සෙල්ලාක්කාසු by Suranga Kumarasiri

ටකරන් වහලේ හිල්වලින් පෙරිලා ආපු හිරු එළිය බිත්තියේ රටා මවද්දී ඇඳ මුල්ලේ ගුලි ගැහිලා හිටපු තංගම්මට නැගිටින්න කාලේ හරි කියලා දැණුනේ රස්නෙත් එක්ක. නැගිටලා අඩිය තියනවත් එක්කම වහලෙන් බේරෙන වැහිවතුර පිරෙන්න බිම තියලා තිබ්බ ටින් එකක් පෙරළිලා ගියේ කකුලත් සීතල කරගෙන.

? පුරාම එක දිගට ඇද හැලූණ වැස්සට තෙතබරියම් වුණ තේ පඳුරු ඇකිලිලා, මුසාප්පුව පහ වෙලා ගුලි ගැහිලා තිබ්බ තේ ගස්, වැටුණ ඉර එළියට දිග ඇදෙද්දි ඒ උණුසුමේම ලැයිම්වල මිදුලේ ඇණ තියාගෙන ඈත කඳු වලල්ල දිහා බලාගෙන ඉන්න ලෙච්චමීලා සින්නයියලා දොරකඩට ආපු තංගම්මට පේනවා.

”රාමයියා….. රාමයියා…..”

ලියුම් බෙදන රාමන්ගේ කටහඬ, තංගම්මා එලියට බැහැලා ඉස්සරහට ගියේ නොඉවසිල්ලෙන්.

”ආ….. තංගම්මා …..”

”අදත් නෑ බං, ඒත් සෙල්ලම්මගෙයි නාච්චිගෙයි ඒවා නම් ආවා”

”නාච්චි නම් ඕං ගියා පවුල පිටින්ම බැංකුවට”

හැමදාම වගේ බලං ඉන්න බව දන්න රාමන් තංගම්මට එහෙම කියාගෙන කුරුකු පාදෙයි දිගේ පල්ලම් බැස්සා.

ලැයිම් කාමරේට ඇතුල්වෙද්දිම පේන කංකානි රාජුගේ පොටෝ එක එතෙන්ට ඇවිල්ලා අවුරුදු 15ක ට වැඩියි. පොටෝ එකට එහා පැත්තේ බිත්තියේ වරිච්චි ගැලවිලා වහලෙන් වැටෙන වතුර බිංදුවලට හේදිලා ගිහිල්ලා ඉරිතැලිලා තියෙන බිත්ති මැද්දෙන් එළියත් පේනවා. අවුරුදු දාසයේ ගැටිස්සි කාලේ තමන්ව කැන්දාගෙන එද්දි ලැයිම් කාමරේ තිබ්බ විදිහ තංගම්මට මතක් වුණා. මේ සල්ලිවලින් ඉස්සෙල්ලාම කරන්න ඕන වහලෙයි ලැයිම් කාමරෙයි හදන එක.

”අම්මේ….. අම්මේ…..”
”උඹේ චෙක් එක අදත් නැද්ද?
”එන්න චෙක් ඩා…………?
”උඹේ එක තමයි නැත්තේ අරුන්ගේ ඒවා නම් ඇවිල්ලා”

එලියට බැහැපු තංගම්මට පෙණුනේ වැනි වැනි තේ පඳුරු අතරින් බොඳවෙලා යන නඬේසන්ගේ රූපය.

ඉස්සර තමන් වැඩ ඇරිලා එද්දි උඩ ලැයිමේ ඉඳන් බලන් ඉඳලා තරගෙට දුවගෙන ඇවිත් හතරදෙනාම ඇෙඟ් එල්ලෙන හැටිත් එයිනුත් ඉස් ඉස්සෙල්ලාම ඇෙඟ් එල්ලිලා තොරතෝංචියක් නැතිව කියව කියව ආපු නඬේසන්……

දිග හුස්මක් ඉහලට ගත්ත තංගම්මා ආපහු ඇතුළට ගියේ කළුවුණ ආකහෙන් වැහි බින්දු ඇඟට වැටෙන්න පටන් ගත්ත හින්දා.

ඉස්සර පයින් එන්නත් බැරි තරමට හේදිලා වලවල් හෑරිලා තිබ්බ පාරට දැං කොන්ක‍්‍රීට් වැටිලා ඒ පාර දිගේ ආව අන්නෙයි කෝදෙයි බස් එක ලැයිම ගාවින් නවත්තලා පාර දිගේ උඩහට ගියා. ඒ එක්කම කෑ ගගහා ආවේ කෝවිලේ දීපවාලී පූජාවට ආධාර එකතු කරන වෑන් එක. ඊළග මාසේ එන දීපවාලී එකට ලොකු පූජාවක් තියන්න ඕනේ, ගිය අවුරුද්දේ පහළ ලැයිමේ රාජමනී තිබ්බ පූජාව වගේ. තමන් තනි කරලා කංකානි රාජු දෙවිියන් ළඟට ගිහිල්ලා මේ අවුරුද්දට අවුරුදු පහළවකුත් වෙනවනේ. චෙක් එක හෙටවත් ආවොත්……?

”අම්මේ අදත් චෙක් එක නැද්ද?

ළඟදි වටගොඩ දාපු ගාමන්ට් එකේ වැඩට යන ශර්ධා ගෙට ගොඩවුණේ එහෙම අහගෙන.

”අයියෝ එනකු තෙරියාද…..?”

”හැමදාම බාලක‍්‍රිෂ්ණන් අහනවා වෙඩිින් එක ගන්නෙ නැද්ද කියලා?”

”අම්මේ….. රොම්බ රොම්බ පසික්කුදු”

ප‍්‍රශාන්ත් කෑ ගහගෙන ගෙට ගොඩ වුණේ ඒ එක්කම

”අම්මේ අම්මගෙ සල්ලි අදත් නෑ නේද?”

”සෙල්ලගෙ තාත්තගෙ නම් ආවලූ ලක්‍ෂ පහළවක් විිතර තියෙනවලූ. හෙට ඌ නම් වීල් එක ගන්න යනවා කිව්වා.”

”වීලූත් ගණන් යන කතාවක් තියෙන්නෙ හන්දියේ වීල් පාක් එකේ දාගත්තා නම් හයර් තමයි, කෝ ඉතින්..?”

”ආ අම්මේ…..”

”මේං මේක ගනේෂ කඩෙන් ලියලා දුන්නා.”
”කඬේ බිලද කොහෙදෝ?”

නඩලමේ ගහලා වරෙල්ලා ගෙදර වියදමට කීයක්වත් දෙන්න එකෙක් නෑ, අවුරුදු ගානක් කරලා කරලා තව ඉවරෙකුත් නෑ වචනවලට නොහැරවුන සිතිවිලි තංගම්මා හිතේම ගුලිකර ගත්තා.

රාති‍්‍රය පුරාම ඇද හැලුණ වර්ෂාව නැවතිලා වගේ, ලැයිමට එහා පැත්තෙන් ගලන් යන ඇල පාරේ ඝෝෂාව ඊයේ ? ඉඳන් වැඩිි වෙලා. තව එක දිගට වැස්සොත් ආයෙම ලැයිම් කාමරවලින් යන්න කියයි. ගිය පාර නාය ගිය ඇල්බියන් වත්තේ ටොප් ඩිවිෂන් එකේ ලැයිම්වලින් අයින් කරපු මිනිස්සු බලන්න කී දෙනෙක් ආවත් තාම ඉන්නෙ කූඩාරම්වල කියලා රාමන් කියපු හැටිි තංගම්මට මතක් වුණා.

”අම්මේ….. අම්මේ…..”
”ආ… මේ උඹනෙ වා වා..”
”මම බැලූවා කවුද මේ වේලාපුවම කියලා”
”අම්මෙ රාජු කිව්වා අම්මගෙ සල්ලි ආවද කියලා බලන් එන්න කියලා, ගේ වැඩ තව ටිකක් තියෙනවා”

උඹලට ඉතිං සල්ලි තමයි මතක නිකංවත් අම්මෙක් ඉන්නවද කියලා මතක නෑ. ලොකු එකාට උගන්වන්න කොයි තරම් දැඟළුවද ගෑණි ගත්ත දවසේ ඉඳලා ඌ මේ පැත්තෙ ආවෙ නෑ, වචන වලට නොහැරවුණ සිතිවිලි තංගම්මා හිතේම තද කර ගත්තා.

”මම යනවා අම්මේ….”
”ඉඳකින්….! මෙහෙම දරුවො මාත් හැදුවනේ”

අවුරුදු ගානකට පස්සෙ ඇවිත් ආ පයින්ම හැරිලා යන ලේලි දිහා තංගම්මා බලං හිටියා.

ලැයිම් පේළිය කෙලවර තියෙන ලොකු ගහ තේ ගහක් කියලා තමන්ට කංකානි රාජු කිව්වෙ කසාද බැඳපු අලූත. තේ ගහ ගානට මිම්මට පඳුරක් වගේ දළු කඩන්න පුලුවන් විදිහට තියෙන්නෙ කප්පාදු කරලා සාත්තු කරන හින්දා, ඒත් තමන් ඒක විශ්වාස නොකරපු හැටි තංගම්මට මතක් වුණා. ඈත පෙනුණු තේවලින් පිරුණු මලයනාඩුව බොඳවෙලා ගියේ ඒ මතකයත් එක්ක.

”තංගම්මෝ…. තංගම්මෝ….”
”එංග ඩා නී..?
”මේං උඹේ චෙක් එක”
”මෙතැන අත්සන් කරපන්… හෙමින් හෙමින් බං”
”කෝ අතත් වෙව්ලනවනෙ….. ඕක ඉරෙයි…..”
” ඕං එහෙනම් උඹගෙ කරදරත් ඉවරයි”

වෙන රාත‍්‍රිවල ලැයින් කාමරේ පුරාම ලැගලා තියෙන සීතල ගෙනෙන්නෙ නිසල බවක්, ඒ නිහඬ බව බිඳිලා අතොරක් නැතිව ගිනියම්ව ගෙවුණ රාත‍්‍රියකට පස්සෙ තංගම්මට බැංකුවට යන්න සිද්ධ වුණේ නඬේසන් ගෙනාව වෑන් එකක ඔක්කොම එක්ක.

ආව ලක්‍ෂ ගානක සල්ලිවලින් තමන්ට ඉතුරු වෙන්නෙ සොච්චමක් විතරයි. ගේ හදලා කීයක් හරි පොතේ දාගෙන මාසෙකට පොළිය ගන්න හිතන් හිටිය හීන අනෙක් හීනත් එක්ක හිත ඇතුළෙම ගුළි කර ගත්ත තංගම්මා සල්ලි ගන්න ලියලා දීපු කොලෙත් එක්ක බැංකුවේ පෝලිමට එකතු වුණා. මොනවා වුණත් ඒ මගෙ දරුවොනේ…. ශර්ධා, ප‍්‍රශාන්ත්, රාජු, නඬේසන් මුන්ව හදන්න තාත්තා නැති වුණ දවසේ ඉඳලා විඳපු දුකක්.

සල්ලි ටික අරන් දරුවන්ට දීපු තංගම්මා බැංකුවෙන් එළියට බැස්සා.

අවුරුදු හතලිස් ගානක් පුරාවට ඇවිිදපු තේ පඳුරු අතර වංගු ගැහුණ පාර දිගේ එද්දි තංගම්මට දැණුනෙ හරි සැහැල්ලුවක්.

හෙට උදේම ආපහු ගිහිං වත්තෙ මහත්තයාට කියලා දවසේ පඩියට වැඩ ඉල්ල ගන්න ඕන. අයින් වෙද්දිත් දවසකට දළු කිලෝ විස්සකට වඩා කඩපු තමන්ට ආපහු වැඩ දේවි කියන එක තංගම්මට විශ්වාසයි. බානුගෙ ලැයිමට අල්ලපු වහලා දාලා තියෙන ලැයිම් කාමරේ ගැනත් ඒ ගමන්ම අහලා බලනවා.
⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
තේ පඳුරු බේර බේර උඩට යද්දි ඇෙඟ් හැප්පෙන මීදුමත් සීතල සුළඟත් තංගම්මට ගෙනාවෙ සතුටක්. රිකිලි දාලා උඩට මතු වෙලා තියෙන තේ දළු තමන් එනකන් බලන් ඉන්නවා වගෙයි. පින්න වැටිලා හැඩ වෙලා තියෙන තේ දළු තව ටික වෙලාවකින් ඉර එළිය වැටුණහම රිදී පාටින් දිලිසේවි. හුරු පුරුදු තේ පඳුරු මැද තංගම්මට දැණුනේ හරි සුරක්‍ෂිත හැගීමක්.

”ආඬ වනේ…. මුරුග පල්ලා!”
”මොකෝ බං මේ තංගම්ම…..?
”මං ලොකු මහත්තයාට කියලා ආවේ”

තමන්ව දැකලා පුදුමෙන් කෑ ගහපු කංකානිට තංගම්මා උත්තර දුන්නා.

”මුරුග සාමි පල්ලා අක්කේ ඇයි බං……?”
”අයියෝ කඩවුලේ…..!
”උඹෙ සල්ලිත් ආවනේ……?
අනිත් පැත්ත හැරුණ තංගම්මා දළු කඩන්න පටන් ගත්තා.
”එන්න සෙයිය….!”

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s