පොල් ගස හා තල් ගස by Hansini Pramuditha

දකුණු දෙසින් හමා ආ සුළං පොල් කොළ නටවමින් තල් කොළ හා පොරබැදුවේ ය. උතුරු දෙසින් ආ සුළං තල් කොළ හා රඟා පොල් කොළ කීතු කළේ ය. ගිනි ගහන අව්වෙන් රත් වූ වැලි පොළොව පොල් ගසත් තල් ගසත් සිය උරයේ හොවාගෙන නිහඬතාව රකියි. තල් ගස ඍජුව ආකාසය දෙස බලා සිටියේ ය. පොල් ගස ද ඍජුව ආකාසය දෙස බලා සිටියේ ය. ඈත දුරක සිට බලන්නෙකුට කාන්තාර මහ පොළොවෙන් ඉහළට නැගි එකී මහ වෘක්ෂයන්ගේ දසුන අපූර්ව කලා කෘතියක් ම වූයේ ය. රාත‍්‍රියේදී ත් සවස් යාමයේදී ත් මද්දහනේදී ත් ඊට නවමු කලාවක් ආරූඪ වී තිබුණේ ය.

පොල් ගස දැක්කේ තල් ගසෙහි අපූර්වත්වයත් නියඟයට හසුවූවාක් මෙන් හේබෑ වී ගිය කටු පඳුරු සහිත ලඳු කැලෑ භූමිය යි. තල් ගස ද පොල් ගසත් ඈත ක්ෂිතිජ ඉම දක්වා දිවෙන මහ පොළව හැර කිසිවක් නො දුටුවේ ය. ඉන් එහා ගිය ලෝකයක් ගැන හැඟීම් අංශු මාත‍්‍රයක් සිතට ඇතුළු වී තිබුණත් එහි ගොස් සැරිසැරීමට දෙදෙනාටම අවස්ථාවක් නො ලැබුණි. යමක් පිළිබඳ අනෙකාගෙන් විස්තර අසා දැනගැනිමට ඇල්මක් දෙදෙනාගේ ම සිත් තුළ පැළපදියම් වී තිබුණේ ය. එහෙත් ඉස්සරවීමට එකෙකුවත් කැමැති නොවී ය. එනිසා දොඩමළුවීමේ ආශාව දින නියමයක් නැතිව කල් යයි.

එක්වර ම අවකාශයට මුහු වී ගිය නුහුරු ගන්ධයට දෙදෙනා ම කිහිප විටක් ඉව ඇල්ලූවෝ ය. වා තලය කටුක බවක් ඉසිලී ය. දුහුවිලි ඇවිස්සිණ. ඉමහත් ගෝරනාඩුවක් කරමින් සසල වූ මිහිතලය මොහොතකට පසු ව නිසල වූයේ ය. මෙතෙක් මිහිතලය දැඩිව වැළඳගෙන සිටි මුල් බුරුල් වී ගොස් සමබරතාවය ගිලිහී ගිය තල් ගස නැවුණේ ය. පොල් ගස ද කැරකී ඇඹරී විසි වූයේ ය. අවසානයේ දෙදෙනාගේ ම ඍජුව තිබූ කඳක් මැදින් කැඞී එක මත එක පිහිටියේ ය. එය බොහෝ වේදනාකාරී විය. එක් ඇලයක පතුරු ගැලවී සැරව ගලන්නට පටන්ගෙන තිබුණේ ය. තුවාල දෙක එකට තෙරපෙන වේදනාවේ අසීරුව දරාගත නො හැකිව පොල් ගසත් තල් ගසත් පීඩාකාරී මොහොතකට එළඹ සිටියහ.

ඒ හඬ ඔවුන් කිසි දිනෙක අසා තිබුණේ නැත. කන් විදහා දෑස් අයා ඔවුහු ඒ හඬට අවධානය යොමු කළහ. මේ නම් පුදුමයකි. දෙදෙනා ම සිතුවෝ ය. එවැන්නක් දුටුවේ ප‍්‍රථම වරට ය. එවුන් එක වගේම ය. නමුත් එක් අයෙකු වේදනාවෙන් කෙඳිරිගානු පෙනේ. ඔවුන්ගේ උච්ඡු හඬවල් සුළෙඟ් ශබ්දයට වඩා වෙනස් බව පොල් ගසත් තල් ගසත් ක්ෂණික ව අවබෝධ කර ගත්හ. ඔවුන්ගේ සිරුරු වටා දවටා තිබූ යමක් සැඩ සුළඟට නිතර සැලූණේ ය. අනෙකා කෙඳිරිගාන අයව වත්තම් කරගෙන සිටියේ ය. හරියට අපි දෙන්නා වගේ………….. පොල් ගසත් තල් ගසත් සිතූහ. අමුත්තන් අත දිගු කරමින් තමන් ව පෙන්වන ආකාරය දෙදෙනා ම දුටුවෝ ය. ඒ දෙදෙනාගේ ගමනාන්තය තම සෙවණ වනවාට නිසැකය.
මොහොතින් මොහොත ගතවෙද්දී ළං වෙන රූපකායන් දෙක පිළිබඳ බොහෝ තතු අනාවරණය විය. එක් අයෙකුගේ සිරුරේ මැද කොටස ඉතා මහත්ව ගොස් තිබුණේ ය. මුහුණෙන් පිළිබිඹුවන වේදනාව ඒ ඉතා තර වූ කොටසින් පැන නගින්නක් බව පොල් ගසත් තල් ගසත් වටහා ගත්හ. ලාලිත්‍යයෙන් අගතැන්පත් ගතියක් විදහා දැක්වුණු අනෙකාගේ මුහුණෙහි දැඩි වෙහෙසකර බවක් ද ඊට යටින් ඉස්මතු වෙමින් යළි කිමිදෙමින් යළි ඉස්මතු වෙමින් පවතින අධිෂ්ඨානයක් ද පැහැදිලිව දක්නට තිබුණේ ය. අවසානයේ ඔවුන් දෙදෙනා පොල් ගස හා තල් ගස වෙත ළඟාවෙද්දී ගස් දෙකම තම වේදනාවන් බලහත්කාරයෙන් යටපත් කරගනිමින් ඉවසිලිවන්ත වූවෝය.

‘‘අක්කේ, අක්කා බය වෙන්න එපා. මං ඔයාට උදව් කරනවා. ඔව්……, කවුරු නැතත්.’’

‘‘අක්කේ,’’

අක්කා යන්නිය නො නවත්වා කෙඳිරිගායි. ඇගේ කෙඳිරිය ක‍්‍රමයෙන් බලවත් අඳෝනාවක් බවට පත් වෙමින් පවතී. ඇයගේ මිට මෙලවූ අත්වල වැලිකැට රැුඳී තිබුණි. ඈ සිය වියළී ගිය දෙතොල් වරින් වර පිස දැමුවේ අත්ලේ ඇති වැලිකැට ගැන කල්පනාවක් නැත්තා සේ ය.

‘‘මගේ දරුවගේ තාත්තා….. මරලා කියලා පණිවිඩයක් ආවා දැන් ටිකකට කලින් නංගියේ….’’ ඈ විලාප නැඟුවා ය.

‘‘අයියෝ ආඩවනේ….’’ නංගි යන්නිය මඳක් පසෙකට විසිවූවා ය. ඇගේ දෙනෙතින් ප‍්‍රකාශ වූයේ මහත් අභියෝගයක් ඉදිරියේ පළවන වීරත්වයකි.

‘‘මං දන්නේ නැහැ මේ කරදර කවදා ඉවර වෙයිද කියලා. මගේ කොල්ලාත් මරලා මං හිතන්නේ. අක්කා බය වෙන්න එපා. ඔය දෙගොල්ලන්ගේ කා කොටා ගැනිලි කවදා හරි නතර වෙයි. එදාට අමු අමුවේ පිළිස්සෙන මිනීවල ගඳ, උණ්ඩවලට ඇඟ සිදුරු වෙලා විහිදෙන ලේ පාරවල්වලින් එන ගඳ නැතිවෙලා යයි.’’

අක්කා වේදනාවෙන් කෑ මොර දුන්නා ය. නංගිගේ මුවින් මතුවූයේ උද්යෝගිමත් සිනාවකි.

‘‘ඔව්, උපතකදී විතරක් ලේ වැගිරෙන දවසක් එයි.’’ ඈ මිමිණුවා ය.

නමුත් ඒ ස්වරය පරයා අලූත් ජවාධික හඬක් නැගිණි. පොල් ගසත් තල් ගසත් විමසිල්ලෙන් එබී බැලූවෝ ය. නංගිගේ ළයත් උදරයත් දෝතත් අතරට මැදි වූ පොදියෙන් එ් හඬ නැගෙන බව පෙනේ. අක්කා තල් ගසට අත තබාගෙන පොල් ගසේ කඳට හිස හේත්තු කරගෙන දෑස් පියාගෙන සිටියා ය. ඇගේ මුවින් දැන් සිහින් කෙඳිරියක් හැරෙන්නට අන් කිසිදු හඬක් නො නැගේ…..

ඇයගේ දෙපා අසල වැල්ල රත් පැහැයට හැරී තිබුණි. පොල් ගසත් තල් ගසත් එවැන්නක් මීට පෙර දැක තිබුණේ නැත. නංගී ඇය පොරවාගෙන සිටි යමක් ගතින් මුදවා ඉන් එක් කොනක් තල් ගසේත් අනෙක් කොන පොල් ගසේත් ගැට ගසා මෙතෙක් තුරුලූ කරගෙන සිටි පොදිය එ් මැද ප‍්‍රවේශමෙන් තැබුවා ය. අනතුරුව පහතට නැමී ගොස් තිබූ ගස් දෙකෙන් ම ගෙඩිය බැගින් බිම සිටම කඩා ගත්තා ය. බොහෝ වේලාවක් ගත කර ඒවායේ ලෙලි හැර ජයග‍්‍රාහී සිනාවකින් වටපිට බැලූවා ය.

අක්කා ඒ වන විට සිටියේ අර පොදිය යළිත් සිය ළමැදට තුරුලූ කරගෙන ය. ඇගේ ළමැදින් අසීමිතව වෑස්සෙන සුදු පැහැ දියරය ගැන බොහෝ පැනයන් පොල් ගසටත් තල් ගසටත් ඉස්මතු වී තිබුණේ ය. කලින් ඇගේ සිරුරින් වෑස්සුනේ රතු පැහැ දියරයක්…. දැන් සුදු පැහැ දියරයක්…. ඒවා අපේ තුවාලවලින් වෑස්සෙන දියරයන් වගේ…. අපේ ඵලවල දිය වගේ…. අවර්ණ නූනේ ඇයි?

නංගි අනතුරුව ඒ ගෙඩිවල රළු කටුව බිඳ දමා එකක් අක්කාට දී අනෙක කඩා තමා ම රස බැලීමට පටන් ගත්තා ය. දෙදෙනාගේ ම මුහුණුවල ඇඳී ගියේ අසීමිත පුදුමයකි. ඔවුන් එම පුදුමාකාර අත්දැකීම කිසි කලෙකත් අත් නො දුටු අපූර්ව එකක් ලෙස භාර ගෙන ඇති හැඩ ය.

‘‘අක්කේ මේක විශ්වාස කරන්න පුළුවන් ද?’’
‘‘ම්හු….. මට හිතාගන්න බැහැ. මේක පොල් ගෙඩියක් වුණාට තියෙන්නේ තල් වතුර.’’
‘‘ඒක තමයි….. මේකේ තියෙන්නේ පොල් වතුර.’’

ඈ සිනාසී නැවත කුඩා පොදිය ගෙන තාවකාලික තොටිල්ලේ තබා අක්කාට පහසුවක් අත්කර දුන්නා ය. පොදිය යළිත් කෑ ගසන්නට පටන් ගත්තේ ය. නංගී පහතට නැමී එය සීරුවට අත ගෑවා ය.

එක්වරම හැඬිල්ල නතර වුණි. පොදිය අතරින් පුංචි මුහුණක් තල් ගසටත් පොල් ගසටත් පෙනුණි. තල් ගසත් පොල් ගසත් එකට ඇතිල්ලෙන තුවාලයෙන් මිදුණු යුෂ බිඳුවක් සිඟිති තොල් මතට වැටී තිබෙනු නංගී දුටුවා ය. ඈ දල්වාගත් දෙනෙතින් යුතුව තල් ගසත් පොල් ගසත් එකට ඇතිල්ලෙන තුවාලය දෙස බලා සිටියේ බොහෝමයක් කරුණු කාරණා පසක් කරගනිමිනි. පුංචි සිඟිත්තා සිය කුඩා දිව මඳක් එළියට දමා ඒ මිහිරි රසය විඳ ගත්තේ ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s