හිමි – අහිමි by Erandi Chandrasekara

”වැස්ස වැස්ස ඉවරයක් නැති පාටයි”

නිල් පැහැයට හුරු බිංදු සහිත ඇඳුමත්, තිලකය තැබූ නළලතත්, බේබි පියරු ගැල්වූ දෙඇස් පියවූ සියුම් පුංචි මුහුණතත් මා වෙත සංග‍්‍රහ කළේ සිනහවකි. ඒ පුංචි මුහුණ දමා යන්නට මට ලෝබය.

පුංචි කම්මුල්වලට හාදුවක් දෙන්න මට සිතුණා වුවත් එය ක්‍ෂණයක‘න් වෙනස් වූයේ, එයින් පුංචි පුතුගේ නින්දට බාධාවක් වේ යැයි කල්පනාවට ආ බැවිනි. එහෙත් පිට වී යන්නට මාගේ සිත සූදානම් නැත. කළු හා සුදු පැහැති පබලූ වැල් පැළª මොළකැටි දෙඅත් හා රෝස පැහැති දෙපාත් මා සිම්ඹේ හෙමින් සීරුවට ය.

”සුනිල් මං ගිහින් එන්නම්” යි කියමින් මා ජනෙල් කවුළුව වසා දැමුවේ ජනේලයෙන් හිරිකඩ කඩා වැදෙන හෙයිනි.

මා ආපසු හැරෙන විට ම සුනිල් ද මා අසල බලා සිටියේ වක් ගැසුණු මුහුණ මා දෙසට හරවා බලාපොරොත්තු සහිත පොඩි දරුවකු මෙනි. එහෙත් එය එතරම් සැළකිල්ලට නොගත් බව හැඟවෙන්නට හැරියේ එය එතරම් ම වටිනා නිසාවෙනි.

”වැස්ස ටිකක් බලලා යන්න සිතාරා”
”ඒක තමා වැස්ස පායන පාටක් නෑ. ඒත් මොනවා කරන්න ද මයෙ පුතාගෙ අප්පච්චි”
”අදින් මාතෘ නිවාඩුවත් ඉවරයිනේ. අද නොගියොත් සල්ලි වලින් ගානක් කැපේවි”
”මං ඔයාට වැඩිකල් මෙහෙම වෙන්න දෙන්නෙ නෑ මගෙ නෝනේ. අපිටත් හරියන කාලයක් ඒවිනේ.”
”චූටි දෝණිව අද මොන්ටිසෝරි නොයවා ගෙදර තියාගන්න. වැස්සට තෙමුණොතින් ලෙඩ වෙයි. චූටි පුතාව බලාගන්න මං එන්කම්. අද ඔයා කොහේවත් යන්න එපා හොඳේ”
”හ්ම්…. බලන්නකො අම්මා එක්ක වගේද මං එක්ක ඉන්නකොට කියලා. අම්මලාට වඩා හොඳට බබාලා බලාගන්න අප්පච්චිලත් ඉන්නවා හොඳේ”
”හා හා බලමුකෝ මයේ මහත්තයෝ.”
”අද හවස පහයි තිහට වැඩ ඉවරයි. හවස හය වෙනකොට වැස්ස පායලා තිබ්බොත් තැබෑරුම් හංදියට එන්න. දරුවො දෙන්නා සුදු නැන්දා බලා ගනීවී”
”රන් කැටියා ඇඬුවෝතින් කිරි බෝතලෙන් කිරි පොවන්න. ඒත් බැරි වුණොත් සුදු අම්මාට කතා කරන්න. සුදු අම්මත් එක්ක පුතා එකතුයි”
”වැස්ස නොතිබ්බා නම් මගෙ බෙන්ස් එකේ පාරට ගිහින් දාන්න තිබුණා”

සුනිල් අව්වට වේලෙන වැස්සට තෙමෙන යකඩ බරට විකුණන්නට සුදුසු පා පැදිය දෙසට හැරී පැවසුවේ දුක් බරව ය.
”වැස්ස ටිකක් අඩුවෙන පාටයි”
”හරි හරි දැන් පරෙස්සමෙන් ගිහින් එන්නකො.” සුනිල්ගෙ හිස මගේ නළලත වෙත පහත් වුණි. සාලයෙන් එළියට අඩිය තබන විටම මාගේ පය පාපිස්සේ පැටලූණි. මා හා සුනිල් මුහුණෙන් මුහුණ බලාගත් නමුදු කිසිදු දෙබසක් හුවමාරු වුයේ නැත.

”අද යන්න ම ඕනි නේ සුනිල්” මා පැවසුවේ එපමණකි.
”පරෙස්සමින්”

කුඩය දිග හැරගත් වනම මා ද ඒ දෙසට ඇදී ගියාක් මෙන් දැනුණේ සුළං සැරක් මා අසලින් හමා ගිය බැවිනි.

”සිතා….. ඔය පොඩි කුඬේට වැස්සයි හුළඟයි ඔරොත්තු දෙන්නෙ නැතිවෙයි…. ලොකු කුඩය අරන් යන්න”

මා අපසු හැරෙන විට සුනිල් වහා ගෙට දිවගොස් ලොකු කුඩය රැුගෙන ආවේ මට ආපසු නොහැරෙන ලෙස අතින් සන් කරමිනි.

අඩි තබනා මොහොතක් පාසා ම දරු පැටියාගේ හා චූටි දෝණිගේ සියුමැලි මුහුණු මට මැවේ. අද සීත දවසේ උණුහුම අවශ්‍යයි. එහෙත් මා ඔවුන් ළග නැත. කෙමෙන් කෙමෙන් මා සඳකටු ඔය අසලට ළං වුණේ නොදැනුවත් ම ය. මා ඇඳ සිටි දිග සායේ බාගයක්ම තෙමී තිබුණි. මා සාය කැටිකොට ගත් වනම දුටුවේ සායේ තැනින් තැන මඩ පාරවල් කීපයකි. දුඹුරු පැහැති සාය නිසා එතරම් ම බලපෑමක් සිදු නොවෙතැයි මම සිතුවෙමි.

සඳකටු ඔයේ ශබ්දය මහා හයියෙන් ඇසුණේ හරියට වැඩ නොකරන ටීවී නාලිකාවක් හෝ ගානවා වගේ ය.

වෙනදා තිබූ සිහින් දිය පහර අද මහා ගංගාවක් බඳු ය. ඔය උතුරා පාලම උඩින් ද වතුර දමන්නට ඔන්න මෙන්න ය. දෙපස තිබූ ගස් මුල් ගලවාගෙන රකුසෙකු මෙන් ඇදගෙන යාමට ඔය සමත් වී ඇත. පෙන සහිත බොර පැහැති ජල ධාරාව, දිරාපත් වූ දරකැබලි අවසානය දක්වා රැුගෙන යන්නාක් මෙනි. වෙනදා පෙනුණු රවුම් හැඩැති ගල්පර ජල පහරින් වැසී ඇත.

ලොකු ගස්වල අතු නමාගෙන පොල් ගස්වල කරටි බිඳින්නට තැත් කරමින් එන සුළෙඟ් වේගයට පාලම ද වෙව්ළුමට තනන්නාක් මෙන් දැනිණ. පාලම හරහා ඇදෙන විට මට දැනුණේ මා ද දර ඉපලක් මෙන් ගහගෙන යන්නාක් මෙනි. එහෙත් ආපසු යා නොහැකි ය. මා පාලමෙන් එගොඩ වූයේ රූකඩයක් මෙනි. මගේ දෙපා මෙහෙයවන්නට ඇත්තේ දරු පැටවුන් කෙරෙහි ඇති වගකීම හා සුනිල් කෙරෙහි ඇති ආදරය විසිනි. සුනිල්ගේ රස්සාව තිබුණා නම් මට මේ දුක්ඛිත රස්සාවට යන්නට සිදුවන්නේ නැත.

කුඹුරු යාය විශාල වැවක් වී තිබිණ. අලූතින් පැළ කළ ගොයම් පැළවල සේයාවක් වත් පෙනෙන්නට නැත. රොසලින්ගේ කුඹුරට එහායින් තියෙන්නේ අපේ දික් කනටිය යි. එහෙත් මේ ජල යායේ ඒ මායිම් නිශ්චිත ව සොයා ගත නො හැකි ය. දික් කනටිය උගස් වී තිබුණ ද එය අපේ ය. එහෙත් තව කෙතරම් දවසක් එය අපේ යැයි කිව හැකි වේ දැයි නොදනිමි. මෙපමණ වේලාවක් බිමට හරවාගෙන ආ හිස කෙලින් වත් ම, මා කෙමෙන් තාර පාරට ළං වී තිබිණ. කුඹුරෙන් එගොඩ වත් ම කළු පැහැති රබර් සෙරෙප්පු යුගලේ මඩ තැවරී තිබුණේ මඩතලි පිටින් ය. ළඟ ම තිබුණු වතුර වලෙන් මඩ සෝදා ගත් මා වෙනදා යන වෑන් රථය එනතුරු බලා සිටියේ වර්ෂාවෙන් බේරීමට ය. වාහනයේ කළු පැහැති රෝද පාර පුරා විසිරී තිබූ බොර දිය දෙබෑ කරගෙන පැමිණියේ හරියට දිය රකුසෙක් මෙනි.

වාහනය නවත්වා, ගාමිණි අයියා, ”නගින්න සිතාරා නංගී” කියා මා ඇමතුවේ අමුතු ම සිනහවකිනි. කවදත් නිශ්ශබ්ද ගාමිණි අයියා මට මෙසේ කීවේ සුනිල් ගෙදරට වෙලා ළමයි බලනවා ද කියන සියුම් උපහාසයක් සඟවාගෙන වන්නට ද ඇත. වෑන් රථය තුළ සිටි අයගේ සිනහවත් ඒ සමඟ ම ඇසුණේ මහ හයියෙනි.

”ආ ….. සිතා …. නගින්න ඉක්මනට” දොර විවර කරමින් පැවසුවේ මගේ හොඳම යෙහෙළිය වන වත්සලා ය.
”ඉතිං ඉතිං දැන් සිතාරා මහත් වෙලා… ලස්සන වෙලා… නේද සිතූ?”
”හ්ම් හ්ම්” කහපාට බ්ලවුසයකින් සැරසුණු රතී පැවසුවේ ඔලොක්කුවට මෙනි. වෙනදා නොදැකපු මුහුණු කිහිපයක් ම දක්නට ලැබුණේ අහම්බෙනි.
”පුතා ගෙදර ද සිතා?”
”ඔව් වත්සලා”
”කොහොමද දැන් බලා කියා ගන්නේ?”
”සුනිල් අද ගෙදර. සුදු නැන්දත් එහා ගෙදර නේ… බයක් නෑ ඒ හින්දා”
”ආ….. සුනිල් මහත්තයා දැන් ගෙදර නේ නේද? ඕක තමයි කියන්නෙ ඔය දේවල්වලට කතා කරන්න යන්න එපා කියලා” කළුපාට ජැකටයක් පැළඳ සිටි කොණ්ඩය කොටට කැපූ කට වාචාල සුමනා පැවසුවේ කෝපය පෙරදැරි කරගෙන ය.
”කොහොමත් අපි සාධාරණේට ජීවත් වෙන මිනිස්සු. අසාධාරණයට කැමති නෑ. දුප්පත් අපිටත් ගෙවල් දොරවල් ගන්න තිබ්බා දේශපාලනයට ඔළුව නැමුවා නම්”
මා එසේ කියා දැමුවේ කෝපය ඉවසා ගත නොහැකි තැන ය.
”දැන් කතා ඇති. ඔක්කොම වෙන්නෙ හොඳට නෙ…..” කරුණ අක්කා කීවේ හැමදේම සමාදානයට පත් කරන අයුරිනි.

ඇබෑර්තු ඇත
30% වැඩි වැටුපක් ලබාගන්න එන්න
දැන් ම ලියාපදිංචි වෙන්න

දම්පාට වැසි කබායකින් මුළු ශරීරය ම ආවරණය කරගෙන සිටි මුර මාමා ගේට්ටු පියන විවෘත කරන තුරු රැුඳී සිටි ක්‍ෂණයට මා දුටුවේ නව දැන්වීම් දෙක තුනකි.

දීර්ඝ නිවාඩුවෙන් පස්සෙ නැවතත් සුපුරුදු පරිදි මා හිරවූයේ මැෂින් ගොඩක ය.
වෙලාව උදේ දහයයි. කිරිකැටියා එක්ක සිටියා නම් ගෙවෙනා කාලය දැනෙන්නේ නැත. වෙනදා නම් දරු පැටියා ඇකයට තුරුලූ වී කිරි බොන වෙලාව. එය සිහියට නැගී තනෙන් කිරි වෑස්සෙන බව දැනුණේ සීරුවට ය. එය නවතා ගත නො හැකි ය. මැෂින් එහා මෙහා වෙනකොට දැනෙණුයේ මගේ පපුවට ඉඳිකටුවකින් අනිනවා වගේ ය.

පව් පොඩි එකා…. හීතලට ගුලි වෙන්න මගේ උණුහුම හොයනවා ඇති. බේබි පියරු සුවඳ මා වටා දැවටී තිබෙන්නාක් මෙන් දැණුනි.

”සිතාරා… මොනවද මේ කරලා තියෙන්නේ? මෙහෙම ද පිළිවෙළකට වැඩක් කරන්නේ? මැහුම් එහෙන් මෙහෙන් ගහලා සිහියෙන් නෙමේ ද මේවා කරන්නේ?”

මහ වැස්සේ හඬත් සමඟ මට තාරකා මැඩම් බැන වැදුණේ කෝපය පිටකරමිනි.
”සමාවෙන්න මැඩම්”
”20% ක් පඩියෙන් කැපුවයි කියලා හිතාගන්න. නිවාඩුවෙන් පස්සේ කරන්න ඕනි දේවල් අමතක වෙලා වගේ නිවාඩුව දිග වැඩි වුණ පාර.”

බැනුම සුපුරුදු දෙයක් වුවත්, දෙඇස්වලින් පැන නැඟුණු කඳුළු බිංදු කාටත් හොරා, රහසේම පිස දැමුවේ අවමානයෙන් ගැලවීමට ය. ඒත් සමඟම විශාල විදුලි කෙටිමකින් සියල්ල අන්ධකාර වූයේ මැෂින් සියල්ලේ හඬ නැවතීමත් සමඟ ය.

විශාල ගෙරවුම් හඬක් ද එසැනින් නැගිණි.

මගේ පපු පෙදෙස රිදුම් දුන්නේ හද ගැස්ම වැඩි කරමිනි. සියල්ලෝම මී මැස්සන් සේ මුණු මුණු ගෑවේ වැඩ නතර කරන සේයාවකිනි.

එහෙත් ගත වූයේ විනාඩි දහයකි. මෝටරය කි‍්‍රයාත්මක වී නැවතත් විදුලි බල්බ දැල් වී මැෂින් එක දෙක කි‍්‍රයාත්මක වන ශබ්දය කෙමෙන් වැඩි විය.

”අද මේ ටිකේ වැඩ ඉවර වෙනකම් කාටවත් ගෙදර යන්න බෑ. තමාට නියමිත ටාගට් එකට වැඩ තියෙන්න ඕනෑ”

හීන්දෑරි උස පුද්ගලයෙකු වූ වැඩ බලන රංග සර්ගේ හඬට මා තිගැස්සුණේ බියකරු සිහිනයකින් පසු අවදි වූවෙකු සේ ය.

අනේ දෙවියනේ එහෙම කරන්නෙ කොහොම ද? වැස්සකටවත් තැබෑරුමට ගොඩවෙන්නේ නැති සුනිල් හවස හයට තැබෑරුම් හංදියට ඇවිත් බලන් ඉදීවි. මගේ රන්පැටියා ට හවසට කිරිදෙන වෙලාවටවත් යා ගන්න ඕනෑ. මගේ සිතුවිලි නැවතත් දිව ගියේ නිවස වෙතට ය.

ඒත් සර්, මට මාස නවයක පොඩි දරුවෙක් ඉන්නවා…. මට යන්න දෙන්න යැයි හිතින් මිමිණුවත් එය කියා ගන්නට තරම් ශක්තියක් මට නො මැත. එසේ ඇසීමට මා පසුබට වූයේ මාතෘ නිවාඩුවෙන් පසු ආ පළමු දවසේ එසේ කිරීමට නො හැකි බවත්, ලොකු තානාන්තර සමඟ අපට පෑහිය නො හැකි බවත් දන්නා නිසා ය.

එසේ හෙයින් මා නිහඬව ම, ඇඟට කටු අනිනවාක් මෙන් අද දවස තුළ වැඩ අවසන් කිරීමට ඉටා ගත්තේ සිතට දිරි ගනිමිනි.

රංග සර් විත් ඉදිරිපෙළ සිටි රංසිට මොනවාදෝ පවසා පිටව ගිය බව මා දුටුවේ සැනෙකිනි. එකිනෙකා මැෂිම් කරනවන අතරතුර හීන් කසු කුසුවක් පැවතියේ ඉන් පසුව යි.

”සිතාරා”
තාරකා මැඩම්ගේ ටොක් ටොක් ශබ්දය සහිත පාවහන් යුගලයේ හඬ ඇසී ඉදිකටුවත් ඇඟිලි තුඬේ ඇණ ගනිමින් මා නැඟී සිටියේ නැවතත් බැනුමකට දෝ සිතා ය.

සෑමදා ම කෝපයෙන් පිරී තිබූ ඒ මුහුණේ මා මෙවර කාරුණික බවක් ලෙසට දුටුවේ පළමු වතාවට ය. ඒ නම් පුදුමයකි.

”සිතාරා ඔයා දැන් ඔය වැඩ නවත්තලා ගෙදර යන්න. ඔයාගේ පොඩි දරුවාට ටිකක් අසනීපයි කියල ෆෝන් කෝල් එකක් ආවා. කලබල වෙන්න එපා. පරෙස්සමට යන්න ඉක්මනින්”

මගේ හිත නොසංසුන් ය. වහා වැඩ නවතා යාමට සූදානම් වත් ම වත්සලා දුවං ආවේ, ”සිතා පරෙස්සමින් ගෙදර යන්න” යි කියා කීමට ය. වත්සලාගේ දෙනෙතේ අග රැුඳී කඳුළු ගැන ඇසීමටවත් සිහියක් තිබුණේ නැත.

මං කුඩයත් අතැතිව පාරට දිව ගියේ කඳුළු වෑස්සෙන ඇස් ලේන්සුකඩින් පිස දමමිනි. මහ වැස්සත් සමඟ පොර බදන මා තාර පාරට වත් ම රබර් සෙරෙප්පු දෙක ගලවා දෑතට ගත්තේ පය ඉක්මන් කිරීමට ය.

”දුවේ කොහෙ ද මේ දුවන්නෙ හැති මුනිං හෙලාන?”
”පුතාට ටිකක් සනීප නෑ මාලනී නැන්දේ. ෆැක්ටරියේ ඉද්දි පණිවිඬේ ආවේ.” මාලනී නැන්දා මා දෙස බලා සිටියේ පුදුමයෙනි…
ඒත් සමඟම, ”නංගී යන්න එපා ඔය පැත්තට. ඔය පැත්තම යටවෙලා” සාලිය අයියාගේ කෑ ගැසීමත් සමඟ ඔවුන්ගේ ගෙතුළින් ආවේ විලාප හඬකි.

එය නොතකමින් මා පිස්සියක් විලස දුව විත් නියරට බැසගත් වන ම දුටුවේ සමතලා වූ පස් කන්දකි. මා පසුපසින් සාලිය අයියා කෑ ගසමින් දුව එන බව හැඟුණත් වචන පැහැදිලි වූයේ නැත. යාන්තමින් සිහිය එන විට මට ඇසුණේ මිනිසුන් කිහිප දෙනෙකුගේ හඬකි.

”සුනිල් සිතාරාව එක්ක එන්න යනවාත් එක්කලූ සිද්ධිය වෙලා තියෙන්නේ. එක පාරටම පැත්තම යට වෙලා ගිහින් ලූ”
එතකොට දරුවො දෙන්නා?”
”දරුවො දෙන්නා ගේ ඇතුළේ සුදු නැන්දා එක්කලූ ඉඳලා තියෙන්නේ”
”අප්පේ පව් අසරණ ළමයි”

මා කොහු මෙට්ටයෙන් නැගිට්ටේ සැනකින් ය. පාරේ දුවන්නා මෙන් මා ඒ මේ අත දිව්වේ අරමුණකින් තොරවය. කවුරුන් හෝ මා තදින් අල්ලා ගනු දැනිණ.

”චූටි පුතේ….. මගේ චූටි දෝණියේ…. මගේ සුනිල් මහත්තයෝ…… මයෙ අප්පච්චී….. මං එනකම් බලා ගන්නවා කිව්වා නේද?” ඒ විලාපය අසා සිටීමට කිසිවකුටත් නො හැකි ය.
මගේ පපුව ඩොක් ඩොක් ගෑවේ, ”ඇයි අද උඹ වැඩට ගියේ?” කියන්නාක් මෙනි.

අවසානයට ගොඩ වූයේ අල්ලපු ගමේ සුබෝධාරාම පන්සලට ය. සෙනඟින් බණ මඩුව පිරී ඇත. ඒ අතරින් තැඹිලි පාට සිවුරක් දිස්වෙයි.

”ඇයි අපිට මෙහෙම වුණේ? මාත් මගේ පවුලත් එකට ම යටවෙලා නොගියේ ඇයි? මං විතරක් ඉතුරුවෙලා මොටද?”

හිත පුන පුනා වේගයෙන් ප‍්‍රශ්න කරන්නේ මී මැස්සෝ පස්සෙන් පන්න පන්නා පහර දෙනවා මෙනි.

සෙනඟ අතරින් පැමිණි පුතෙක් ”මාමී” කියා මගේ සායේ එල්ලූනේ හරියට පූස් පැටියෙක් වගේ.
”එනදු මාමා, පාපා, අන්නා පෝහිරාල්….”
”එනදු තමදු තංෙගෙ…”

ඒ දරුවා හඬමින් තමන්ගේ පුංචි නැඟණිය දෙසට හැරුණේ අතට ගන්නට කියන ඉල්ලීමක් දෑසේ රඳවාගෙන ය. මගේ කඳුළු සට සට ගා කඩා වැටෙන්නට කලියෙන් මා හිර කර ගත්තේ දරු දුක තුළ අසරණ වූ හෙයිනි. මගේ හැට්ටය කිරෙන් තෙත් විය. ඉවසිය නො හැකි ය. මේ එන්නේ රන්පුතුගේ කිරයි.

කාගේ කවුරුදැයි නොදත් ඒ චූටි ¥ හඬන විට, විගස මා අතට ගෙන තනපුඩු දෙතොලට ළං කළේ ඉවැසිය නොහැකි තැන ය.

කිරිකැටියා වේගයෙන් කිරි උරා බොන්නට වූයේ පිපාසය උග‍්‍ර වූ කෙනෙකු ජලය එක හුස්මට බීගෙන යන්නාක් මෙනි.
බණ මඬුවේ තිබූ තෙත් ගතියටත් අවටින් හමන හිරිකඩ හුළං සැරටත් ඒ නාඳුනන පුංචි පුතා මා අසළට කිට්ටු වූයේ හෙමින් සීරුවට සීතලට ගුළිවෙන බලූ පැටියෙක් මෙනි. මගේ උණුහුමට ඇකයට තුරුලූ වූ සිඟිත්තිය දෑස් පියා ගත්තා ය. අම්මලා සියලූ දෙනාගේ ම උණුසුමේ වෙනසක් නැතුවා වන්නට ද ඇත.

”මේ අම්මාගෙ දරුවද?”
කැමරාවක් අතින් ගත් නුපුරුදු කෙනෙකු ඒ ඇසුවේ මගෙන් විය යුතු ය.
මගේ හිස වැනෙනු දැනිණ.
බිළිඳිය සිහිනෙන් සිනාසෙනු පෙනිණ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s