හිමව් අරණේ කඳුළු බිංදුව by Gayashika Kumudumali

වෙනදා මෙන් අදත් එලාම් ඔරලෝසුව නාද විය. ඇස්දෙක ඉතා අමාරුවෙන් විවර කරගත් නිමල්ට අවට පෙනුණේ අමුතු වෙනසකි. කිසිදා ගතට හා සිතට නොදැනුණ මූසල හැඟීමකි.

කාල වර්ණ මේඝ වලාවන් දසත පැතිරී තිබේ. සූර්යයාගේ ඝන රශ්මි ධාරාව නියඳගල අවට පැතිරුණේ නැත. දින කිහිපයක් තිස්සේ ඇදහැලූණු වර්ෂාව වැව් අමුණු ඉතිරීයාමට තරම් කුරිරු වී තිබූ බව නිමල්ට දැනගන්නට ලැබුණේ ගුවන් විදුලි ප‍්‍රවෘත්ති විකාශයෙනි.

‘‘නැගිටින්න පුතා වැඩට යන්න.’’

අලසකමේ තේජස රජදහන කරගත් නිමල්ට මවගේ කටහඬ ඇසුණේ නැත. තම පෙරෝනයෙන් මුළු ඇඟම වසා ගත්තේ සුරතල් කිරිකැටියෙකු මවගේ උණුසුමට ගුලි වන්නාක් මෙනි.

හිටිහැටියේම බෙල් එකේ දෙවන නාදය යටපත් කරමින් අතිභයංකාර විශාල හඬක් ඇසුණි. නිමල් බිමට පැන්නේ ය. ඔහුව බිමට වැටුණා යැයි කීවොත් වඩාත් නිවැරදි ය. අම්මා ඇස් ලොකුකර එදෙස බලා සිටී.

”මොකක් ද පුතේ ඒ?”

නිමල් අම්මා ඇසූ පැනයට පිළිතුරු නොදී එළියට ගොස් වටපිට බැලූවේය. හාගල කඳුවැටියම වෙනදා නිලට නිලේ බබලද්දී අද ධුම ජාලාවකින් වැසී ඇත. ඒත් සමඟම ගම්වැසියන්ගේ බිය මුසු වූ හඬක් ද පරිසරයට එක් විය. මහා ගාලගෝට්ටියක දසුනක් ඒ මොහොතේ නිමල්ගේ මනසේ සනිටුහන් විය. ලොකු කුඩා සියලූදෙනා සිව්දෙස අරක්ගෙන ඇති ඛේදවාචකය සමඟ එකට එක්වී සිටිති.

අම්මා දිව්වේ, ”අපේ හාමුදුරුවො, අපේ හාමුදුරුවො” කියමිනි. අම්මාගේ මුවින් පමණක් නොවේ තවත් ගැහැණුන් කිහිප දෙදෙනෙකුගේ මුවින් පිටවුණේ එම වචන ටික පමණි.

නිමල්ට මඟදී හමු වී පියදාස මාමා දුවන ගමන් ම කීවේ ”ගිය සතියෙ අපේ දානෙ මතක් කළාම කොහොම හරි පහළොස්වෙනිදට වඩිනවා කිව්වා පුතේ” කියා ය.

නිමේෂ කිහිපයකට පසු කඳු පාමුල සමීපයට පියවර කිහිපයක් මෙහායින් නිමල් පසුකර පොලිස් ජීප් රථයක් ඇදෙන්නට විය. ඒ මොහොතේ පොලිස් නිලධාරියාගේ මෙගාෆෝනය කි‍්‍රයාත්මක වී ජනතාව දැනුවත් කරන්නට විය.

පොලීසිය පනවන ලද සීමාවට ගිය නිමල්ට හදවත පසාරු කරගෙන දෙසවනට මුසු වූයේ ගම්වැසියන්ගේ වැළපිලි හා සුසුම් හඬය. ගල් සමඟ පස්කුට්ටි ඒ වනවිටත් ජලය සමග මිශ‍්‍ර වී පහළට රූරා වැටෙමින් තිබුණි. කුටි හතරකින් සමන්විත වූ සේනාසන ඉසව්ව තිබු තැනක්වත් මේ වනවිට සොයාගැනීමට නොහැකි විය. පැය භාගයක් යන්නට පෙර පැමිණි හමුදා භටයෝ මුළු සිරුරම වැසෙන සේ කබා පැළඳ ගෙන අතුරුදහන් වූ පිරිස් සෙවීමේ කටයුතුවල නිරත වූහ.

එහි වැඩවිසුවේ එක් හිමිනමකි. උන්වහන්සේ කොළඹ සරසවියේ උපාධිය ලබා සිටි බවද අසන්නට ලැබිණ. කොළඹ සරසවියෙන් තම ජීවිතයට ආභරණයක් වූ උපාධිය ලබාගෙන තිබෙන බව අවටින් ඇසුණු කතාබහෙන් දැන ගන්නට ලැබුණි. අදට අවුරුදු පහකට පමණ ඉස්සර හාමුදුරුවො සේනාසනයට වැඩම කරල තිබෙන්නෙ.

ජීවිතයේ කෙතරම් කටුක අත්දැකීමක් වුණත් මඟහරවා ගැනීමට නොහැකි නම් යා යුතු හොඳම මඟ නිවනයි. නිවන් මඟට සමීප වීමට තරුණ හදවතකට කොයිතරම් අමාරුයි ද? දෙමාපිය සහෝදර සහෝදරියන් ගැන කිසිම හෝඩුවාවක් දැන ගන්නට නොහැකි විය. එහෙත් තනි නොවූ ස්වාමීන් වහන්සේ ගම්වැසි සියලූදෙනාටම ”අපේ හාමුදුරුවෝ” විය. උන්වහන්සේගේ සිල්වත්කමේ කිසිම සැකයක් ගම්වැසියන්ට තිබුණේ නැත. උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින දිනයන් ගම්වැසියන් දැන සිටියහ. දුෂ්කර වූ අඩිපාරේ පිණ්ඩපාතය ලබාගැනීමට හැකිවිම උන්වහන්සේ ලැබූ භාග්‍යයකි. ඒ නිසාම වැඩි කැමැත්තක් දැක්වූයේ පිණ්ඩපාත දානය වැළඳීමටයි.

මළගෙදරකදී ශෝකී හදවත් සැනසුවේ ලොව සියලූ දේ නිත්‍ය නොවන බව පසක් කරමිනි. කුඩා දරුවන්ට හොඳින් ඉගෙන ගෙන සමාජයට සේවයක් කරන ලෙස අවවාද කළේ පියෙකු මෙනි. නිමල් ද හිතට කරදරයක්, සෝ තැවුලක් දැනුණ විගස හැමවිටම උන්වහන්සේ සොයා ගියේය. මුලින් ම රැුකියාවට යන දිනයේ පවා උන්වහන්සේගේ ආශීර්වාදය ලබාගැනීමට ගිය දිනය නිමල්ට සිහිවිය. තාත්තාගේ අකල් මරණයෙන් සිත් තැවුලට පත් නිමල්ටත්, නිමල්ගේ මවටත් සැනසිලි වදන් පැවසුවේ බුදු දහම හා මුසපත් වෙමිනි.

”අනේ බලහං අක්කේ, ගිය සතියෙ පිණ්ඩපාතෙ වඩිද්දී හාමුදුරුවො අපේ ගෙදරටත් වැඩියා.”
”පොඩි එකාට සහලෝලෙට උණ නිසා උන්වහන්සේගෙ පිරිත් බලෙන් උණ කොහෙන් ගියාද මන්දා”
”සිරියාවතී නංගිට කියන්න, උන්වහන්සේට වෙලාවක්, අවේලාවක් නෑ කාට වුණත් උපකාර කරන්න.”
”අපේ පොඩි එකාගෙ ශිෂ්‍යත්ව පූජාවත් කරේ දේව හාස්කමක් වගේ. ඒ පූජාව කරත් හරි අපේ එකා ලොකු ඉස්කෝලෙකට ගියානෙ බං.”

ගැමියන්ගේ මතකයේ රැුඳුණු ඒ හොඳ ගුණධර්ම නිසාදෝ හැම දෙනාටම වාවගන්න බැරි වේදනාවක් මේ ව්‍යසනයෙන් ඇති විය. භූගර්භ විද්‍යාඥයින්ගේ මතය වූයේ කඩා හැලූණු පස් අඩි විසිපහක් (25* පමණ ඝණකමට ඇති බවයි. සවස හතර පමණ වනතුරු බැකෝ මැෂින් එකක ආධාරයෙන් කුටි තිබූ පෙදෙස පාදාගත්ත ද සෙවූ වටිනා දේ තවදුරටත් සැඟවී ඇත. සෘධි බලයකින් හිමිනම කොහේ හෝ දෙසකට වඩින්න ඇත් ද? තවම හිමවූ අරණේ භාවනායෝගීව මේ කලබගෑනිය නොදැන උන්වහන්සේ භාවනාවකට සමවැදී ඇත් ද?

සිදුවූයේ කිසිවෙක් නොසිතූ අරුමයකි. අවටින් ඇසුණේ මුළු පරිසරයම දෙදරුම් කෑ මහත් විලාපයකි. වයසක කාන්තාවක් හා මැදිවියේ පසු වූ කාන්තාවක් ගල්මුල්වල හැපී වර්ෂාව ද මඟහරිමින් සේනාසනය වෙත පියමනින්නට විය.

”අනේ මේ වුණේ උහුලන්න පුළුවන් අපරාධයක් ද? සතර වරිගෙම නිවන් දකින්න පුළුවන් වෙයි කියලා නේ ද ඔබ වහන්සේ මේ තරම් දුර ආවේ”.

වයසක කාන්තාව නොනවත්වා තම වේදනාව පිටකරන්නට විය. ඇය සමඟ සිටි අනෙක් කෙනා හාමුදුරුවන්ගේ සහෝදරියකි. ඇය පැවසුවේ හාමුදුරුවන් අවුරුදු හයේ දී පමණ මහණ වී හොඳින් ඉගෙන ගෙන සරසවියෙන් උපාධිය ද ගැනීමෙන් පසු භාවනා කිරීමට ආරණ්‍යගත වූ බවයි.

නිවන අරමුණට යන මිහිකත මනුෂ්‍යයාට අනිත්‍යතාව කියා දීමට තෝරාගත් සුදුසු ම ආකාරය සොබාදම් මාතාව මෙලෙස තෝරා ගත්තේ ඇයි දැයි හැමදාටම නොවිසඳෙන ගැටලූවකි. හඬමින් සිටි කාන්තාවගේ හඬ හිටි හැටියේ ම නැවතිණ.

රැුස්ව සිටි සියලූ දෙනාගේ දෑස් ඇය දෙසට යොමු වූ අතර සියලූදෙනා ඒ දෙසට ඇදෙන්නට වූහ.

අනතුරුව සෙනඟ අතරින් ඉඩ ලබමින් කිහිපදෙනෙකුගේ දෑත් මතින් ගිලන් රථයකට ඇතුළු කරන වයසක කාන්තාව නිමල් දුටුවේය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s