මගේ දරුවා by H.M. Pippali Mayura Bandara Gunarathne

වර්ෂාව නිමා වූ මාර්ගය දිගේ රථය වේගයෙන් ඉදිරියට ඇදී ගියේ ය. කඩතොලූ වූ පාරේ කුඩා වලවල්වල වතුර පිරී ඇත. එසේ පිරී තිබුණු වතුර – මහත ටයර් සමග ගැටී දෙපසට විසිරී යන්නේ රටාවක් මවමිනි. එකී රටාවන් පැති කණ්නාඩියෙන් මල්වෙඩි මෙන් පෙනේ. මම ඒ මනරම් රටා නරඹමින් බොහෝ දුරක් පැමිණියෙමි.

”අපි කොහොම ද තොරතුරක් ගන්නේ? මට හිතනේනේ මෙහෙ ඉන්නේ මළවුන් ම විතරයි කියලා.”
”පාළු සොහොනකට ගියා වගේ නේද සර්? මම හිතුවේ මේ ගතිය මට විතරක් දැනෙන එකක් කියලා.” රියදුරු පිළිවදන් දුන්නේ ය.
”අන්න! අන්න!! මිනිහෙක්.”

අපට ඉදිරියෙන් මාර්ගය දිගේ ඇවිද යන මිනිස් රූ දෙකකි. එක් රුවක් වැඩිහිටි වූ අතර, අනික කුඩා ළදරු රුවකි.

”අපේ එක්කෙනෙක් නං කතා බහ ලේසි වෙයි. අපි එසේ ම වේවායි ප‍්‍රාර්ථනා කරමු.” මම පැවසීමි.

මට පැවරී ඇති කාර්යය වන්නේ ජාතිවාදී ගැටුමෙන් පසු ඉතිරි වූ මිනිසුන් පිළිබඳ සංඛ්‍යා ලේඛන වාර්තාවක් සැපයීමයි. ඒ සඳහා අවශ්‍ය පූර්ව සූදානම ලෙස සංඛ්‍යා ලේඛන ඇතුලත් කිරීමට අවශ්‍ය වගු ආදිය මුද්‍රිත ලිපි සහිත ගොනුවක් මම පෙර දින සූදානම් කරගත්තෙමි. අද දිනය තුළ ඒ සියලූ වගු පුරවා හමාර කරගෙන යළි පැමිණීම මගේ අභිලාෂයයි.

මගේ රියදුරු මැදිවිය තරමක් ඉක්ම වූ ප‍්‍රවීණයෙකු වීම මගේ සිතේ කිසියම් සහනයක් සනිටුහන් කළේ ය. නොඑසේ නම් ජන ශූන්‍ය වූ පළාතක රථයක් හා තනිවීම බියකරු සිහිනයක් වීමට පිළිවන.

මාර්ගය දිගේ අපට පිටුපා ඇවිද ගියේ පිය පුතුන් දෙදෙනෙකි. පාරේ ඇවිද ගිය ඔවුන් සහ මා අසුන්ගෙන සිටී ඉදිරි කවුළුව සමපාත වන ලෙස රිය නතර කෙරිණි.

”ආයුබෝවන්!” මම සිනාසී ඔහු ඇමතීමි. ”ඉතිං අපි ආවා ඔයාලාව බලාගෙන යන්න.” මිත‍්‍රශීලි පිවිසුමක් ඕනෑ යැයි සිතූ මම එසේ කීව ද ඔහු මා දෙස බලා සිටියේ සතුරු බවක් හෝ මිතුරු බවක් පළ නොකරන බැල්මකිනි. මා කිව් දේ නොවැටහුනා වත්ද? මම යළි දෙතොල් විදහා සිනාසීමි.
මා දෙස එක එල්ලේ බැලූ ඔහු ඒ ආකාරයෙන් ම විනාඩියකට වඩා මා දෙස බලා සිටියේ නොවැටහෙන මායා හස්තයකින් මට කිසිසේත් ම සෙලවීමට ඉඩ නොදෙන ලෙස තරයේ අල්ලාගෙන යැයි මට හැගිණි. ඊළඟට මා මවිත කරවමින් ඒ දෙනෙතේ ඉනූ කඳුළු දෙකොපුල්තල ඔස්සේ රූරා ගලා යන්නට විය.

”අවුරුදු තුනකට පස්සේ” ඔහු දුබල හඬකින් පැවසීය.

මම කුඩා දරුවා දෙස බැලීමි. ”මට තොරතුරු ටිකක් ගන්න ඕන. කොහෙද අයියගේ ගෙදර තියෙන්නේ? අපි යමු! වාහනේට නගින්න. පුතත් නගින්න.”

මම ඉදිරි දොරින් බැස පසුපස දොර හැර ඔවුනට ගොඩවීමට සැලැස්වීමි. දරුවා වහා ම රථයට ගොඩ වූ අතර ඒ අපූරු මිනිසා රථයට ගොඩවූයේ අදෘශ්‍යමාන බලයකින් තල්ලූ කළ විටක මෙනි.

ඔහු ගමන් කරන අතරතුර යන්තමින් මෙන් අප යා යුතු දිසාවන් හැඟවීය. රියැදුරා ප‍්‍රවේශමින් රිය ගෙනයන ආකාරය දෙස මම අවිඥ්ඥානික ව බලා සිටියෙමි.

ගරාවැටුණු ස්වභාවයක් පළකල නිවසක් අසල රිය නවතා දැමුණි. ගේ අවට උස් තණ පඳුරු නිදහසේ වැවී ඇත. පරිසරයේ තෙත් සුවඳ පැතිර පවතී. ඝන සුළග නිවස අවට මිදී ඇත. ඈතින් එන කවුදෝ පිළිගැනීමට ජනේල දෙකක් විවර වී බලා සිටියේ ය. මඳක් විවර වූ දොර අපට නිවස තුළට යාමට ආරාධනා නොකළේය.

රථයෙන් බට දරුවා දිව ගොස් දොර හැරියේ ය. මම ලිපිද්‍රව්‍ය ගොනුව ද රැුගෙන ගෙට ගොඩවීමි. ගෙයි තුළ වූ පුටු හා මේසය කලකට පෙර තිබී නටබුන් වූ විභූතියක් පළකලේ ගේ මධ්‍යයේ මළකඳක් තැබූවාක් වැනි හැඟීමක් සමඟ එකට මුසුවෙමිනි.

කුඩා දරුවා ගලවා දැමූ කමිස හා කලිසං තැන තැන දක්නට ලැබුණි. නිවසට ගොඩ වූ වහා ම ඔහු ඒ සියල්ල එකතු කරගෙන ගොස් යාබද කාමරයක රෙදි වැටකට දමනු මට පෙනුණි.

සාලයේ මේසයක් අසල වූ පුටුවක අසුන් ගත් මම ආලෝකයක් ගලා එන්නේ කොහෙන් දෝ කියා සොයමින් වටපිට විපරම් කළෙමි. මගේ සෙවනැල්ල කුටියේ අඳුර තවත් වැඩිකොට ඇතැයි මට සිතිණි.

මට අසුන් පැන වූ ඔහු මේසයට ඉදිරිපසින් බිත්තියට හේත්තු වූ ඉරියව්වෙන් බිම හිඳගත්තේ තවත් පුටු නොතිබූ නිසා නොවේ. ඔහුගේ සිරුර පුටුවෙන් ඇද වැටේ යැයි ඔහු බිය වූවා විය හැකිය.

”ඉතිං මේ ගමේ ගෙවල් කීයක් විතර ඉතිරිවෙලා තියෙනවා ද?” මගේ ලිපි ගොනු දිගහරිමින් මම සටහන් තබාගැනීමට සූදානම් වීමි.

එහෙත් ඔහුට මා කී දේ ඇසුනේ නැත. හිස් බැල්මකින් වහලය දෙස බලා සිටි ඔහු දෙස මම ද වේලාවක් බලා සිටියෙමි. ඔහු දෙසට මුහුණලා හිඳ සිටි මට ඔහු හොඳින් නිරීක්‍ෂණය වෙයි.

”දැනට ගමේ කීදෙනෙක් විතර ජීවත් වෙනවද?” මගේ දෙවැනි පැනයට තිගැස්සී අවදි වූවාක් මෙන් මා දෙසට යොමු වූ ඔහුගේ දෙනෙත් යළි විඩාබරව පාතට නැඹුරු විය.

මා පැමිණියේ රජයේ නියෝජිතයෙකු ලෙස කියා හෝ මට තොරතුරු අවශ්‍ය බව හෝ මම අමුතුවෙන් ඔහුට පැහැදිලි කිරීමට නොගියෙමි. ඒ බව ඔහු හොඳින් දන්නා වග මම දනිමි. මේ නිහඬ බව හටගත්තේ එවැනි අනවබෝධයක් හේතුවෙන් නොවන බව මට පැහැදිලි කරදීමට ඔහු ද අමුතුවෙන් උත්සාහ නොකළේය.

සෘජුව ම මා දෙස බලා සිටි ඔහුගේ දෙකොපුල හරහා යළි කඳුළු ගලායන්නට විය. කුමක් දෝ නොවැටහෙන බසාවකින් ඔහු දෙනෙත් හරහා මා සමග කතාකරන්නාක් බඳු හැඟීමකින් මා සලිත විය. ඒ ඉල්ලීමක් ද නැතිනම් විස්තර කිරීමක් ද කියා මට තවමත් වැටහී නැත.

ඔහු ඉන්පසු නිහඬව සිටී කාලය පැය කාලක් පමණ විය හැකිය. කුඩා දරුවා මිදුල කොනක වූ රූස්ස ගසක් යට කුමක් දෝ කරයි. කැඞී බිඳී තැළුණු සිත් සහිත මොවුන් කෙරෙන් සංඛ්‍යා දත්ත විමසීමට පැමිණීම පිළිබඳ මම, මා සමඟ ම උරණ වීමි.

මම තීරණය වෙනස් කළෙමි.

පෑන හා ලිපිගොනු පසෙකින් තැබූ මම මේසය මත දෙවැළමිට තබා ඉදිකල ආධාරකය උඩ නිකට තබා ඔහු දෙස බලා සිටියෙමි. මා මෙසේ දිගු වේලාවක් බලා සිටින්නට ඇත. ඔහුගේ දිගු කතාවට සවන්දීමට මා සූදානම් බව ඔහු වටහාගත්තා විය හැකිය.

”එදා මං ගෙදර හිටියේ නෑ.” ඔහු අතරින් පතර දත් කැඩුණු කියතකින් යකඩ කපන්නාක් බඳු හඬකින් කතාව ඇරඹී ය. මට හරස් ප‍්‍රශ්න නොවී ය. ”අපි දහතුන් දෙනෙක් පිරිමි. එදා අපි ඔක්කොම ගමෙන් පිට හිටියේ…. එකම වැඩකට ගිහින්…. උං ගමට ආවා” ඔහුගේ කටහඬ සිහිනයෙන් දොඩවන්නාක් වැනිය. ”ඊට සතියකට උඩ දී වෙනිං සිද්ධියකට උන්ගේ එකෙකුට අපේ එවුන් හොඳට ම ගැහුවා. ගුටි කෑව එකා අවුරුදු පහළොවක විතර කොල්ලෙක්. ඒ ළමයා මැරිලා තියෙන්නේ එදා. ඒ ගමේ ම පිරිමි ටික එදා මෙහේ ඇවි….” ඔහුගේ කටහඬ ක‍්‍රමයෙන් ප‍්‍රාණවත් වුයේ හැඬුම්බර ස්වරයකිනි.

”…. ගමේ හිටිය එකෙක් නෑර මරන්න පටංගෙන. උංගේ එකෙක් වෙනුවෙන් අපෙන් ගමක්….!!! කොනක ඉඳන් මරන්න පටංගෙන. ගෑණු, ළමයි අමු අමුවේ පෙතිගහලා, තලලා දාලා. හිටියා පිරිමි එකෙකුට වත් කිසිම දෙයක් කරකියාගන්න විදිහක් තිබිලා නෑ…. ගමක් එක්ක තනියම හැප්පෙන්න බෑ.” ඔහු දෙපා නවා බිත්තියට පලි වී ගුලි විය.

”අපි ආවා. අපි එනකොට – හැම තැන ම මළකඳන්. මම මගේ මේ ගෙදරට දුවගෙන ආවා.” ඔහු කතාව නතර කළේ ය. මගේ කොඳු නාරටිය දිගේ තියුණු සීතලක් ගමන් කරන්නාක් බඳු විය.

”මං මේ ගෙදරට ආවා මහත්තයෝ.” දෑත ළයට තදකර හදවත සොයන්නාක් මෙන් ළය පොඩිකරමින් ඔහු ඇඹරුණේ ය. හෙඬ් හැඬුම්බර ස්වරය වෙවුලන එකකි. ”මගේ ගෑණි අන්න අතන වැටිලා හිටියේ. පිටිපස්සෙන් ඇවිත් බෙල්ලට කොටලා.

”මගේ කොල්ලා” ඔහු එකවරම විලාප නැගී ය.

ඈත සිටි දරුවා වහා ම නිවස තුළට දිව ආවේ ය. පියාගේ හදිසි මෙන්ම විමති සහගත ආමන්ත‍්‍රණයෙන් කැළඹුණු දරුවා පියා කරා දිව ගියේ මගේ හදවත කම්පා කරවමිනි. මගේ හදවත ද සලිත වී ගියේ ය. පියාට තුරුළු වූ දරුවා දෙස මා බලාසිටියේ දැයි කියා මම නොදනිමි.

පපුව දෙසින් ගුලියක් වැනි යමක් පැමිණ මගේ උගුරේ හිරවී ඇතැයි මට සිතේ. කොතරම් උත්සාහ කළත් එය ගිලදැමීමට මට නොහැකි ය.

කුඩා දරුවා මඳ වෙලාවක් තුරුළුකරගෙන සිටි ඔහු දරුවා සිය සිරුරෙන් මෑත්කොට සෙනෙහසින් ඔහුට ඇමතී ය.

”එළියට පලයං. වැඩි ඈතක යන්න එපා.” දරුවා ද විශේෂයක් නොවූවා මෙන් පිට ව ගියේ ය.

”මගේ කොල්ලා අන්න අර රෙදිවැට ළග මුනිං අතට වැටිලා හිටියා මං දුවගෙන ගිහින් කොල්ලා ව වඩාගත්තා…. මගේ පුතා නින්දේ නෙවෙයි මහත්තයෝ හිටියේ…. බෙල්ල කඩාවැටුනා. මගේ කොළුපැටියා….” ඔහු දෑතින් ඔළුව බදාගෙන හීන්හඬින් ඉකිබින්දේ ය. මගේ රියැදුරා ද මේ කතාවට බොහෝ වේලා සවන් දී ඇති බව මා දුටුවේ ඔහු තමන්ගේ ළයට තට්ටුකරමින් අනෙක් අතින් කඳුළු සැගවීමට තැත්කරද්දී ය.

”මුං සේරම මරන්ඩ ඕනි කියලා මං එළියට බැහැලා කෑ ගැහුවා. ”එකෙක් නෑර පෙතිගහන්ඩ ඕනි. මට ආයේ මොනා නැතිවෙන්ඩ ද?”

”මම එළියට බැස්සේ මන්නේ අරගෙන. මාත් එක්ක ගමෙන් පිටවෙලා හිටිය අනික් දහතුංදෙනාත් මං වගේම යක්ෂාවේස වෙලා. යක්කු රැුළක් වගේ. යක්ෂයා ආවත් ඒ වෙලාවේ අපිව නවත්වන්න බෑ.”

ඔහුගේ කතාව තියුණු මෙන් ම ප‍්‍රවේගකාරී එකක් වූවේ ය. ”අපි ගියා උන්ගේ ගමට. යකාගේ වගේ හයිියක් අපට ඒ වෙලාවේ තිබුණේ. අපෙ එවුං ගෙයක් ගෙයක් ගානේ හිටි හැම එකෙක් ම හොය හොය මැරුවා. උන්ට හැරෙන්නවත් බැරි වුනා.

එක තැනක පිරිමි පස්දෙනෙක් හිටියා. එතැන දී උං අතිං අපේ එවුං හතරදෙනෙක් මැරුණා. අපි දහතුංදෙනා නවයට අඩුවුනා. ඒකෙන් අපේ වෙගේ තවත් වැඩිවුණා.

ඔව්, මම මරාගෙන මරාගෙන ගියා. මට තේරුණේ නෑ මම මිනිස්සු මරණ බවක්. මට ඕන උනේ පොඩිකරන්න. කුඩුපට්ටම් කරන්න. ගෑණු ද මිනිස්සු ද මට පෙණුනේ නෑ.

මම එක ගෙයක් දිහාවට දුවගෙන ගියා. ඒ ගේ ඉස්සරහ හිටියා ගෙදර ගෑනී. කෑගහද්දී ම මම ඒකිව කපලා බිම දැම්මා. ගේ ඇතුළට ගියා. දුවද්දි දුවද්දී පිරිමියා මැරුවා.” ඔහු මඳකට කතාව නතර කළේ කෙල ගිලීම සඳහා විය යුතුය.

”මම ඒ ගෙදර කාමරේක දොරක් දැක්කා. දොර හෙලවෙනවා. මම දොර තල්ලූ කරගෙන කාමරේට ගියා.” ඔහු කොහේ දෝ ඉලක්කයකට අත දිගුකරමින් හඬන්නට විය. ඒ හැඬුමේ දෝංකාරය මට තවමක් ඇසේ. මගේ දෙකොපුල දිගේ කඳුළු ගලා යන බව මට දැනුන ද මට ඒ පිළිබඳ වගක් නොවී ය.

”කාමරේ රෙදි වැට හෙලවෙනවා මම දැක්කා මහත්තයා…. මගේ පොඩි එකා…. මගේ පොඩි එකා මාත් එක්ක හැංගිමුත්තං කරද්දි හැංගෙන්නේ රෙදිවැට යට. මට එක පාරට ම හිතුනේ මගේ කොල්ලා රෙදිවැට යට හැංගිලා ඉන්නවා කියලා. මං රෙදිවැට උස්සලා බැලූවා. ඔව් මහත්තයා ඒක යට මගේ පුතා හිටියා.” ඔහු අප‍්‍රාණික අත ඈත මිදුල කොනේ සිටි දරුවා දෙසට යොමුකළේ ය.

”කොලූ පැටියා හොඳටෝ ම බයවෙලා. සුදුමැලිවෙලා. මට මහා බයක් ඇතිවුනා. මම පොඩිඑකාව තුරුළු කරගන්න ලෑස්ති වුනා.

මූ බය වෙලා පැනලා දුවන්න හැදුවා. පැනවා දිව්වොත් එළියේ ඉන්න එවුන් මේ දරුවා මරණ එක ඒකාන්තයි. මම පැනලා දරුවව අල්ලගත්තා. ඌ හයියෙන් කෑගහලා මගේ අත හැපුවා. තුවාල වෙද්දි හැපුවා. ඒත් මට ඌ ගැන ඇති වෙච්ච ආදරේ අඩුවුනේ නෑ. මට බය විතරයි දැනුනේ. මම පොඞ්ඩට කිව්වා මම එයාව මරන්නේ නෑ කියලා. ඒත් ඌට මගේ බාසාව තේරුනේ නෑ. ඌ දැඟලූවේ ම පැනලා දුවන්න.
ඔය අතරේ අපේ අනික් එවුන් ටික මං හොයාගෙන ආවා. පොඩිඑකාව තුරුළුකරගෙන ඉන්නවා දැකලා එවුං තක්කු මුක්කු වුනා. පොඩි එකා කෑගහනවා. මම අල්ලගෙන ඉන්නවා.

මුලිං එවුන්ට හිතාගන්න බැරි වුනා වෙන්නේ මොකක් ද කියලා. ඒත් ටික වේලාවකින් තේරුම් යන්න පටංගත්තා.

එකෙක් හිටියා අමු ම අමු අවලමෙක්. ඌ මගේ තුරුල්ලේ ඉදිද්දි ම දරුවව මරන්න පැන්නා. මම කෑගහලා කිව්වා ළගට ආවොත් මරණවා කියලා. ඌ ළගට ආවේ නෑ.

එතන හිටියා නියම මිනිහෙක්. මිනිහට සේරම තේරුම් ගියා. දරුවා මරන්න පනින එකාගේ කන හරහා පාරක් ගහලා ඌව පැත්තකට තල්ලූකරලා ඒ මිනිහා වලහෙක් වගේ එතන ම බිම වාඩිවෙලා ආඳෝනා තියන්න පටංගත්තා. ඒත් ඒ වෙනකොට අපි මුළු ගම ම මරලා ඉවරයි.

මං කිව්ව දේ නොතේරුණාට කොළුපැටියට වෙච්ච දේ තේරිලා ද කොහෙද දඟලන එක නැවැත්තුවා.

අර අවලමා මං දිහාවේ බලලා ‘මම කවද හරි තෝ මරණවා’ කියලා මට හෙමින් කියලා යන්න ගියා. අනික් එවුන් හිටිය හිටියතැන්වල ම ඔහේ හිටගෙන හිටියා. එහෙම ඉඳලා ටික වෙලාවකින් සේරම ටික යන්න ගියා.

”මම මේ කොල්ලා බදාගත්තා. කොල්ල මට හොඳට ම තුරුළු වුනා.” ඔහු ඉකිගසමින් බොහෝ වේලාවක් හැඬුවේ ය. පසුව යළි කතාකළේ නිවුණු හඬකිනි.

”අපි දෙන්නා පහුවෙනිදා වෙනකන් ආපහු ඒ රෙදිවැට යට ම හැංගිලා හිටියා. ඌ ආපහු මෙතනට එන්නේ නෑ කියලා මට විශ්වාසයක් තිබුණා. ඒත් ඌ අපි හොයාගෙන අපේ ගෙදරට යනවාමයි. ඒකයි මම මගේ ගෙදරට නොගියේ. පුතා මං තුරුලේ නිදාගත්තා.

එතකොට මේ කොළුපැටියට අවුරුදු තුනක් ඇති. ඌ අම්මා ඉල්ලලා ඇඬුවේ නෑ. මං ඉකිගහ ගහ අඬනකොට මට තුරුළු වෙලා හිටියා. පහුවෙනිදා අපි බයෙන් එළියට ආවා. එතකොට ගමේ හැමෝම ගමෙන් පිටවෙලා ගිහින්.

පස්සේ රජයේ ගොල්ල ඇවිල්ලා මළකඳන් සේරම අස්කලා. මම මගේ පුතා එක්ක ඒ දිහාවේ බලාගෙන හිටියා. හැමෝම අපි දෙන්නා ගැන අනුකම්පාවෙන් කතා කළා. කාටවත් අපි තාත්තයි පුතයි නෙවෙයි කියලා හිතුනේ නෑ.

හැමෝම ගියා. මමයි කොළු පැටියයි තනිවුනා. ටික කාලෙකට පස්සේ පවුල් තුනහතරක් ඇවිත් ආපසු ගමේ පදිංචි වුනා.
මම මිනීමරුවෙක් බව කවුරුත් හිතුවේ නෑ. මේ පොඩි එකා වෙනුවෙන් මම මිනීමරුවෙක් බව එළිවෙනවාට මම බයවුනා. මමත් හිරේ ගියොත් මේ මගේ දරුවාට කවුද ඉන්නේ?

* * * * * * * * * * * * * * * * * * * * * *
අප එදා ආපසු එන විට රාති‍්‍රය උදා වී තිබුණි. බොහෝ වෙලාවක් කතා නොකර සිටි මා එදායින් පසු නිහඬ චරිතයක් වී ඇද්දැයි මට සිතේ. එහෙත් අන් කවරදාකවත් නැති තරමට මගේ හදවත වැළපේ.

ඔහු වරදකරුවෙක් නොවේ යැයි මට හැෙඟ්. එහෙත් නීතියට මොනවා සිතේ දැයි මම නොදනිමි. එනිසා තවමත් මම ඒ පිළිබඳ නීතියට නොපැවසීමි.

මට නොවැටහෙක කුමක් දෝ මායාවත් මා අවට පැතිර ඇතැයි යළි යළිත් මට සිතේ. එදා ඔහු ඒ කතාව කියද්දී වාඩි වී උන් ඉරියව්ව හා දෑතින් තම පපුව හා හිස තෙරපමින් හඬා වැටුණු ආකාරය විටින් විට මට අකුණු ගසන්නාක් මෙන් සිහිවේ. ඔහු හැඬුවේ මොන දරුවා වෙනුවෙන් දැයි කියා අද පවා මට තේරුම් ගත නොහැක.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s