසිටීම ගැන සෙනේෂ් බණ්ඩාර සිතින් ඔහුට තුටු පඬුරු පිළිගැන්වූයේය.

”මොනවා කතා කරන්න ද කොමිෂනර් මහත්තයා ඔබ තුමාගේ දෙබිඩි කතාවලට රැුවටිලා මුළු ජීවිතේම විනාශ වෙච්චි මං වගේ ගෑණියෙකුට තවත් නම් සාධාරණයක් ලැබෙයි කියලා මං හිතන්නේ නෑ.”

”ඔයා හිතන දෙයක් මෙතන සිද්ධ වෙලා නෑ…. මං වැඩ කරන්නේ ඉහළින් එන ඕඩර් අනුව. මෙතන දී සිද්ධ වුනෙත් එහෙම දෙයක් තමයි.”

”ඇත්ත ද…. ඒක නිසා ද සුදුස්සා කපලා ඇමැතියගේ හෙංචයියෙන් බඳවා ගත්තේ?”

විසි වසක් තිස්සේ හද කුටිය සොයමින් සිටි සෙනෙහෙ විල සිඳී ගියාය. සිඳීගිය විල්තෙරකින් සිසිලසක් සෙවීම උගහටය. මුළු මහත් සමාජයකින්ම බැට කා පත්තියම් වී සිටි ගැහැණියකට ඒ බව තේරුම් ගන්නට මහ වෙලාවක් අවැසි නැත. සියල්ල කෙටියෙන්, එහෙත් වේගයෙන් පවසා කොමසාරිස්වරයාගේ කාමරයෙන් පිට වූවාය. ඇය කාමරයෙන් නික්ම ගියේ ඒ වනවිට කාමරයට ඇතුළු වෙමින් සිටි කාර්යාල කාර්ය සහයකවරයා ද පෙරලාගෙනය.

”ඇයි නෝනා ලොක්කට මළ පැනලද…. ගණන් ගන්න එපා තනිකඩයා නේ නිතරම මල පනිනවා….”
”….පයිත්තියන්….”

රාධිකා කාර්යාලයෙන් පිට වූයේ පිපිරුණු ෂෙල් වෙඩිල්ලකින් විසි වූ උණ්ඩයක් පරිද්දෙනි. හදිස්සියේ හිතට නැගුණු කෝපය හා වේදනාවත් නිසා අත්බෑගය ද කොමසාරිවරයාගේ කාර්යාල මේසයේ දමා ආවාය. පිම්මේ දුව අවුත් මහ මඟට පිවිසියේ තවත් එතැන රැුඳී සිටීමට ශක්තියක් නොවූයෙනි. මාර්ගයට පිවිසි ඇය රාජගිරිය නාවල මංසන්ධියේ දී පාර මාරුවීමට ගොස් වෑන් රථ රියදුරෙකුගෙන් තම මෑණියන් ද සිහි කරගත්තාය. නුගේගොඩ බසයක් පැමිණෙන තුරු බලා සිටින ඇගේ මුහුණේ ලේ කඳුලක් දක්නට නොමැත. දැඩි පිපාසාවක් දැනෙන්නට වූවත් කඩයකට හෝ ගොස් පිපාසය නිවා ගැනීමට තරම් වුවමනාවක් නොකලේ බස් රථයක් මඟ හැරේ යන සැකයෙනි. ඇයට අවශ්‍යව තිබුනේ හැකි ඉක්මණින් නිවසට ගොස් මහා හයියෙන් හඬා වැටීමටය. දියණියටත් හොරා හූල්ලා වැටීමටය. මහමඟ හඬා වැළපිය නොහැකිය. එහෙත් නොහඬා සිටින්නට තරම් ශක්ති මාත‍්‍රයක් තමන් තුළ ඉතිරි වී නැත. පිපාසාවටත් හැඬීමටත් දෙකටම සරිලන ආශ්චර්යයක් එවේලේ දෙවියන් විසින් ඈ ඉදිරියේ මවා පෑවේ ය. සිහින්ව හිරි පොද වැස්සකින් ඇරඹී ක්‍ෂණයකින් මුරුගසන් වරුසාවක් හැඩය ගෙන අසරණියගේ පිපාසාව සන්සිඳුවමින් ගලා හැලූණු වැස්ස කඳුළු කැට ද සෝදා හැරියේ ය. බස් රථයට ගොඩවනවිටත් ඈ හොඳටම තෙත බරිත වී හෙම්බත් වී සිටියාය. නුගේගොඩට ටිකට්පතක් මිල දී ගත් රාධිකා සෙනග නොමැතිව කොට කොටා යන බස් රථයට ශාපකරමින් අසුනකට බර වූයේ ක්ලාන්ත වූවා සේය.

බස් රථය ගමන් කරන්නේ ඉබි ගමනිනි. එක අතකට එය ද රාධිකාට සැනසිල්ලක් ගෙන දුන්නාය. අසරණ බස් රියදුරුට ශාප කිරීම පිළිබඳ ඇය තැවුණාය. ඉක්මණින් නිවසට ලඟා වූ පසු දියණියට වගඋත්තර බැඳිය යුතුය. තමා මේ සිටින්නේ දුවණියකට වසන් කල හැකි මට්ටමේ හැඩහුරුවකින් නොවේ. නිවසට ගොස් නිවී සැනසෙන්නට හැකිවන්නේ නැත. විසි වසකටත් එහා විසිරී ගිය ජීවිත කැදැල්ල පිළිබඳ මෙතෙක් උපේක්‍ෂාවෙන් විඳ දරා සිටි සියළු දුක්ඛ දෝමනස්සයන් පුපුරා ගියේ නොසිතු විරූ අයුරිනි. ඉවසා සිටි සියල්ල අකා මකා ගොසිනි. හද දවන වේදනාවක් හදකුහර කීතු කර ආත්මානුකම්පාවේ විදුලි සැරයක් සිරුර පුරා විහිදී ගියේ ය. රුදුරු බෝම්බ ප‍්‍රහාරයකට ලක් වී රුදුරු මරණයක් ලඟාකර ගත්තානම් මීටත් වඩා සැපයක් ඇතැයි රාධිකා බසය ඇදෙන අතරේ සිතුවා ය.

බසයෙන් බැසගත් රාධිකා තී‍්‍රවිලරයකට ගොඩ වී ජම්බුගස් මුල්ලේ තිබූ තමා සේවය කළ රාජ්‍ය නොවන සංවිධානයෙන් ලද කුලී නිවස වෙත පියනැගුවාය. ජනාකීර්ණ පෙදෙසක පිහිටා තිබූ මෙම නිවස කැනඩාවේ නැන්දාගේ නිවස තරම් විශාල නැතත්, මෙතෙක් කලක් සැනසීමෙන් විසිය හැකිව තිබූ සොඳුරු කැදැල්ලකි. එසේ සිතමින් තී‍්‍රවිලරයෙන් බැස ගෙවත්තට ඇතුළු වූවාය. නිවස ඉදිරිපිට නවීන වර්ගයේ මෝටර් රියක් නවතා ඇත. සේවා ස්ථානයේ රියක් නොවේ. ඒවායේ සේවා නාමය ලොකුවට වර්ණ ගන්වා ඇත. ආලින්දයට පිවිසෙන විටම සාරතී මුව පුරා සිනාසී දුවවිත් දෙවුරේ එල්ලිණි.

”අම්මා මගේ අප්පා ඇවිල්ල”
”මොකා….”
”අප්පා…. සෙනේෂ් ඉරුගල්බණ්ඩාර”

සුරත නළලත වෙත ගියේ දාඩිය පිසලන්නටය. මැකී ගියේ නළලත තැවරූ රතු පැහැති පොට්ටුවය. හාන්සි පුටුවේ දිගා වී බණ්ඩාර දියණියගේ හිස පිරිමදී. ඔහු තාමත් කමලාහසන් සේ කඩවසම් නොවේ දැයි රාධිකාට සිතුණි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s