රස්සාව by H M S S Herath

”පියසීලී අක්කෙ…. පියසීලි අක්…..”
”මොකද කිරිමැණිකො බෙරිහන් දෙන්නෙ?”
”නෑ බන්. අන්න අදත් රණේ අයියා රූපලා දිහෑවෙ උදේ ඉඳන්”

ටිකකට ගල් ගැහිලා පියසීලි හිතේ කැකෑරුණු දුක පිට කළේ සුසුමක් එක්ක. කිරිමැණිකා තව මොන මොනවාදෝ දෙඩෙව්වත් පියසීලි ට නම් ඒවා නෑහුණ ගණන්. රණපාලත් එක්ක හිතුවක්කාරෙට ආවට මොකෝ දැන් පියසීලි ට හිතෙන්නෙ ඒ මයේ පූරුවෙ කරුමේ පඩිසන් දීලා කියලා. අගුපිලක වැටිලා ඉන්න රණපාල දැක්කම කොණ්ඬේ උඩට පීරලා කමිස කරත් බෙල්ලත් අතරට ලේන්සුවක් දාලා ජැන්ඩියට ඇඳලා පියසීලිගෙ ගේ ඉස්සරහා කරක් ගහපු ඉලන්දාරියා ද කියලා හිතෙනවා දැන් හැටි දැක්කම. රණපාල පොල් ගහකට දෙකකට නැගලා හරිහම්බ කරගන්න සොච්චම යන්නෙ කසිප්පු මුදලාලිගෙ අතට.

”අම්මේ…. කිරි මැණිකා නැන්දා?”
පියසීලි ට කල්පනාවේ දුර තේරුණේ දෝණියැන්දා එහෙම ඇහුවම.
”මයේ හිතේ යන්න ඇති”
සම්බෝලයක් එක්ක හීල් බත් ඩිංගක් බෙදාගෙන ආව කෙල්ල දැක්ක ගමන් පියසීලිගේ පපුව පිච්චිලා ගියා. හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න අහිංසක කෙලී. ඒකිගෙ අප්පොච්චත් ඉන්නේ ගෙයක් දොරක් නැති ගානට. මහ බරක් හිතේ තද කරාන පියසීලි ටවුමට ගියේ, ”මං එනකන් පරිස්සමෙන් හිටහං කෙල්ලෙ” කියාගෙන. ගෙදරින් එද්දී පියසීලි ට තිබිච්ච හයිය සෙල්වා මුදලාලිගේ මිනී පෙට්ටි සාප්පුවට ළං වෙද්දි නම් ඩිංගක් අඩු වුණා.

”මොකද උඹ මෙහෙ? කවුරු හරි දිව්‍ය ලෝකෙ ට ගිහින් ද?”
”නෑ මුදලාලි මහත්තයෝ. මන් මේ ආවේ….”
”ආ! ආ! උඹලගෙ කරුමෙට කරගහන්න මට බෑ. උඹ හැමදාම ණය වෙවී ගෙවන්නෙත් පරක්කු වෙලා”
”අනේ! නෑ මහත්තයෝ. මන් ආවෙ වෙන කාරණාවකට”

මුදලාලිගේ මේසෙට බරවෙලා හීන් සැරෙන් මොනවද කියන පියසීලි දිහා සුමනෙ බැලූවේ කුහුලින්. සල්ලි ගන්න මිසක් දෙන්න නොඇරෙන මුදලාලිගේ ලාච්චුවේ සද්දේ මිනීපෙට්ටියකට සුදු සැටින් රැුල්ලක් අල්ලමින් හිටපු සුමනෙට හොඳට ඇහුණා. ”අනේ මෙහෙමත් ගෑණියක්. මිනිහයි ගෑණියි දෙන්නම පාන්කඩ. ඇහැට කනට පේන්න හිටියා නම් තව කොහෙද? මේ දෙමළාටත් මොකද ඉතින්”.

මිට මොළවගත්ත සොච්චම් මුදලත් එක්ක මිනීපෙට්ටි සාප්පුවෙන් එළියට ආපු පියසීලි සිල්ලර කඬේකින් කීලං කරවල කෑල්ලක් ගත්තේ කෙල්ලට අදවත් රහට බතක් දෙන්න හිතාගෙන. ගොම්මන් වෙන්න කලියෙන් ගෙට ගොඩ වුණ පියසීලි දැක්කේ රා මතින් වැතිර උන්නු රණපාල. කීලං කරවල එක්ක බතක් තම්බපු පියසීලි කලින් නිදි පැදුරට ගියත් නින්ද අහලකවත් නාවේ හිතේ තිබිච්ච දෙගිඩියාවට. ”මයේ හිත හයියයි. මොකද අපිට ආණ්ඩුවේ රස්සා දෙනවා කියලැයි.”

ඉරිදා දවසක් හින්දා කෙලී දහම් පාසල් යන්න කලියෙන් කැකුළු බතට හොඳට කැපෙන අට්ටික්කා මාළුවකුත් හදපු පියසීලි ටවුමට යන්න පිටත් වුණේ එද්දී ? වෙන වග කුසුම ට කියාගෙන. පියසීලි පහුකරන් බස්රථයක් ටවුමට ඇදුණත් එකේ යන්න කොයින්දැ සල්ලි. පය ඉක්මන් කළේ සුනංගු වෙයි කියන බයට.

”උඹ බයෙන් ද? ගිහින් ලෑස්ති වෙයන්. මං එන්නම්” පියසීලිව දැකපු ගමන් මුදලාලි කීවේ සැරෙන්.

”අවලං ගෑණි” බිම බලාන හීන්සීරුවේ ඇතුළට යන පියසීලිව දැක්කම සුමනෙට හිතුණා. සුමනෙගෙ මූණ දැක්ක මුදලාලි පිච්චිලා යන තරමට සුමනෙ දිහා බැලූවෙ උඹට මොකද මං මොනවා කරත් යන්න අහන්නා වගේ. ආයෙත් වැඩ පටන්ගත්ත සුමනෙ මිනීපෙට්ටියක ගැලවිලා තිබුණු ඇණයකට හයියෙන් ගහගෙන ගහගෙන ගියා. හැන්දෑවේ මුදලාලි දුන්න සොච්චමත් අරන් පියසීලි ගෙදර ආවේ මහ මෙරක් ලැබුණ තරම් සතුටින්.

”අම්මා කොහෙද ගියේ?”
”ටවුමේ කඬේක….” පියසීලිගේ උගුරේ යමක් හිරවුණා වගේ කියන්න ආව දේ නැවතුණා. පියසීලි ඊළඟ දවස් ටිකෙත් ගෙදර එනකොට ? වුණේ මුදලාලිගේ කීම අහක දාන්න බැරිකමට. ”පර බැල්ලී…… ලොකු නම්බුකාර දේකින් උඹ සල්ලි හොයන්නේ” කියාගෙන රණපාල පියසීලිට කොසු මිටෙන් හොඳ පාරක් දුන්නා. සැමියගෙ පහරට පියසීලි නැවතුණේ නෑ. රණපාල ආපහු ගෙදර මායිමක පස් පෑගුවෙත් නෑ. රූපලගේ ගෙදර නැවතුණ රණාපාලගෙ ආරංචිය ගෙනාවේ කිරිමැණිකා.

”එන අඟහරුවාදාට දානේ ගේන්න එපා කීවා” කියලා කෙලී කියද්දී පියසීලිට හිතුණේ හාමුදුරුවන්ට වැරදිලා කියලා. දානේ සීට්ටුවේ හැටියට හීල් දානේ අරගෙන වේලාසනින් ම පන්සලට ගියේ ලොකු හාමුදුරුවන්ට සීනි ජාති අගුණ හින්දා කෝවක්කා මැල්ලූමකුත් දානෙට එක් කරගෙන. ”බුද්ධ පූජාවට ඔය දානේ සුදුසු නෑ පියසීලි” දානේ අරන් එන පියසීලිව දැක්ක ගමන් ලොකු හාමුදුරුවෝ කීව දෙයින් පියසීලිගේ කකුල් පණ නැති වුණා වගේ. උදේ පාන්දරින් නැගිටලා හදපු දානෙත් අරන් පියසීලි ආපසු හැරුණේ යන්න. ඒත් පිරිසිදුවට පන් පෙට්ටියක අතුරලා තිබුණු දානේ අරන් පියසීලි බුදුගෙට ගියේ බුදුන් වඳින්න හිත් වුණු හින්දා. එහෙම හිතුවත් පන් පෙට්ටිය අහලින් තියලා වඳින්න දණ ගහපු පියසීලි ට ආවේ ලොකු හැඬුමක්. ”චුන්ද සූකර මස් වැද්දගෙ අතින් හදාපු දානේ ඔබ වහන්සේට කැප නම් සිල්පද පහ රකින මයේ අතින් හදාපු දානේ අකැප වෙන්නේ කොහොම ද?” පියසීලිගේ හීන් හඬින් එහෙම පිට වුණේ බුදුගේ වැඩ ඉන්න බුදුන්ගේ ශාන්ත පිළිමේ දිහා බලාගෙන.

වෙසක් දවස හින්දා සෙල්වා මුදලාලි යාපනේ ගියේ සතියකට හමාරකට එන්නැති වග පියසීලි ට කියලා. හවස් වරුවේ ගෙදර බුදු පහන පත්තු කරලා පන්සිල් අරගන්න බැරි වුණේ ග‍්‍රාමසේවක මහත්තයා ගෙදරට ම ඇවිත් හිටපු හින්දා.
”පියසීලි, සෙල්වා මුදලාලි කොහෙ ගිහින් ද?”
”මුදලාලියි සුමනෙයි යාපනේ ගියා. එනකොට තව සතියක් හමාරක් යයි මයේ හිතේ. ඇයි මහත්තයෝ?”
”ලොකු හාමුදුරුවො අපවත් වෙලා. හරි වැඬේ දැන්”
”ඒකට කාරි නෑ මහත්තයො. මුදලාලි යන්න කලියෙන් හදිසි වැඩක් ආවොත් කරන්න කීවා”
”උඹට පුළුවන් ද ? මන් මේ උඹෙන් අහන්න ආවේ මුදලාලි කෝ කියලා”
”මයේ පපුවත් දැන් එම්බාම් වෙලා. මාස හත අටක් හිත තද කරගෙන මම මළමිනී අතපත ගෑව”
”එහෙනම් උඹ කරපන්. දැන් ආදාහනේට නැකතකුත් හදලා අහවරයි. ඉතින් ආයේ එහෙ මෙහෙ ගෙනිහිල්ලා සුනංගු කරන්නත් බෑ. හැබැයි මේ ගැන කට හොල්ලනවා නෙවෙයි”

ග‍්‍රාමසේවක මහත්තයා දාහේ කොළයක් ම කකුලක් කැඩුණු මේසේ උඩට දැම්මා.

”එපා මහත්තයෝ …… මේ වගේ වැඩකට සන්තෝෂම් ගන්නේ කොහොම ද?”
”නෑ නෑ ඕක තියාගනින්….. ඔය මගේ මනාපෙට දෙනවා මිසක් සාංඝික දෙයක් එහෙම නෙවෙයි”
”ගමේ කවුරුත් මාත් එක්ක වැඩි ඇයි හොඳයියක් නෑ මහත්තයො”
”මන් මෙච්චර කාලෙකට හිතුවේ උඹ නිකන් උදව් ගන්න මිනී සාප්පුවට යන එනවා කියලා. දැන් ඉතින් මන් මළත් උඹ මගේ කුණු සරීරෙට පිනි දිය ඉහලා සුවඳ කරලා මගේ සරීරේ ගඳ දරාන ගෙදර යයි”

ග‍්‍රාමසේවක මහත්තයාගේ කතාවට කියන්න දෙයක් පියසීලිගේ කල්පනාවට ආවේ නෑ. කරබාගෙන දොර වහපු පියසීලි ග‍්‍රාමසේවක මහත්තයාගේ පිටිපස්සෙන් ඇදුණා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s