වළා කැරලි by Oakindage Thilakaratne

වසර පහළොවක් ම ගෙවී ගියද අතීතයේ දැල්වුණු ගිනිදැල් තවමත් මුළු සිරුර ම දවා අළු කරයි.

”චෝස්” ගා සරස්වතී ඉඳුල් වතුර කොරහ එළියට විසි කළාය. කඳු අතරින් හිරුඑළිය නිදි ගැට කඩමින් එළිය කිරීමට සැරසුණත් මීදුම එයට මග අවුරාලීය. එකිනෙකා පරයමින් නැගී සිටී කඳු පන්තිවල බටහිර පාමුල පිහිටි ගස් පන්ති කිසිදිනක නැගෙන හිරු දැක නැත. ”ඈ මුත්තු උඹ අදත් ඉස්කෝලේ යන්නේ නැද්ද?….” ඇන තියාගෙන කූඩැල්ලෙකු සුරතල් කරන තම පුතාගෙන් සරස්වතී ඇසුවේ සැරෙනි. පිටුපසට හැරී මුත්තු අඟුරු කෑල්ලක් හපමින් ඇඟිල්ලක් කටේ ගසා සිනාසුනත් ඔහුගේ මුහුණත් කටත් වෙන්කර හඳුනාගත නොහැකි විය. සරස්වතී කොලූවා දෙස මොහොතක් බලා සිට ගෙතුළට ගියා ය. කොලූවගේ ඇට ටික විතරයි සිතමින් සරස්වතී පිටි ගුලිය වඩවා රොටියක් පිච්චුවා ය.

වැස්සට සේදී දිය සෙවල බැඳී ඇති අඩි පාර මැද ගෙවී ඇති සෙරෙප්පුව ලිස්සන බැවින් මුත්තු දෙපස වැවී ඇති තණබිසි මත අඩිය තබමින් ගමන් කළේය. ඇඟ දැවටෙන තේ පඳුරුවල ඇති පිණිවලින් නෑවුණ කලිසම හොඳටම තෙත බරියම් වී දෙකලවාවලට ද දැනේ. දොළ හරහා දමා ඇති පොල්කොට ඒදණ්ඩ මතින් යාමට නම් සෙරෙප්පු දෙක අතට ගත යුතුමය. නැතිනම් පොත් ටිකත් තෙමාගෙන නාගෙන ආපසු ගෙදරටම යාහැකිය. පුරුද්දට මෙන් එගොඩ වී රොටියේ කෑල්ලක් කෑලි කෑලිවලට කඩා මාළුවන්ට විසික්කර පාසලට පය ඉක්මන් කළේය. අඩි පාරවල්වලින් එකා දෙන්නා බැගින් එන ළමයි පාසල අසල දී ගොඩක් බවට පත් වේ. ගෙදරටත් පාසලටත් ඇඳි කලිසමෙහි තට්ටම් ප‍්‍රදේශය හිල්වීමට ඔන්න මෙන්න කියා තිබිණ. හැමදාම මෙන් අදත් පාසල් නුහුරු තැනක් මෙනි ඔහුට හැඟුනේ.

හිරුගේ අවසන් ශේෂය ද කඳු ගැට්ටට වැසී ගියේ ය. වලාකුළු කැරලි ගසන්නේ අඳුර ගිල ගනිමින් පොළවට පාත්වීමට මෙනි. කෝවිලේ සීනු නාදය ඇසුනු සරස්වතී එදෙසට හැරී මුරුගන් දෙවියනේ මගේ මිනිහත්, කොල්ලාත් රැුක දෙන්න යැයි සිතින්ම දෙවියන් වැන්දා ය. ඇය උදේ පටන් හවස් වනතුරු වත්තේ දළු කඩා තකහනියක් ගෙදර පැමිණෙන්නේ ගෙදර උන්ට කන්න මොනවා හෝ රත්කර දීමට ය. අගුවෙහි දමා තිබූ තේ ඉපල් ටික ද පිණි බැහී ඇති බැවින් උගුර වියළෙන තුරු ලිපට පිඹිය යුතු ද වේ. දවල් දවසේ ම ගිනි අව්වත් සමඟ පොර බදිමින් වත්තේ දළු කඩා ගෙදර පැමිණියාට පසු ද බීමත් තාත්තාගෙන් වන කරදරවලට ද මුහුණ පෑම හේතුවෙන් තම මව වයසට වඩා මහළු වී ඇති බව වයස අවුරුදු අටක් වුව ද මුත්තුට සිතුණි.

උඩුපුස්සැල්ලාව කන්ද වළා පටලයෙන් වසා හමාර ය. අන්ධකාරයත් සමඟ පැමිණෙන අඳෝනාව යන්තමින් තේරෙන වයසේ සිට මුත්තු අත්දැක ඇතත් එයට ඇති බිය කිසි දිනෙක සිතින් පහව නොතිබිණි. පුතේ බුදු පහන පත්තු කරපන්…. මවගේ විධානයෙන් පහන දල්වා වැඳ කුප්පි ලාම්පුව ද දැල් වූ ඔහු කුරුම්බැට්ටිය අතට ගෙන කරකවමින් සිටියේ ලූණුවත්ත නගරයේ ලොරිවලට එළවළු පටවා අදවත් තම පියා සිහි බුද්ධියෙන් ගෙදර පැමිණියහොත් පැන්සල් පෙට්ටියක් ගැනීමට මුදල් ඉල්ලා ගැනීමට හැකි බැව් සිතමින් ය.

කිරි කැටි මීදුම් ගුලි පාත් වුව ද වැස්ස දුර ගොසිනි. වළිකුකුළන් එකා පසුපස එකා තම ලැගුම්හල් වෙත ගමන් කරයි. පහළ ගම් දෙසින් ඇසුණ හූ හඬට මව හා පුතා මිදුලට බැස කන් යොමා සවන් දුනි. හූ හඬට යාව තිත්ත නොසරුප් හඬ ද දැන් දැන් ඇසේ. එම හඬ හඳුනාගත් සරස්වතී ඇඳ සිටි රෙදි කොන ගසා දමා ගෙතුළට වැදුණා ය. ”පර බල්ලෝ එනවා මට හූ කියන්න. අඩෝ මම සිරිපාල. මම දකුණෙ. උඹලා එකෙක්වත් මට ලොකු නෑ අඩෝ….” හතර අතට පැද්දි පැද්දි පැමිණි සිරිපාල හරකෙකු පත බෑවෙන්නාක් මෙන් උළුවහු කොනේ ද හැපී බිම ඇද වැටුණේ ය. ”පර බල්ලෝ එනවා මට හූ කියන්න. අඩෝ මම සිරිපාල….” ගෝරනාඩුව කෙඳිරිල්ලක් බවට හැරී ඇත. මාතර දික්වැල්ලේ උපන් සිරිපාල තම ඥාතියෙකු සමඟ ගැටවර වියේ දී ම වැලිමඩට පැමිණි අයෙකි. සරස්වතී සිවම්මා මව සමඟ ලකී ලෑන්ඞ් වත්තේ දළු ගෙන යනවිට ඇය සමඟ හාදව විවාහ වී තම හිතවතුන්ගේ ද උදව් ඇතිව බෙරලියපොළ රජයේ ඉඩමක අනවසරයෙන් කුඩා නිවසක් තනා එහි පදිංචි වූයේ ය.

දුරුතු හීතලට ගැහෙමින් රැුහැයියන් කෑ ගසද්දී මුත්තුට සීත අහලකටවත් පැමිණ නැත. දොරපළුව උළුවස්සට හේත්තු කළ සරස්වතී පැදුරු කඩමාල්ලේ ගුලි වී සිටින තම පුතාත් හතරගාතයෙන් බිම වැටී සිටින තම ස්වාමියාත් දෙස බැලූවේ දැඩි වේදනාවක් සිතෙහි දරාගෙන ය. ”ඒයි, ඒයි, බත් කන්න….” කොතෙක් දුක් දුන්න ද ඔහු තම ස්වාමියා නොවේ දැයි සිතමින් ඇය සෙමෙන් ඔහුට කතා කළා ය. ”ඒයි ඒයි කන්න….” ”කන්න, කන්න තෝ පර බැල්ලි. තෝ කසිප්පු රාජාට මොකට ද බැන්නේ? මම තොගේ අම්මගෙ අප්පගේ සල්ලිවලින් ද බොල බොන්නෙ?….” ගෙතුළ ශබ්දය ටිකින් ටික උස් විය. පතබෑවී සිටි සිරිපාල දැන් ඇණ තියාගෙන ය. ”මගේ අම්ම අප්ප මැරිලා. ඒත් දැන් ඔහෙත් අප්ප කෙනෙක් කියලා අමතක ද? පොඩි එකාගෙ ඇට ගොඩ විතරයි. ඌට කන්න නෑ. අඳින්න නෑ. ඉස්කෝලේ ගෙනියන්න පොතක් නෑ. මේවා දකිනකොට මගේ පපුව හෝස් ගාලා ඇවිලෙනවා. අනේ මුරුගන් දෙවියනේ….” සරස්වතීට හැඬුම් එයි. ”බැල්ලි තෝ මට බණ කියන්න එනව ද? පර බැල්ලි….” අඩියට දෙකට ඇය ළඟට පැමිණි සිරිපාල සටාස් පටාස් ගා සරස්වතීගේ කම්මුලට ගසාගෙන ගියා ය. මෙතෙක් වේලා නිදාගෙන මෙන් සිටි මුත්තු ඉබේට ම නැගිටුනි. ”අනේ තාත්තේ අම්මට ගහන්න එපා. අනේ තාත්තේ…. මුත්තු විලාප තියයි. ”පල නොට්ටිගෙ පුතා අහකට….” අතින් අල්ලා ඇද දැමූ මුත්තු දොර ළඟට ම විසික් වී ගොස් වැටුණේ ය.

කුළුගෙඩි පහරවල් මෙන් පහරවල් එක පිට එක අතින් ද, පයින් ද සරස්වතීට එල්ල වූවා ය. මුත්තුගේ කෑගැහිල්ලත් සරස්වතීගේ කෑගැහිල්ලත් එකම අඳෝනාවකි. දිනපතාම ඇසෙන ඔවුන්ගේ අඳෝනාව ගම්මුන්ට සාමාන්‍ය සිද්ධියක් බවට පත් වී තිබුණි. වැරෙන් වැදුණු සිරිපාලගේ පා පහරකින් බිත්තියේ එල්ලා තිබූ ලාම්පුව ද බිම දමාගෙන සරස්වතීගේ හිස මුත්තුගේ දෙපා මුල බිම වැදුණා ය. ලාම්පුව පෙරළී එහි තිරය පසෙක ගිනි ගනී. යක්ෂාවේශ වූ සිරිපාල වෙව්ලමින් දත්කූරු සපමින් බිත්ති කෙළවරේ සිටී. පා පහරින් ඇද වැටුණු සරස්වතීගේ හිසෙන් ගලා ගිය රක්ත වර්ණ රුධිරය ගොම මැටි පොළව පොඟවමින් ගලා යන අයුරු ලාම්පු එළියෙන් දුටු මුත්තු මවගේ හිස අල්ලා බැලූවේ ය. කිරිපොවා උණුසුම් කල ප‍්‍රාණ සම මෑණියන්ගේ සිරුර නිසල ය. ඔහුට සිහි එළවා ගත නොහැකි විය. ”මගේ අම්මා….” බියත් වේදනාවත් දරාගත නොහැකි ශෝකයත් විසින් එකවර පහර ලැබූ මුත්තුගේ සිතෙහි තම පියා කෙරෙහි ඇති වූ වෛරය නිමක් නැත. සිහි විකල් වූ මුත්තු ඇරී තිබුණු දොර පළුවෙන් එළියට පැන වේගයෙන් දිව්වේ ය. හිසට නිනව්වක් නැත. ඝණ අඳුරේ පය පැකිලී ගල්වල හැපී ඇද වැටුණු වාර අනන්ත ය. දණහිසෙන් ද, වැලමිටෙන් ද ලේ ගලා යයි. හදවතේ වේදනාව ඊට සම නොවේ. මෙතෙක් වේලා කොපමණ දුරක් දිව්වා දැයි ඔහු නොදනී. ”මගේ අම්මා….” ඔහුට සිහි වන්නේ එපමණකි. ලූණුවත්ත පාර අයිනේ එළවළු පටවා අවසන් කර නවතා තිබූ ලොරි රථයකට නැගී මුත්තු එහි ගෝනි අතර සැඟවුණේ ය.

වසර පහළොවක් ම ගෙවී ගිය ද අතීතයේ දැල්වුණු ගිනිදැල් තවමත් මුළු සිරුර ම දවා අළු කරයි. මගේ අම්මා…. ඇය මිය ගියා නේද? මවගේ රක්ත වර්ණ රුධිරය පියාගේ පුපුරු ගසන දෑස් සිහිවන විට තවමත් හදවත බියෙන් සේ ම වෛරයෙන් ද සලිත කරවයි. ”පුතා….” ගෝපාලන්ගේ හඬින් මුත්තු ගැස්සී ගියේ ය. ”මොනව ද පුතා කල්පනා කරන්නේ?….” ”මුකුත් නෑ….” ඔහු කෙටියෙන් ම පිළිතුරු දුන්නේ ය. ”මම දන්නවා පුතා ඔයාට අතීතය තාමත් භයංකර හීනයක්. ඒත් අපි අතීතෙන් පාඩම් අරගෙන අනාගතය හදා ගන්න ඕන. යථාර්ථය කියන්නේ හෙවනැල්ලට නෙවෙයි පුතා. දැනුම් තේරුම් නැති කාලේ හිතේ පුරවගත්තු සිතුවිලි දැනුම් තේරුම් ඇති කාලෙදි හිතත් එක්ක ම තර්ක කරලා ඒවා විසඳගන්න ඕන. එදා මගේ ලොරියට ඔයා නැග්ගෙ ඔයාගෙ විතරක් නෙවෙයි අපෙත් වාසනාවට.” ඔහු පැවසුවේ සරුවට වැවී තිබූ එළවලූ කොටු දෙස බලාගෙනය. ”අපිට පුතෙක් නැති අඩුව මැකුවෙත් ඔයා තමයි පුතේ….” වෙනදා මෙන් නොව තමන් හදා ගත් පියාගේ කුමක් දෝ වෙනසක් මුත්තු දුටුවේ ය. ”පුතා මමයි අම්මයි හිතුවා මගේ අක්කගේ දුව ඔයාට කසාද බන්දලා දීලා මේ දේපල ඔක්කොම ඔයාට ලියලා දෙන්න. ඒත් ඒ ඔයාගේ කැමැත්තෙන් විතරයි.” මුත්තු ඔහු දෙස බලා සිටියා පමණි. ”පුතා ඔයා සිංහල වුනාට ඔයා අපේ ම පුතෙක්. අපි හෙට ම යමු. ඔයාගේ තාත්තාව බලන්න….” ගෝපාලන් මුත්තු ළඟින් නැගිට සිටිමින් පැවසුවේ ය.

රියදුරු අයියකච්චි හන්දියෙන් දකුණට හැරී අලිමංකඩ දෙසට රථය පැදෙව්වේය. තාත්තා කොහේ ඉන්නවා ද දන්නෑ. කමක් නෑ මට අම්මගේ සොහොන් කොත ළඟට ගිහින් පහනක් පත්තු කරන්න හරි පුළුවන්…. මුත්තු සිතුවේ ය. ගෝපාලන් පියාගේ බල කිරීම මත මේ ගමන ගිය ද මුත්තු අතීත සිදුවීම් මතක් කිරීමට ද අකැමැති ය.

වැලිමඩ නගරය එදා මෙන් ම අදත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. ශීත සුළං රැුළි රිය කවුළුවෙන් පැමිණ ගත දැවටෙන්නේ තමා අඳුනා ගත් සේ ය. රථය අඹගස්දෝව පසුකර ලූණුවත්ත නගරයට පැමිණි පසු හදවතේ ස්පන්දන වේගය වැඩි වී ඇතැයි ඔහුට සිතුණේ ය. පන්නලවෙල පාසල දුටු මුත්තුට අතීත සෙවණැලි එකින් එක මතක් වූයේ ය. අතුරු පාරවල්වලට කොන්කී‍්‍රට් දමා තිබුණ ද තේවතු පෙර සේ ම සරුවට වැඞී ඇත. තේ පඳුරු අතරින් ඇවිද ගිය ඔවුන් මුත්තුගේ නිවස සීමාවට පැමිණියේ ය. පෙර තිබූ කටුමැටි නිවස වෙනුවට සිමෙන්ති ගඩොලින් තැනූ කුඩා නිවසක් එහි වූයේ ය. අවුරුදු අටක් දහයක් වයසැති කොල්ලෙකු සහ කෙල්ලක මිදුලේ කෝම්පිට්ටු සාදයි. ඔවුන් අමුත්තන් දුටු විගසම පොල්කටු විසික් කර ගෙතුළට දිව්වේ ය. පිටුපසට හැරී සිටි කාන්තාවක් ගෙතුළ යමක් කරමින් සිටිනු දුටු මුත්තු තාත්තා වෙන ගෑනියෙක් ගෙනල්ලද දන්නෑ…. යි සිතුවේ ය. පැමිණි ගමනේ නීරස බවද මවගේ හා තමාගේ ජීවිතය විනාශ කළ පියා දෙවැනි ගැහැණියක විවාහ කරගැනීම පිළිබඳ කොහෙත්ම දරා ගත නොහැකි වූ කේන්තියකින් මුත්තු ආපසු හැරුණේ ය. ඔවුන්ගේ අඩි ශබ්දය ඇසී ගෙතුල සිටි කාන්තාව දොරකඩ වෙත පැමිණ ”මේ මහත්තුරු කවුද දන්නෑ…. යි ඇසුවා ය. එම හඬ මුත්තුගේ දෙකන් හරහා හදවත විනිවිද ගියේ ය. මුත්තු ඉද්ද ගැසුවාක් මෙන් සිටි තැනම නැවතුණි. උඩුපුස්සැල්ලාව කන්ද වසාගත් කළු වලාව හදවතේ ඇති කළ ගින්න නිවා දැමීමට මහා වරුසාවක් ඇති කළා සේ විය. දෑස් කඳුලින් තෙත් වුණි. නෙත දකින්නේ සිහිනයක් දැයි ආපසු හැරණු මුත්තුට සිතුණේ ය. දෑස් පොඩි කර බැලූවේ ය. මේ ඇය ම ය. ගොළු වූ දිව වචන තනයි. ”මගේ අම්මා….” රැුවුලකොට වැවී ඇති පැහැබර මුහුණ පැත්තකට පීරන ලද කොණ්ඩය හා පිළිවෙලකට අඳින ලද ඇඳුම් රාජකුමාරයෙක් සේ විය. වසර පහළොවක් නොව කල්ප ගණනාවක් නොදැක සිටිය ද තම කුසින් වැ¥ පළමු ප‍්‍රාණය සරස්වතීට හඳුනාගත හැක. ඇයගේ ළය පුරා සිර වී තිබු දාරක පේ‍්‍රමය පිටාර ගලා ගියා ය. ”මගේ පුතා….” හඬමින් වැළඳගන්නා මව හා පුතු දෙස ගෝපාලන් පවුල ලබා සිටියේ වාවාගත නොහැකි සතුටකිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s