පිටගම් by Amanda Liyanage

නිල ඇඳුමේ ඝනකම කොලර් එක අතරින් වාෂ්ප පිටවෙන තරම් ගිනි රස්නයක් දැනුණත් මං හැන්දෑවෙ වැඩමුරේට පය ඉක්මන් කළා. ලා අලූපාට තිත් වැටිච්ච දුඹුරුපාට පඩිපෙළේ උඩට පහළට, දෙපැත්තෙම නොයෙක් පාට මල් වවපු පටු කොරිඩෝ පහුකරගෙන මම ඇවිදගෙන ගියේ පොළොව පිරිසුදු කරන්න ඕනැ කලමනා ටිකත් ඇදගෙනයි. හැඩයක් නැති තද නිල් පාට සායෙ රැුළි අතරින් එළියට පනින මගේ කකුල්වල නියපොතු ඔක්කොම කළු ගැහිලා කුණු පාටට ඇඹරිලා තිබුණෙ කලින් කරපු එළවළු කොටු රස්සාවට මඩ පිරිච්ච වෙල්වල බැහැලා උදේ හවා වැඩකරපු හින්දා. මෙහේ ඉන්න ලස්සන තරුණ නෝනලාගෙන් නම් නියපොතු පාට නොකරපු කෙනෙක් දකින්නේ කලාතුරකින් එහෙමත් දවසක. ලස්සන තද රතුපාට, රෝස පාට, සමහරු තද කළු පාටත් ගානවා.

වංගු වංගු හැරිලා අන්තිමේ මං තරමක් ලොකු කන්තෝරු කාමරේට ආවා. අද දවසෙ අන්තිම වැඩමුරේ. කුණුපාට වෙච්ච වතුර එක්ක සබන් පෙණ පිරුණ බාස්කට් එකට ඝනකම නූල් කැරලිවලින් හදපු කොස්ස ඔබලා මම පිඟන් ගඩොල් පොළොව ඔප දමන්න පටන්ගත්තා. පොළොවට අලූතෙන් ටයිල් අල්ලල හැඩ කළාට කන්තෝරුවෙ පරණ බිත්ති සායම් දියවෙලා පුස්බැඳිලයි තිබුණේ. වැහිකෝඩෙට ඔරොත්තු නොදෙන කාසෙ හැදුණු මිනිහෙක් කහින්න වාගෙ මහ බිත්ති හැමතිස්සෙම තෙතබත් වෙලා පුස් බැඳිච්ච තීන්ත පොතු ගැලවි ගැලවි වැටිලා බිම හැඩි කළා. හරියට තමන්ට ලම්බකව පහළින් වැතිරිලා ඉන්න දිස්න දෙන අමුත්තගෙ ලස්සනට ඉරිසියාවෙන් වගේ.

ශාලාවෙන් බාගයක් පිහදා ගෙන යද්දියි පොත්පත් කීපෙකින් බරවෙච්ච බෑග් එකක් උරේ එල්ලගෙන ආපු යෝගනාදන් මහත්තයා අපිළිවෙල පුටු මේස පේළි අතරින් ගිහින් කන්තෝරු කාමරේ බිත්තිය අයිනෙ මේසෙක වාඩිවුණේ.

”ආ සිරියා අතුගානව නේද?
මං එළියට යන්නම්”

ඒ මහත්තයා නුහුරට වගේ සිංහල කතා කළේ. මට මුල් කාලෙ අහගෙන ඉන්නකොට හිනහ යන්නත් ආවා.

”නෑ මහත්තයා යන්න ඕන නෑ….” මං කියද්දිත් යෝගනාදන් මහත්තයා එළියට ගිහින් ඉවරයි. මට මතක් උනේ කැන්ටිමේ තේ බි බී ඉඳපු මිස්ලා සර්ලා කියපු දේවල්.

”රෝ එකේ ද දන්නෑ ඔහොම හිටියට, කවුද දන්නේ”

මහත මූණට නොගැළපෙන තරම් හීනි කණ්නාඩි දෙකක් දාපු බඩ මහත පරාක‍්‍රම මහත්තයා කිව්වා.
”මොනව උනත් මිනිහ මඩකලපුවට ට‍්‍රාන්සර් වෙන එක හොඳයි.
අපිත් උදේ බස් එකට ට්රේන් එකට නැග්ගම හිතේ ගින්දරෙන්නෙ එන්නේ….”

එහෙම කිව්වේ ඉස්සර අපේ ගමේ හැමගෙදරම වගේ ගෑනු කට්ටිය තරෙඟට වවන්න ගත්තු ඕකිඞ් මල්වල දම් පාටින් තොල් පාට කරගෙන එන කාන්ති මිස්.

මොනව උනත් ඒ ඒ අය උදවිය හිතන හැටි ගැන දොස් කියන්න බැරි බව මං දැනගෙන හිටියා. මේ දවස්වල කොළඹ කන්තෝරු යන එක පවුලෙ මහත්තයයි නෝනයි යන්නේ වෙන වෙනම ලූ. එක්කෙනෙක් බෝම්බෙකට අහුවෙලා මැරුණොත් දරුවො ගැන බලන්න අනිත් කෙනා ඉතුරු වෙන හින්දා.

ඒ කතන්දර එහෙම වූණත් සිංහල අලූත් අවුරුද්දට කලින් අනිත් සර්ලා මිස්ලා එක්කෙනෙක්ගෙන් රුපියල් පන්සීය ගානෙ විතර වෙන්න එක්කාසු කරලා සුළු සේවක අපට තෑග්ගක් අරන් දෙනකොට ඒකටත් සම්මාදම් වෙන අතරෙ ම රුපියල් දාහෙ කොළ දෙකක් තේ හදන කුසුමක්ක ගෙයි මගෙයි අතේ මිට මොලවපු යෝග මහත්තයා මිනී මරන්න ඔත්තු දෙනවා කියලා හිතන්න පුලූවන් ද? මොනව වුණත් අනිත් මහත්තයල නෝනලත් ඒ ගණන වියදම් කරන්නෙත් අතේ තියෙන සල්ලි ටික කෑම බීම, ගෙවල් කුලී, දරුවන්ගෙ ටියුෂන් පන්ති ගාස්තු, ඇයි අනිත් ආත්මෙට ගෙනියන්න පින් රැුස්වෙන ආගමේ දහමෙ වැඩ, මේ වගේ එකී නොකී දේවල් දාහකට වෙන්කරන ගමන් බවත් අපි දන්නවා.

ඒ වෙලාවෙ යෝග මහත්තයා කැන්ටිම එහා කෙළවරේ මේසකට වෙලා කහට තේ එකක් තොල ගගා තනියමයි හිටියේ. කොටුව කෝච්චිි ස්ටේෂමේ බෝම්බ පිපිරෙන්න ගත්තයින් පස්සෙ කවුරු කවුරුත් හෙමිහිට යෝග මහත්තයා මගහරින්න පටන් ගත්තා. ඒ හන්දම තමයි ඒ මහත්තයා මඩකලපුවට මාරුවක් ගන්න එහෙට මෙහෙට දිව්වේ. කොහොමින් හරි මාරුව හදාගත්ත බව මට ඇහුණේ හතරැුස් මේසෙ දෙපැත්තෙ වාඩිවෙලා ඉඳපු ක්ලාක් මිස්ලා ගෝනි රෙදිවල පාට කැරළි නූල්වලින් මෝස්තර මහන වෙලාවක.

ඊළඟ බදාද දවල් වරුවෙ කෑම පැයේ ඉඳලා හවස තේ වෙලාව වෙනකන් කන්තෝරු කාමරේ පැත්තෙන් යෝගනාදන් මහත්තය එළියට යන වෙලාවට කසු කුසු සද්දෙ නෑහුණ වාද විවාද, හිනා කතා කෙළවර වුනේ බ‍්‍රහස්පතින්දා වෙද්දි ප්‍රෙශර් කුකුර් එකක්, තව උයන පිහන භාණ්ඩ කීපයක් එක්ක විදුලි ස්ති‍්‍රක්කයක් ඔප වැටුණු කඩදහිවල ඔතලා පීත්ත පටියකින් සැරසුවට පස්සේ.

”කල්පවතින වටින දෙයක් වෙන්න ඕන, මඩකලපු ගෙනියන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕන.”
මිස්ලා සර්ලා හැමෝගෙම අදහස වුණේ ඒක.

”යෝගගෙ වයිෆ්ට බබා ලැබුණෙත් ලඟදිනේ. දරුවට උවමනා කරන දේවල් ටිකක් දෙමුද?”

”දරුව බලන්න ගිය වෙලාවෙ තෑගි දුන්නනේ. දැන් එහෙ ගිහින් පදිංචි උනාම වුවමනා කරන කළමනා ටිකක් දුන්න නම් තමයි වටින්නෙ.”

කාන්ති මිස්ගේ ඒ යෝජනා වීරතුංග මහත්තයා පැත්තකට කළේ එහෙම කියලා. සිකුරාදා උදේ ආකාසෙන් ඇද හැළුණු පොද වැස්සත් හවස්වරුව වෙනකොට හෙමිහිට තුරල් වුණේ උස් බිත්තිවලින් වටවෙච්ච පොඩි ඉඩ කොටසෙ තැවරුණ අඳුර මකාගෙන සිරියාවන්ත රන්වන් කහපාට එළියක් ඇඳගෙනයි. වෙන්වෙලා යන කාර්යාල සගයා වෙනුවෙන් පොඩි සමුගැනීමේ සාදයක් දමන්න කවුරු කවුරුත් ලෝබ නැතුව කීය කීය හරි දුන්නා. මමත් එදා දවසෙ වැඩ කන්දරාව කඩිමුඩියේ ඉවර කරන්න ගත්තේ හවස තේ පාටියට එන්න කියලා කාන්ති මිස්ලා කතා කරපු හින්දමයි. අනික ඉතින් හිත හොඳ මහත්තයෙක්, මනුස්සයෙන් ආයෙ කවද දකින්න ලැබෙයි ද නොලැබෙයි ද කියලා හිතාගන්න බැරි දුරකට වෙන්වෙලා යන්න වෙලාව ඇවිත් තිබුණා, හිතට කොච්චර සාංකාවක් දැනුනත්. තේ පැන් සාදෙ අතරතුරේ හැමෝම යෝගනාදන් මහත්තයට සුබ පැතුවා, අනාගතේ සාර්ථක වෙන්න කියල ප‍්‍රාර්ථනා කලා, අතට අත දුන්නා. වැඩ ඇරෙන වෙලාව ළං වෙද්දි අත් බෑග් සූදානම් කරගන්න තමයි ගොඩක් අය උනන්දු උනේ. ඒ වෙලාවෙ තමයි මම පන්මල්ලත් අරගෙන යෝග මහත්තයා ගාවට ගියේ. කඩදාසියක ඔතලා දාගත්තු පාටියෙන් ලැබුණ බටර් කේක් කෑල්ල පොඩි නොවෙන්න සීරුවට මල්ල ඇතුලෙහි තිබුණු පොඩි රවුම් හැඬේ පන්කොළ පෙට්ටිය එළියට අරගෙන මම ටිකක් බලාගෙන හිටියා. තීන්තෙ ඔබලා වියළපු පන් ගස්වලින් රටා හිටින්න පොඩි පෙට්ටි, පැදුරු විතරක් නෙවෙයි දිග මාගල් වියන්නත් අපෙ අත්තා අපි පොඩි කාලෙම උගන්නල තිබුණා.

”මහත්තයට දෙන්ඩ කියල ගෙනාවෙ. බඩු මොනව හරි දාගන්න පුලූවන්නේ.”

”ආහ්! සිරියද මේක හැදුවේ? හරි ලස්සනයිනේ”

ඇස් කණ්ණාඩි දෙක ගලවල අතට අරගෙන පන් පෙට්ටියෙ පියනත් ඇරල බලලයි යෝගනාදන් මහත්තය එහෙම කිව්වේ.

”එහෙනම් යෝග, අපි යනව. තව පරක්කු උනොත් ටේ‍්‍රන් එකත් මිස් වෙනවනේ.” එතකොටම එතනට ආපු පරාක‍්‍රම මහත්තය කිව්වා.

”හරි. තෑන්ක් යු සෝ මච් පාටි එකට”
”අපිත් දැන් යන්නම් යෝගා. ගෙදර යන්න ? වෙයි.”

කාන්ති මිසුත් අනිත් මිස්ලා සර්ලත් යන්න සූදානමින් කන්තෝරු කාමරෙන් එළියට බැස්සා.

”ආයෙ මේ පැත්තෙ ඇවිත් යන්නකො එහෙනම්, අපිව බලන්න”
”එනකොට තල් හකුරු ටිකක් එහෙම ගේන්න හොඳේ”

ඒ කිව්වේ කවුද කියලා කටහඬින් හරියට අඳුරගන්න බැරිතරම් එහාට මං ඇවිදගෙන ගිහින් තිබුණ බව මම තේරුම් ගත්තේ ඒ වෙලාවෙ.

ආයෙමත් ලා අළු පාටට තිත් වැටුණ දුඹුරු පාට පඩිපෙළ දිගේ පහළට බැහැගෙන මම ගේට්ටුව පැත්තට ඇවිද ගෙන ගියා.

ඉර ගාලූකොටු පවුරට මුවා වෙන වේගෙටම කොටුවෙන් එහා ගෙවල් දොරවල්වල වගේම වීදි ලාම්පුවලත් පහන් දැල්වෙන්න පටන්ගෙන තිබුණා. තමන්ට නින්දට යන්න වෙලාව ආපු බව දැනගත්තු ඩුබායි රෝස මල් පොකුරු, දාස්පෙති මල් බැහැගෙන යන ඉරේ අන්තිම එළිය බින්දු කීපය එක්ක මුසුවෙච්ච කෘතීිම විදුලි ආලෝකය මැද මළානිකව දිලිසුණේ හෙට උදෙන්ම ඇස්වල පිණි බින්දු කඳුළැලි පුරවගෙන ඇහැරෙන්න වෙන බව මතක තියාගෙනයි.

කාටවත් දල්වන්න අතපසු වුණු ලයිට් කණුවක පහළ විදුලි ස්විචය ඔබාගෙනම මම වීදිය දිගේ ටවුම පැත්තට ගියා. මටත් නොදැනෙන්න මගේ මූණ පුරාවට මඳ හිනාවක් ඇඳිල තිබුණා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s