වැලිකතරේ තාරුණ්‍යය by JMYH Jayalath

හ්ම්ම්… ඉතින් ගිණි පුපුරු ගහන රත් වූ වැලි කතරේ ගෙවීයන අවසන් දිනය නැත්නම් පැය කිහිපය වසරක් තරම් දිගුවක් ලෙස දැනිණ. මීට වසර දහයකට කලින්, එනම් 2006.08.15 දින බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට විතරක් නොවෙයි මා හට සිටි එකම සම්පතට පවා ආයුබෝවන් කීවේ මේ වැලිකතරේ ඉසුරු සොයා එන්නට ය.

කුඩා අවධියේ දී ම දෙමාපියන් පවා අහිමිව ජීවිතය අභියෝගයක් කරගෙන එක් අරමුණක් සහිතව ආ පෙරමඟක මතකයෙන් බිඳක් සිහි වන්නේ මගේ සම්පත වූ එක ම ආදරය, එක ම බැඳීම මාගේ සොහොයුරිය: නෑ මා වැරදි ය. මාගේ මෑණියන් බඳු ඈ වෙනුවෙන් මේ අරාබි කතරට පය තැබූ බලාපොරොත්තුවලින් කොතෙක් ඉෂ්ට වූවේ ද යන්න මටත් කුතුහලයකට තුඩු දෙන බැවිනි.

නමුදු දෛවයේ අපූර්ව සරදමක් අපත් සමඟ රැුඳුණු උත්තරීතර චරිත කිහිපයක් විය. එනම්, අත්තම්මා සහ මාමා ය. මවගේ දුරින් නෑකමක් ඇති ඔහුව අපි විසින් ආමන්ත‍්‍රණය කරනු ලැබුවේ මාමා ලෙසිනි. අත්තම්මා පියාගේ මෑණියන් විය. මමත් නංගීත් අතර දෝලනය වූ මෙම සොඳුරු චරිත අපේ ජීවනමඟ පර්වතයක් මෙන් ශක්තිමත් කරන්නට පෙළඹුණි.

මා එක වසරේ අග දී මාපියන් අහිමි වනවිට නගණ්ඩියට යන්තම් අවුරුදු එක හමාරයි. හයක් හතරක් නො දන්නා කල දී ජීවිතය නපුරුකම්වලින් පිරෙද්දී, සමහරක් පිරිස් කාලකණ්ණි කියද්දී, කෑමක් බීමක් නැතිව අසරණයන් නොවී යන්තමට දිවි රැුකුනේ මාමාටත් අත්තම්මාටත් පිං සිදු වන්නටය. මාමාට ස්ථිර රැුකියාවක් නො වුව ද ඔහු කෙසේ හෝ කුලියක් මලියක් කොට අපිට සැලකුවේ ය.

දෛවයේ සරදම් ජීවිතයට අලූත් අලූත් දේ කියා දෙමින් උස් මහත් වූයේ තුන් වේලෙන් වේලක් නැත්නම් දෙවේලක් කා බී සැනසෙමිණි. කාලය ගත වෙමින් මා හට වයස දහයක් වෙද්දී මාමා තම ජීවිතයට සහකාරියක් කැන්දන් ආ විගස නැවතත් අපේ ජීවිතවලට මොකක්දෝ දෙයක් සිදුවන බව මට යන්තම් හැඟිණි. ඒ නම් නැන්දාගේ කුඩම්මාගේ සැලකිලි යි. ඈ කැන්දන් ඇවිත් මසක් ගත වෙන්නට පෙර යම් යම් නෝක්කාඩු ඇසෙන වග අත්තම්මා කියෙව්වායි නගණ්ඩි කීප සැරයක් මා සමඟින් පැවසුවේ මහත් වූ දුකක් සිත්හි දරාගෙන ය. දිනක් මාමා වෙරි වී ඇවිත් දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුව සිහිවන විට අද ද මගේ දෙනෙතට කඳුලක් නැගෙනුයේ මටත් හොරා ය.

”තමුසෙත් කට ගාගෙන එනවා හම්බ කරන සොච්චමෙන්. ඒ මදිවට අර යක්කුන්ටත් පුදනවා. එක්කෝ තමුසෙට ඕකුන් එක්ක ඉන්න දීලා මං යන්න ඕනේ, නැත්නම් උන් යවන්න ඕනේ”

”ආ බොල ඕකුන්ගේ අම්මා අප්පා මළා කියලා අපි ද පළි? ඇයි උන් විතරයි ද මේ ලෝකයේ අනාථ වෙලා ඉන්නේ? ඔය ඕනෙ තරම් මඩම් තියෙන්නේ ඕකුන් වගේ එවුන්ට තමා”

එයින් නො නවතින බව තේරුම් ගිහින් කට පියා හුන් මාමා හඬ නගමින් මෙසේ කීය.
”ඔව් බොලං, උඹ ආව දවසේ ඉඳලා මට උන්ට කරන්න බැරි වුණා. උඹ යන දේවාලෙක පල” යි කියමින් ඇගේ කෙස් වැටියෙන් අල්ලාගෙන පහරක් ගසනු දුටුවෙමි. මෙම කාල ගෝට්ටිය අතර නංගී ද අත්තම්මා ද නැගිටින්නට පුළුවන් යැයි සිතුණු මම යමක් කරන්නට සිතාගෙන සාලයේ තිබුණු කුප්පි ලාම්පුව දැල්වුවෙමි. ඒ සමඟින් නැන්දා තවත් යමක් කියන්නට ගොසින් මාමාගෙන් යළිත් පහරක් කන හඬක් මට ඇසුණි. ඇගේ ඉකිගසන හඬ සමඟින් ? පහන් වනතුරු මා හට නින්දක් නො වී ය. එදා රාති‍්‍රය කෙතරම් දිගු වුව ද කිවහොත් මොහොතක් පාසා ගේ මැද බිත්තියේ එල්ලා තිබුණු ඔරලෝසුව දෙසට කුප්පි ලාම්පුව උස් පහත් කරමින් කොයි හිරුඑළිය මහ පොළොව සිපගන්නේ මොහොතේ ද යැයි සිතමින්, එළිවෙන මොහොතේ යාන්තම් දෑස් පියවුණා විතරක් මතක ය. නංගී හනි හනිකට මා කූද්දමින් නැන්දා අත්තම්මා සමඟින් වචන හුවමාරුවන බව කියන්නට වූවා ය.
”තවත් මේ ජීවිතය මොකටද අප්පා. ඇයි අපිත් මැරෙන්නේ නැතිව දවසින් දවස මැරී මැරී ජීවත් වෙන්නේ?”

මා අසරණකමින් ඇගේ හිස අත ගා කීවේ ”ඔයා ඕවා හිතන්නේ නැතිව ගිහින් පොතක් බලාගන්න” කියා ය.

ඈ මා දෙසට කට කොනකින් හිනාවෙන ගමන් කීවේ ”පොත් විතර තමා” යනුවෙනි.

මෙසේ කාලය ගෙවන්න බැරි බව මාමා ට වැටහීමත් සමඟින් මාමාත් නැන්දාත් අප දමා ඔවුන්ගේ ලෝකයක් සොයා කුලී ගෙදරකට පදිංචියට ගිය හ. යළිත් මමත් නංගීත්, අත්තම්මාත් අසරණ වෙද්දී, කාලය සමඟින් දෛවය අපත් සමඟ සෙල්ලම් කරන්නට විය.

සැමදා මා මගෙන් ම ඇසූ ප‍්‍රශ්නයකි,
”මගේ දෛවය ලිව්වේ කවුද?”

මේ දේවල් මෙසේ සිදු වෙද්දී සතියකට දවස් දෙකක් හෝ තුනක් පාසල් ගොස් කුලී වැඩ කරන්නට යොමු වුණේ නැතිබැරිකම මැද ය. මැරීගෙන වැඩ කළ ද ඉන් ලැබුණේ සොච්චම් මුදලකි. කෙසේ හෝ මේ ජීවිතය දිනන්නට සිතුවිලිවලින් පිරුණේ සාමාන්‍ය පෙළ පෙනී සිටිමින් හොඳ ප‍්‍රතිඵලයක් තිබිය දී ත් උසස් පෙළ කරන්නට නො හැකි බැවිනි. අද නොමැති මුදල් හෙට මා ගාවට ගන්නවා සිතාගෙන, පමණට වඩා මුදල් අනවශ්‍ය බව ද දැඩිව සිත දරාගෙන සිටියේ ඇතැමුන් බළලූන් ලවා කොස්ඇට බෑවීමට සූදානම් බව වැටහුණු නිසා ය.

”ජීවිතය, ජීවිතය කියන්නේ ජීවත්වීම ය. ජීවත්වීම කියන්නේ මොහොතයි නේ. ජීවිතය වරදින්න වරද හදාගන්න යන්නෙත් ඒ වගේම මොහොතයි නේ, සේරම හිත තමයි.” නෑදෑ කමක් ද තිබූ නමුත් ඊට වැඩි හිතවත්කමක් ද පැවති සුබෝදා පැවසුවා ය.
”සාමාන්‍ය පෙළ විතරක් කරලා හොඳ රක්‍ෂා කොහෙද මල්ලී”

බොහෝ දෙනා එලෙස උසුලූ විසුලූ කරමින් සමච්චල් කරද්දී සුබෝදාගේ උනන්දුව හා විශ්වාසය මා දිරිමත් කරන්නට විය. දිනක් මා දම්රෝ ආයතනයේ සම්මුඛ පරීක්‍ෂණයට යන විට සුබෝදා සුදු වතින් සැරසී මල්, තෙල්, හඳුන්කූරූ රැුගෙන උදෑසනින් මා කැටිව ගමේ පන්සලට ගොස් බුදුන් වන්දා, ”යහපතක් වේවා!” කියා නැගූ සාදු නාදය තවමත් ඇසෙන්නක් එදා මෙනි. දහවල් වනතුරු කෑමක් බීමක් නො මැතිව මා එන මඟ බලා සිටි බව මට පැවසුවා ය. සුබෝදාගේ ඉල්ලීමක් ඉෂ්ට කරමින් මා දම්රෝ ආයතනයේ පුටු සැටි අංශයේ කටර් කෙනෙක් ලෙස බඳවාගත් බව පවසා ඇගේ දුරකථනයට ඇමතුමක් ලැබුණු බව පැවසුවේ ඉහේ මලක් පිපුණාක් වැනි සතුටකිනි. මට වඩා සතුටු වූයේ ඇය යි.

කාලය ගෙවෙද්දී නංගී සාමාන්‍ය පෙළත්, උසස් පෙළත් ඉහළින් සමත් වෙද්දී මා හට එම වැටුප ප‍්‍රමාණවත් නො වුණි. කල්පනා කරමින් සිටිය දී රූපවාහිනී වෙළඳ දැන්වීමක් අනුව කි‍්‍රයාත්මක වී අරාබි කතරට පය තැබුවේ එක ම සම්පතගේ දෑස හා ජීවිතය ආලෝකමත් කිරීමේ අරමුණෙනි. මට බැරි වුණු දේ සොයුරියට කෙලෙස හෝ ලබා දිය යුතු විය.

අපේ පවුලේ ප‍්‍රශ්න සමනය වන විට සුබෝදාට මංගල යෝජනා ලැබෙමින් තිබිණ. නමුත් මා සිටියේ නගණ්ඩිගේ විවාහයෙන් පසුව සුබෝදාගේ දෙමාව්පියන් ට කතා කරන්නට ය. එයට ලියූ මෙම සටහන මගේ ජීවිත කතාවේ මම මෙසේ ලියා තබමි.

”ජීවිතය මට ළංකර දුන් දේ ආදරෙන් මම ලබා ගත්තා. ජීවිතයෙන් උදුරාගත් දේ ආදරෙන් යන්න ඇරලා නිහඬ වුණා. ජීවිත කාලය තුළ හිමි අහිමි වන ආදරේ තුළ අල්ප කාලයක හා කල්ප කාලයක උදුරාගත් දේ හිත තුළ නිහඬ කරනවා. උදුරාගත් ආදරය දැනුණට, හඹා යන ජීවිතය මට ලබා දුන් මිහිරි අහම්බය හදවතේ නිදන් කරනවා. සුබෝදා මතක් වෙනකොට මේ කාන්තාරේ කටු පඳුරු අතරත් නුවරඑළියේ මල් පිපිලා වගේ දැනෙනවා”

එක ම සම්පත නංගී අද ඕස්ටේ‍්‍රලියාවේ ය. මා කොතනද සිතන්නට තවම කාලය මෙය නො වේ යැයි මට සිතෙන නමුදු මට නොදැනුවත්ව මාගේ තාරුණ්‍යය මේ කතරට සින්න වී හමාර ය.

මෙලෙස ජීවිතය ආගිය තොරතුරු නැවත සිහි වූයේ වසර දහයකට පසුවය. එයත් හෙට උදෑසන මේ සියල්ල දරාගෙන ජීවත් වූ පුංචි කාමරයට ආයුබෝවන් කියමින් ජීවිතයට එකතු වූ අරුම පුදුම යහලූවන් අතහැරයාමේ වේදනාවට විය හැකි ය. හෙට දකින්නට යන්නේ සුදු අයියේ කියා මගේ ඇඟිල්ලේ දැවටුණු ඒ සුරංගනාවිය නොව වෛද්‍යවරියක් විය යුතුව තිබිණ. එහෙත් හදිස්සියේ ම විවාහ වූ බව දැන් වූ නගණ්ඩිය ඉන්පසුව දැනුම් දුන්නේ ඕස්ටේ‍්‍රලියාවට යන බව ය. ඇගේ සැමියා කවරාකාරයේ ද යන්න දැන ගැනීමට හැකි වූයේ නැත. ඔහු කිසිදිනක මට කතා කළේ ද නැත. නංගී දික්කසාද වූ බව ආරංචි වූයේ වෙනත් කෙනෙකුගෙනි. මා සවුදි රියාල් මතින් ඉදි කළ නිවස විකුණා දැමුවෙමි.

මට අඬන්නට වුවමනා නම් ඕනෑ තරම් හේතූන් ඇත. නමුත් මම සිනාසෙමි. මන්ද මා සොයුරෙකු ලෙස මාගේ උපරිමය ඉටු කර ඇත. මට මගේ නංගීගෙන් වුව ද කිසිවක් බලාපොරොත්තු වීමේ අයිතියක් නැත. මා අතිකාල වැඩ කරමින් නගණ්ඩිය වෙනුවෙන් ඉතිරි කරනවිට අපේ බැඳීම් ද ලිහිල් වන්නට ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s