මනුස්සකම by Kushani Yashintha

වාහන නද දෙන හඬ ද, බල්ලන්ගේ හා කපුටන්ගේ නාද අභිබවමින් නැගෙනා රොක් සංගීත හඬ ද අතර මෙහි සිටින කිසිවෙකුට මිනිසෙකුගේ හදවතින් නැගෙන හඬ නොඇසෙන බව කුමාර්ට නම් පැහැදිලි ය.

ඔහු දහහතර වන වියෙහි පසුවන කාලවර්ණ සමකින් යුත්තෙකි. දුඹුරු පැහැ රැුළි ගැසුණු හිසකේ පිරුණු හිස, ඔහුගේ හිසෙහි හා කඳෙහි සමමිතිකභාවය බිඳින්නට සමත් විය.

”කුමාර් යමං වැඩට” තවත් සමවයස් කොළු ගැටයෙකු කතා කරනු ඇසිණ. ”උඹ පලයං අද නම් මට බෑ බං, ඊයේ ගඩොල් ඇදලා හරි මහන්සියි.” තම නිවසේ දොර නොඇරම කොළුවා ඇමතූ කුමාර් පැවසීය.

”අපි ගියා එහෙනම්. මහ එකාගෙන් බැනුම් අහන්න වෙයි උඹට” යනුවෙන් පැවසූ කොළුවා කුමාර්ගේ නිවසේ දොරට වැරෙන් පහරක් ගසා දිව්වේ ය. එය අත මිටිකර දුන් පහරක් විය යුතු ය. තව ටිකක් වෙර යොදා ගැසුවා නම් දොර ඇද හැළෙනවා සිකුරු ය.

තමාගේ මව හරියටම මීට අවුරුද්දකට පෙර මිය ගිය බව කිසිවකුට මතක නැති බව වටහා ගත් කුමාර්ට දොර කැඩුණත්, පාරේ යන ලොරියකට යට වූවත් කමක් නැතැයි සිතිණි. එවිට තමාගේ සිරුර ද බල්ලකුගේ සිරුර මෙන් කවුරුන් හෝ පාර අද්දරට ඇද දමනු ඇත.

බිත්තියට යොදා ඇති ලෑලි කෑලි අතරින් ගෙතුළට වැටෙන ආලෝක ධාරා නිවසට එක් කරන්නේ සියුම් ආලෝකයකි. ලෑලි කෑලිවල අපිළිවෙලට අලවා ඇති පින්තූර කිහිපයකි. වහළයට මඳක් පහළින් උඩුකය නිරුවත් කාන්තා පින්තූරයකි. එම පින්තූරයේ කාන්තාව දරුවකු තුරුළු කරගෙන සිටී. එම කාන්තාවගේ මුහුණේ පවතින ඉරියව් තම මවගේ මුහුණේ ද දක්නට ලැබුණු බව කුමාර්ට මතක ය. මෙම පින්තූරය ලැබුණේ ගල්වැටිය උඩ තිබී හමුවූ පත්තරයකිනි. එය ලැබීම කුමාර්ට දැනුණේ තම මවගේ ආගමනයක් ලෙසය. තවදුරටත්, ඇය තම මව යැයි හැඟීමට කුමාර් රතු ගඩොල් කුඩෙන් ඇයට තිලකයක් ද තැබුවේ ය.

කුමාර්ගේ මව අන්කිතා ය. මව පවසා ඇති අන්දමට ඔහු ගේ පියා සිඟන්නෙකි. ඔහුට තම පියාගේ හැඩරුව පිළිබඳ කිසිදු හැඟීමක් නැත. ඔහු සිතුවේ පියා කාලවර්ණ සමකින් යුත් තරමක් මිටි පුද්ගලයකු වන්නට ඇතැයි කියා ය. මව පවසන පරිදි කුමාර් කුඩා කාලයේ දී ම ඔහුගේ පියා බස් බෝම්බයකට හසු වී මියගොස් ඇත.

තම පියා මියයාමෙන් පසු ඔවුන් දෙදෙනාට ජීවත් වන්නට මුදල් ලැබුණේ කෙසේ දැයි කුමාර් දැන නොසිටියේ ය. මව රැුකියාවකට ගියේ නැත. නමුත් මව අනේකවිධ අලංකාර ඇඳුම් ඇන්දා ය. තොල් ආලේපන හා නිය ආලේපන නොවරදවා ම භාවිත කළා ය.

”ඒ කාලේ නම්, මේ හැතිකරේ දුවගෙන එනවා, ලිප්ස්ටික් එකක් දීපන් අන්කිතා අක්කේ කියාගෙන, මළාට පස්සේ හිටිය ද කියලවත් මතක නෑ” කුමාර් තමාට ම කොඳුළේ ය.

”අන්කිතා දොර ඇරපන්” යනුවෙන් මැදියම් රැුයේ දී ඇසෙන පිරිමින්ගේ හඬවල් ඔහුට මතක ය.
කුමාර් ගේ මව මීට වසර දෙකකට පමණ පෙර ක‍්‍රමක‍්‍රමයෙන් අසනීප වන්නට විය. ඇය ගේ මස් පිරුණු අත්ගොබ සහ පිරී පැවති පුළුලූකුළ ක‍්‍රමයෙන් වැහැරී ගිය අයුරු ඔහුට අදහා ගත නොහැකි ය. ඉස්පිරිතාලයකට යන්නට කෙතරම් උනන්දු කළ ද, ඇය එයට අකමැති වූවාය.

දරුවා අතැති කාන්තාවගේ මුහුණ දෙස තරමක් වෙලා බලා සිටි කුමාර්, ”මම යනවා කියමින්” පින්තූරයට කථා කළේ ය.

ලෑලි එකතු කර අටවා ගත් දොරට ආධාරකයක් ලෙස ගසා තිබූ ලෑලි කැබැල්ල ඉවත් කළ කුමාර් ගෙතුළින් පිට විය. නිවසින් එළියට අඩියක් තැබූ විගසම පාර ය.

”කුමාරයා, උඹ උදේ ඉඳන් නොදැක්ක නිසා මම හිතුවෙ උඹ ලොකු ළමයෙක් වෙලාවත් ද කියලා” අල්ලපු ගෙදර එන්සිනා නැන්දා කීවේ තම අතේ තිබුණු ඉඳුල් වතුර ඉදිරිපස වූ කාණුවට හලමිනි. ඇස් හකුළුවා ඇයගේ දෙපතුලේ සිට හිස තෙක් බැලූ ඔහු මහ මගට පිවිසියේ ය.

කුමාර් සිටි ගෙය එන්සිනා නැන්දලාගේ ගෙයින්ම කොටසකි. ඇය මුඛරි ගැහැණියක් ලෙසින් නම් දරන්නියකි.

”මුරුගා, වැරදි වෙලාවක එළියට බැස්සේ, අර අපතයා ඉන්නවා” යැයි තමාටම පවසා ගත් කුමාර් බිම බැලූවේ මාර්ගයේ කැඞී බිඳී ගිය ස්ථාන පරීක්‍ෂා කරන්නාක් මෙනි.

”ආ ටැමිලන්, දෙමළා මෙහෙ වර. ඉල්ලෙ ඉල්ලෙ වා වා” වසන්තගේ ඇසට කුමාර්ගේ රුව හසු වී තිබිණ.
කෙතරම් වාරයක් දැක ඇතත්, වසන්තයාගේ ගෙල පැළඳි මාල සංඛ්‍යාව කුමාර්ට තවමත් නිශ්චය කරගත නොහැකි ය. ඔහුගේ වම් උරහිසෙහි ගංජා කොළයක හැඩයට පච්චයක් ද කොටා ඇත. වමතේ ඇඟිලි පහේම මුදු පැළඳ සිටී.

මෙච්චර යකඩ ගොඩක් ඇෙඟ් තියෙන එකේ, අකුණක්වත් ගහන්නෙ නැති හැටි යැයි සිතුණත් කුමාර් මුහුණට සිනාවක් අලවා ගත්තේ ය.

හිසකේ දිගට වවා මුහුණ පුරා රැුවුල වවා සිටි ඔහු සිතා සිටියේ මුඩුක්කු පේළියේ රජා ලෙස ය. සුරුට්ටුවක් හා කොළු රැුළක් නිතර ඔහු අසල රැුඳුණි.

කුමාර් තමා ළගට පැමිණි බව දුටු ඔහු තමාගේ කකුල ඉදිරිපස වූ බංකුවට තබා ගත්තේ ය.

”හ්ම්” යනුවෙන් කුමාර්ට ඉඟියක් කළ ඔහු තම පාදය දෙසට නෙත් යොමු කළේ ය.

කුමාර් දෙඅතින්ම ඔහුගේ පාදය මිරිකන්නට විය. ”මොකෝ බං, පස්ස පැත්තට ගිනි පෙනෙල්ලක් ඇල්ලූවා වගේ. උඹට මොකක් හරි බරක් තියෙනව ද? තියෙනවනම් නිදහස් කර ගනින්. ඔය ගෙයක් එහා පැත්තට ගිහිල්ලා. මගේ කකුලට වද දෙන්නෙ නැතුව”

බිම බලා ගත් දෙනෙතින් යුතුවම දෑත් තරමක් මෘදු කරමින් කුමාර් ඒ අප‍්‍රසන්න රාජකාරියේ ම නිරත විය.

”ඇති… පලයං” හිසකේවල පමණක් ගෑවෙන ලෙස අත තිරස්කර පහරක් එල්ල කළ ඔහු කුමාර්ට පැවසුවේ ය.

”උගේ හිතේ ඇති ඌ මහ කෙරුමෙක් කියලා. ඌ හිතන් ඇති දුම් ගොඩක් මැද ඉන්නකොට ඌ දෙවියෙක් කියලා” තමාටම මුමුණමින් කුමාර් බිම බලාගෙන මගට පිවිසියේ ය.

”මොකෝ බං තනියම මුමුණන්නෙ. ඒක නෙමෙයි හෙට වැඩක් තියෙනවා බං යමු ද? රුපියල් පන්සීයකුයි බත් පැකට් එකකුයි තොප්පියකුයි දෙනවා. බොන එවුන්ට බොන්න දෙනවා. ගෙවල් පේලිය පටන් ගන්න තැනට බස් එකක් එනවා. ආයෙ ගෙනල්ලත් දානවා. එනවද?”

”මොකට ද බං ඔය?”
”රැුළියකට බං… ඡුන්ද වැඩනේ මචෝ”
”මොන පක්‍ෂයට ද බං?”
”මම දන්නෙ නෑ, දැනගෙන වැඩකුත් නෑ, එනවද කියපං”
”එන්නම් එන්නම්” සමවයස් කොළුවෙකු වූ සුරංග, කුමාර් ට ආදායම් මාර්ගයක යෝජනාවක් ගෙනාවේ ගෙයක් හදන තැනකට අත්උදව් දෙන්නට පිරිස එකතු කරන්නාක් මෙනි.

සුරංගගෙන් සමුගත් කුමාර් මුඩුක්කු ?නට ඈතින් පිහිටි ගල් බැම්ම දෙසට අනිච්චානුගවම ඇදී ගියේ ය. ගල් බැම්ම කොටුවට ගල් කපා සැකසුව එකකි. එය තමාගේ ජීවිතයට වඩා පිළිවෙල යැයි කුමාර්ට සිතුණි. ගල් බැම්මේ ඉහළට නැග කකුල් නමා ශරීරය කකුල්වලට බර කළ ඔහු ඈතින් පෙනෙන රේල්පාර දෙසට නෙත් යොමු කළේ ය.

පැයක් දෙකක් හිස් බැල්මෙන් බලා සිටී ඔහු, ඉර අවරට යනවිට පුරුද්දට මෙන් සයිවර් කඩය දෙසට ඇදී ගියේ ය. කුමාර්ට කොතැනකින්වත් නොලැබුණු පිළිගැනීමක් සයිවර් කඩයේ මුදලාලිගෙන් ලැබුණි.

”කුමාර් මොනව ද ඕනා, කොත්තු ද රයිස් ද?”
”මාමා රයිස් එකක් දාන්න. පොඩි එකක්”
”මොකෝ කොළුවො අද කළේ?”
”අද මුකුත් කළේ නෑ මාමා, ඔහේ හිටියා”
”යේක මිසක්” කියමින් ඔහු කුමාර්ට කෑම පාර්සලය දිගු කළේ ය. නැවත නිවසට පැමිණි කුමාර් තම ආහාරය ගිජු ලෙස ගිල දැමුවේ අසල පහන් කණුවෙන් ගෙතුළට රිංගා ගත් ආලෝක ධාරාවේ පිහිටෙනි.

මැතිවරණ රැුළියට ගොස් නැවත පැමිණෙන විට ගෙවල් ගොඬේ දැඩි නොසන්සුන් බවක් තිබිණ.

”මේවා දාලා අපි කොහේ යන්න ද? යකෝ මේක මාර කතාවක් නෙ. අපි මේ රටේ මිනිස්සු නෙමෙයි ද?” එන්සිනා නැන්දා කට උල් කරමින් කියන්නට වූවා ය. ෆයිල් මිටියක් අතැතිව පැමිණ සිටි මහත්මයෙක් නිශ්ශබ්ද වන ලෙසට අණ කළේ ය.
”මේක අහන්න. දැන් නිශ්ශබ්ද වෙන්න. මේ බිම් ප‍්‍රදේශය රජයේ ව්‍යාපෘතියකට ගන්න සැලසුම් කරල තියෙනවා” ඔහුට කිව හැකි වූයේ එපමණකි. නැවත කසු කුසුව ඇසිණි.
”තව කියලා ඉවර නැහැ” ඔහු තරවටු හඬින් පැවසීය.
”මෙතන තට්ටු නිවාස සංකීර්ණයක් හදනවා. ඒවා දෙන්නෙත් ඔයාලටමයි. ඒ වගේම නිවාස ඉදිකරන තෙක් ඔයාලට රුපියල් පනස්දහසක මුදලකුත් පිරිනමනවා. මේ මහත්තයා දැන් ගෙදරින් ගෙදරට ඒවි නම් ගන්න”
”තව මාස තුනක කාලයක් ඇතුළත මේ නිවාසවලින් ඉවත් වෙන්න වෙනවා”
සියලූදෙනාටම මෙම කාරණාව මහත් සතුටක් ගෙන දුන් බවක් කුමාර් ට පෙනුණි. කුමාර්ගේ සිත හිස් බවකින් පිරී ගියේ ය. ඔහු තම නිවස දෙසට ඇදී ගියේ ය.

තමාගේ නිවසට ‘නම් ගන්නා මහත්තයා’ පැමිණෙන තුරු ඔහු හිස් බැල්මෙන් බලා සිටියේ ය.
”මේ ගෙදර ඉන්නෙ කවුද?” රළු කටහඬක් ඇසිණි. කුමාර් තිගැස්සී දොරකඩ ළගට දිව ගියේ ය.
”මම ඉන්නවා මහත්තයා”
”අම්මටයි තාත්තටයි එන්න කියන්න” ඔහු අණ කළේ ය.
”මං විතරයි ඉන්නෙ මහත්තයා. අම්මයි අප්පයි මැරිලා” කුමාර් පවසනවාත් සමගම එන්සිනා නැන්දා දුවගෙන ආවා ය.
”මගේ ගෙදර කෑල්ලක තමයි මහත්තයා, මේ කුමාර් ඉන්නෙ”
”අපි මේ ළමයට සාධාරණයක් කරන්න බලන්නම්” යැයි කියමින් නම් ගන්න මහත්තයා ඊළඟ නිවස වෙත ගමන් කළේ ය.
”අනේ මහත්තයො සාධාරණයක් කරන්න යන්නෙ මේ දරුවගෙ නමවත් ලියාගන්නෙ නැතුව ද? මහත්තයල වගේ ටයි දාපු උදවිය කියපු දේවල් කරා නම් මේ රටට මෙහෙම වෙයි ද? මෙච්චර අසරණ මිනිස්සු මේ රටේ ඉඳියි ද? යන්න මහත්තයා යන්න”

නම් ගන්නා මහත්තයා ඈතට යන්නට යන්නට එන්සිනා නැන්දා තව තවත් හඬ වැඩි කරමින් කෑ ගෑවා ය. ”අනේ උන්ගෙ සාධාරණේ” අවසානයට කී එන්සිනා නැන්දා බලා සිටින්නන් දෙස ද නොරිස්සුම් බැල්මක් හෙළා, ගෙතුළට වැදුනා ය. මඳ වේලාවකින් එන්සිනා නැන්දා කුමාර් අසළට පැමිණියේ කිසිත් නොවූ පරිද්දෙන් ය.

”ඒක නෙමෙයි කුමාරයො, උඹට යන්න තැනක් නෑ කියල මම හොඳටම දන්නවා. අපේ මිනිහා කිව්වා යන තැනකට කුමාර් කැමතිනම් එක්ක යමු කියලා. අපේ එකත් ලොකුයිනෙ. ඌට දැන් තනියම ජීවත් වෙන්න පුළුවන්. උඹ කියල හාල් සේරුවක බත් කන එකක් යැ. අපි යන තැනකට අපිත් එක්ක යමං. අපිත් එක්ක කොහේ හරි කාලා බීලා ඉන්න පුළුවන්නෙ. උඹ කැමති ද?”
කුමාර්ට කිසිවක් කියා ගන්නට අසීරු විය.

”තව මාස තුනක් වෙනකල් මෙහේ ඉන්න පුළුවන්නෙ. හිතලා කියපං” කියමින් මඳ සිනහවක් පා එන්සිනා නැන්දා ඇයගේ ලෑලි ගෙදරට රිංගුවා ය. ඇගේ සිනහවේ වෙනදා නැති තරමට මාතෘ ගුණයක් තිබිණ. කුමාර් කිසිවකුගෙන් එතරම් කරුණාවක් බලාපොරොත්තු වූයේ නැත.

මොහොතකට පෙර ඔහුගේ ලෑලි කුටිය ද අහිමිවන තැනට කරුණු යෙදී තිබිණ. නමුත් දැන් ඉන්නට තැනක්, පවුලක් සමඟම ලැබී ඇත. කුමාර් නිතරම සිතුවේ කුරුල්ලන් ගස් උඩ ලගින්නාක් මෙන් තමාට ද ගසක් යට හෝ වැටී නිදාගත හැකි බවය.

මඳක් ඔහේ බලා සිටි කුමාර්, එන්සිනා නැන්දාගේ නිවස වෙත දිව ගියේ බඹරයක් මෙනි. එන්සිනා නැන්දාගේ නිවසට මුහුණ පමණක් ඇතුළු කළ කුමාර්, ”නැන්දේ මං කැමතියි” කියන විට කොළුවාගේ මුහුණට සඳ පායා තිබිණ.

ලිපට නැමී කරවල හොද්දක් හැඳිගාමින් සිටි එන්සිනා නැන්දා ආපසු හැරී හැට්ට අතෙන් මුහුණේ දහදිය පිස ගනිමින් සිනා පෑවා ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s