කුණාටුව by Rasika Deepani Gunasinghe

බැස යන හිරුගේ මන්දාලෝකය තවමත් පොළොව මත පතිත වී තිබුණේ මහත් ආයාසයකින් මෙනි. කැදලි කරා පියාසර කරන පක්‍ෂි සමූහයාගේ කිචි බිචි ශබ්දයෙන් මහපොළෙව ගිලගැනීමට අඳුර පැමිණෙමින් තිබෙන බව ලොවට කියාපායි. වැහි පොද ද සෙමින් මිහිමත පතිත වනු පෙනේ.

දිය නෑම සඳහා වැවට ගිය අම්මා පැමිණ තිබෙන බව කාමරයෙහි පාඩම් කරමින් සිටි මා හට ඇගේ රෙදි වැනීමේ ශබ්දයෙන් හැඟිණි.

පරිසරය නිසල ය. රැුහැයියන්ගේ නාදයෙන් ද බකමූණන්ගේ ශබ්දයෙන් ද පරිසරයෙහි බිහිසුණු බව දෙගුණ තෙගුණ කරවයි. ඈතින් බල්ලෙකුගේ උඩුබිරුම් හඬ ද මා සවනත ගැටිණි.

”පුතේ උඹටත් තේ ඕන ද?”යි ඇසූයේ අම්මා කුස්සියේ ලිපගිනි මෙලවීමට සූදානම් සේ ය.

”මම එන්නම් අම්මා”

තවත් අඩහෝරාවකින් කුස්සියට ගිය මා හට සීනි බෝතලය සූරන හඬත්, කිරිටින් එකෙහි බොල් හඬත් ඇසිණි.

”උයන්න දේකුත් නෑ. මොනව කරන්නද මන්දා”
”තාත්තා කෝ අම්මේ”
”මෙලහකට බේබද්දොත් එක්ක එකතුවෙලා බොනව ඇති. මොනව කරන්න හිතාගෙන ඉන්නව ද මන්දා?”

නිවසෙහි පවතින දිළිඳු බවත් තාත්තාගේ කි‍්‍රයාකලාපයත් ගැන සිතමින් නැවතත් කාමරයට ඇදුණේ ජීවිතය ජයගන්නා අධිෂ්ඨානයෙනි. දැල් වූ පහනක් නිවී ගියා සේ මාගේ සියලූ පැතුම් බොඳ විය. මෙතෙක් කිසි දිනෙක ඇති නොවූ ආකාරයේ සුළඟකින් ගස්වල අතු එකිනෙකට ඇතිලෙන්නට විය. එයින් නැගුණු ”කිරි කිරි” ශබ්දයෙන් පරිසරයෙහි නිසල බව බිඳ දැමීය. නිවසට වසා ඇති තහඩු එහෙ මෙහෙ වීමෙන් නැගෙන බිහිසුණු ශබ්දයෙන් මා හදෙහි ගැස්ම වැඩිවෙත්ම,

”තනිවයි ……… උපන්නේ ………”
”තනිවයි ……… මැරෙන්නේ ………”
”මේ ඩිංගෙ දී …. ඇයි ………”
”කෝළම් …….. නටන්නේ ………”
තාත්තාගේ හඬ ඈතින් ඇසිණ.

මට වයස අවුරුදු දහයේ දී තාත්තා නිවසට පැමිණි අයුරු මා හට සිහිවන්නට විය.
”මගෙ චූටි කෙල්ලේ ….. මම ආවා ….”

කෑගසා පවසන තාත්තා සෑම දිනක ම අඩුම තරමේ ටොපියක්වත් රැුගෙන ආවේය. අම්මාගේ ද තාත්තාගේ ද නොමද ආදරය ලබමින්, ඔවුන්ගේ උකුල්තලවලට පැන හුරතල්වෙමින් ගෙවූ දිවිය කොතරම් සුන්දර ද?

දිනක් සුපුරුදු පරිදි රැුකියාවට ගිය තාත්තා උදෑසන දහය පමණ වනවිට නිවසට පැමිණියේ ජීවිත සටනින් පැරදුන පුද්ගලයෙකු මෙනි.

”මොකද මේ ගිය පයින් ම ආපහු එන්නේ?”

අම්මා ඇසූ පැනයට තාත්තාගෙන් පිළිතුරු ලැබුණේ තවත් අඩ හෝරාවක් ගත වූ පසුව ය.

”ආයතනයේ ලක්‍ෂ දහයක හොරකමක් වෙලාලූ. ඒකට අහුවෙලා තියෙන්නේ මම.”
”මොන මහපොළොව නූහුලන කතාවක් ද ඒක?. අපිට කාගෙවත් දේවල් ඕනෙ නෑ. එදා වේල කාලා ජීවිතය ගැටගහන්න අපට මේ මොන විනාසයක් ද වුනේ. ඉතිං ඔයා කියන්න එපැයි හොරකම් කළේ නෑ කියලා”

”මම වැඳ වැඳ කිව්ව. උන් මහ නරුම මිනිස්සු; අස්වීම දීලා මාව එළියට ඇදලා දැම්මේ බල්ලෙක් වගේ.”
”අපට කරපු මේ දේට ජාති ජාතිත් ඔවුන්ට පටිසන් දෙන්ඩ ඕනෑ.”
අම්මා හඬමින් කීවා ය.

රැුකියාවක් සොයා ගැනීමට දහ අතේ වෙහෙසුන තාත්තා සියල්ලෙන් හෙම්බත් විය. නිවසහෙි තිබෙන බඩු මුට්ටු ටිකෙන් ටික අවසන් වනවිට දවසින් දවස මුදල් අවශ්‍යතා වැඩි වනවිට නිවසෙහි දිළිඳුකම ඉස්මතු වනවිට මිතුරන් ඇසුරට යොමු වූ තාත්තා ක‍්‍රම ක‍්‍රමයෙන් බීමට පටන් ගත්තේය.

”බොන්න එපා. හැමදාම ඔහොම බොන්න ගියොත් අපට මොකද වෙන්නෙ?”
”දිගටම බොන්න පුරුදු උනහම ලෙඩ රෝග හැදෙනව. බේත් ටිකත් ගන්නවත් සල්ලි කොහෙන් ද?”
”අනේ තාත්තේ…….. බොන්න එපා. බීලා ප‍්‍රශ්න විසඳන්න බෑනෙ.”
අම්මාත් මමත් විටෙන් විට තාත්තාට ආයාචනා කළෙමු. නමුත් තාත්තා බීම අඩු කළා වෙනුවට දිනෙන් දින බීමට ඇබ්බැහි විය. තාත්තාගේ ආදරය, සෙනෙහස ටිකෙන් ටික හොරු අරන් යන්නට පටන්ගත් සේ ය. දිනපතා ම පාහේ රණ්ඩු සරුවල් ඇති විය.

”මම තමයි මේ ලෝකෙ ඉන්න රජා. එකෙකුට බෑ මට අත තියන්න.”

විටෙක පුරසාරම් බස් කියන තාත්තා,

”අනේ ! ඇයි මට මෙහෙම වූනේ. මම කාටවත් වරදක් කරල නෑ.”
”මම දුප්පත් මනුස්සයෙක්. මගෙ කෙල්ල, හාමිනේ බඩගින්නේ. මේව බල බල තවත් මට ජීවත්වෙන්න ඕනෙ නැහැ”
කියමින් පපුවට පහරදෙමින් විටෙක හැඬුවේය.

”ගෑණියේ …… අදත් මම බිව්වා ……”
කියමින් නිවසට ගොඩ වදින විටම නිවස ඉදිරියේ තිබු මල් බඳුන බිඳී යන හඬ මා හට ඇසුණි.

සැනෙකින් මා කාමරයෙන් පිටතට දුව ආවේ විදුලි වේගයෙනි. අම්මා තාත්තා දෙස බලා සිටියේ අනතුරක සේයාවක් දුටු නාගයෙකු තම ආරක්‍ෂාව පතා පෙනය පුම්බන පරිද්දෙනි.

”හරි අගෙයි. ළමිස්සියක් ගෙදර ඉන්නා කොට හැසිරෙන හැටි.”

යක්ෂාවේශ වූ අම්මා බැන වදියි.

”ඇයි යකෝ මගෙ මොකක්ද තියෙන වැරැුද්ද?. මම ටිකක් බිව්ව විතරනේ…”
”ගෙදර උයන්න පිහන්න දෙයක් නෑ. දරුවො ගෑණි බඩගින්නෙ. උඹ හොඳට ජෝගි නටනවා.”
”යකෝ මට ඕන ජාති මම කරන්නේ. උඹට බෑ ඒවා නවත්තන්න.”

”මහ ලොකුවට අරක දෙන්නං මේක දෙන්නං කියල සුරපුරයක් මවල ගෙදරට ගෑණු ගෙනල්ල, ළමයි හදල උඹට පුළුවන් ද ඔහොම කතාකරන්න? තමුසෙට බීලා ජෝගි නටන්න ඕනෙ නම් ගෑණු ගත්තෙ මොකට ද?”
තාත්තා ඒ සමඟ ම මේසය උඩ තිබූ ගුරුලේත්තුව ගෙන පොළවේ ගැසීය.

”මොක්කද මිනිහො ඒ කරපු වැඬේ? ඕක මට පරම්පරාවෙන් හම්බෙච්ච එකක්, උඹට ඕකෙ අගයක් නොතිබුණාට. උඹ මට පිහියෙන් ඇන්න වගේ දෙයක් කළේ. ඔයිට වැඩිය හොඳයි මිනිහො මට පිහියෙන් ඇන්න නං.”
”ආ …… දැන් තමුසෙට මට වඩා වටින්නෙ මේක ද?”
”එක එක ගුබ්බෑයන්වල ලැගල, ?ට ?වෙලා ගෙදරට ඇවිත් මටයි දරුවටයි කරදර කරන තමුසෙගෙ ඇති වටිනාකම මොකක් ද මිනිහො?”
අම්මාගේ වචනවලින් කෝපයට පත් තාත්තා:
”තෝ බොල මොකක්ද මට කියපු පාහර කතාව?”
අසමින් අම්මාගේ කම්මුලට වැරෙන් පහරක් ගැසීය. තාත්තාගේ වේගවත් පහරින් පොළොව බදාගත් අම්මා දුටු මට කිසිවකු පහර දුන්නාක් මෙන් දැණිනි.

තාත්තාට ද කිසිවක් සිතාගත නොහැකිව දෑස් ලොකුකර අම්මා දෙස බලා සිටිනු පෙනේ. බිම ඇද වැටුණු අම්මා වේදනාවෙන් දඟලයි. නිවසෙහි දැල් වූ පහන් දැල්ල එහෙට මෙහෙට වැනෙමින් නිවී යාමට තැත් දරයි. මාගේ දෑස් නිලංකාර වී සියල්ල අඳුරු විය.

කළු ගලින් තැනූ කුඩු ගල් by W A C Sandamali

ඔහු හිස් දෑසින් යුතුව වාඩි වී උන්නේ ය. ”ටික් ටික්….” තමා පසුකර දිවයන තත්පරයන්ය . සුසුම් රැුල් මන්දගාමී ය. එහෙත් උණුසුම් ය. උරා දැමු බීඩිකොට ඇඳි පුටුව මත සරිය කියාපෑවේය. උරස් කුහරය තදින් අල්ලා ගත් හම් පොත්ත වියළා දැමූ සේය. ඒ මේ අත දිවූ කෙස්රොද මුරණ්ඩු ය. හදිසියේ ආ වියළි සුළඟ නාස් පුඩු පුම්බා පහත් කළේ ය.

”ම්…. වඬේ බදින සුවඳක්. සාමිනාදන්ලා වෙන්න ඇති. නෑ…. නෑ…. ඕන නෑ. උන්ගේ නාමයක්. මගේ රත්තරං කඳ මරාගත්තවුන්ගේ එවුන්. මං උන් ඉතුරු….”

”අප්පච්චි…. අප්පච්චි”

චාරුකීගේ හඬින් සිමියොන් තිගැස්සී මඳකට සසලව ගියේ ය.

”ආ…. වෙනිවැල්ගැට බොන්න. අදත් වැඩට යනවද අප්පච්චි?” ඇය විමසුවේ තිත්ත සිතුවිලි තුළ තැම්බෙමිණි.

උඩු ඇන්ද තරයේ අල්ලා ගත් යටි ඇන්ද තරමක් අපහසුවෙන් වූව ලිහිල් විය. වෙහෙස නොව සිතේ වෙහෙස ප‍්‍රභලව සිටිය ද සිය දියණියගේ හඬට පිළිතුරු ගෙතුවේ සිතේ සිටි අතීතයත් සමඟය. තමා මෙතෙක් ඔසවා ආ බර මැන බැලීමට තරම් මිම්මක් දියණිය සතු නොවන නිසාම ඈ තුලනය කිරීමේ යුතුකම සිමියොන් විසින් ඉටුවූයේ වෙනිවැල්ගැට කෝප්පය අතට ගැනීමෙනි.

”කොහොම ද නොගිහින් දුවේ? ”ළඟයින්නේ අම්මගේ දානෙත්. එපායැ කීයක් හරි වැඩිපුර.” සිමියොන් පැවසුවේ බලාපොරොත්තු සහිතව කැළඹුණු මනසිනි.

”නියදැල්ලේ අක්කා එහෙ දානේ දෙයි. එන්නේ නෑනේ මෙහේ.” චාරුකීගේ නෝක්කාඩුවෙන් ඔහුගේ සිත කීතු වී ගියේ ය. මිහිදන් ව සිටි පුරාණයක් යළි යළිත් නැගිට්ටේය.

ඒ සිය බිරිඳගේ වියෝවයෙන් හීල්ලූවේ ය. ලේලියගේ සුව දුක් බලා ආපසු ආ ඇය, ම්ලේච්ඡුයන් විසින් බස් රියේ ඇටවූ බෝමිබයෙන් නතර කළේය. ශේෂය වෛරයෙන් කෙටූ ශෝකයකි. බැලූ බැලූ අත වෛරයේ සැමරුම්මය.

උන් මගේ පවුලම විනාස කළා, සක්කිලි හැත්ත. හිත රිදුම් කෑ නමුත් එය පිට නොවීය.

වෙනිවැල්ගැට කෝප්පයේ පතුලේ ඉතිරිය මණ්ඩිය. නොමැරී තැලූම් කෑ මාපිලෙකු සේ ඔහු නැගී ගල්වල දෙසට හැරුණේ ය.

”කඩනවා ගල් උන්ට වඩා. කී දෙනා ද දැන් සිංහලයො. කලින් එහෙම ද? කම්….මැලිකම ඒකටත් එක්ක උන්. ලොක්කටත් මොකද? සොච්චමට ලාබයි නේ.” සාධාරණය ඔහු පිහිරා සෙව්වේය. වාරය කාගේ වූවත් එදත් අදත් බහුතරය තුළ සුළුතරය උපක‍්‍රමශීලි පසුබැස්මක් නොවන්නේ ද ඔහු සොයන්නකි. පුදුමය ඉතිරිය හිමිවූයේ ගල් වැඩපල අසලම සිහලූන් තිදෙනෙකුට වීමය. ගල්බෝර ගොස් සිදුරු කළ වහල තුළ වචන ඉබි යතුරු ලාගත් එය නුදුටු මාවතක් සේ යැයි සිත අනුමානයකය.

”ආ…. සෙමි අය්යා. දෙන් ද ආවේ?”

සාමිනාදන්ගේ ස්වරය ගල් කටුවෙන් බෝරවල විදින්නා සේ සිමියොන්ගේ සිත විද්දේ ය. මෙතෙක් වේලා පැසව පැසවා තිබූ තුවාලය ඉන් මොහොතින් පෑරෙන්නට පටන් ගත්තා සේ දැනුණ මුත් වැරයෙන් වාවාගන්නට තැත් කළේය. සාමිනාදන් තම සිත මෑත් කර බැලූවේ නම් නිරුවත රිසි සේ දිස් වනවග ලැජ්ජාවෙන් සිහිකළ සිමියොන් එය රහසේ ම වසාගත්තේ ය. ඔහු තමා නිරුත්තර වන්නට ඉඩ හැරියේ ය.

ගල් ලොරි දෙකකට පමණ සරිලන කැඩූ ගල් තමා සතු වූවත් සාමිනාදන් ඉදිරියෙනි. එහෙත් එදින නාමය සටහන් පිළිවෙල ප‍්‍රවාහනයේ දී මෙහි ක‍්‍රමවේදය නමුත් විවිධ හේතු මත වෙනස් වීමට ද හැකි බව බස්නායක මහතා දිනක් පැවසුවා ඔහුට මතකය. ”වාඩිවල උන් පොංගල්වලට ගමේ ගිහිල්ලා. අද ටිකක් ඉස්පාසුවේ කඩා ගත්තැකි. කඩපුවා පටවනවා කලින් එන ලොරියට” ඔහු නිහඬව කියා ගත්තේ පිරිස් අඩුවිට ලොරි හිමියන්ගේ පැමිණීම ද සීමිත වන බැවිනි.

”ශෙයින් කරා නේද පොතේ? ආවේ මමයි උදේ. කුලූගෙඩිය ගෙලවිලා හද හද හිටියේ.” යකඩ පහරින් පෝෂිත ගල් පැහැ දේහය උර බාහු පුම්බා ගනිමින් පැවසුවේ ය.

සාමිනාදන් තමාගේ නිහඬ බව බිඳින්නට යන හැඩ සිමියොන්ට පැහැදිලිය. තවත් සීමාව ඉක්මවිය යුතු ද? රත් වූ කණ් පෙති දුම් පිට කරන්නා සේය. සියුම් නාලිකා උණුසුම් වී සුදු ඉංගිරියාව පැහැය වෙනස් කරගෙනය.

”උදේ නිවුස්වලට තමා කිව්වා අපිලගෙ අයලට බෝම්බ දලා.”

ශිංගල හමුදා තමා පෙරියනිවල අපිලගේ අය මරා දාලා…. හයියෝ හයියෝ…. එන්න නඩන්දදු? (මොකද වුනේ* මාලූ අල්ලපු තමිල් මිනියලත් අල්ලගෙන.

”අපිලට ගේ තමා නෙති වුණා. දෙන් අපිලට නේයෝ ටිකත් නෙති වෙලා යනවා.”
”අප්පා…. ශිංගල මිනියා කරදර කරනවා එයි අපිලට?”

වෙඩි බෙහෙත්, ඩයින දමා හිරකළ බෝර වලක ධන සෘණ වයර් බැටරියට සවි කලා සේ සිමියොන් පුපුරා ගියේ ය. හිස් මුදුනට නැග සිටි කෝවේ දැමු කිරණ ආවේශ වූයේ ඉහ කණිනි. ගල් කුඩෙන් පහුරු බැඳි බොර පැහැ හිල් වැසූ දිගු පැරණි කලිසම ද හීන් ඉණ වටේ දා බිඳු හා ගෝරනාඩුවක ය. කැකෑරුණු කුරුවල් හිත විසින් නිහැඬියාව බිඳ දැමීය.

”ඇයි යකෝ සිංහලයෝ විතරද මිනී මරන්නේ?”
”තොපේ ජාතියේ යාපනේ කල්ලිකාරයෝ….”
”බෝම්බ ඇටෙව්වේ උන්. මගේ පුතා හිටිය කෑම්ප් එකටත්? ඇයි මගේ දරුවන්ගේ අම්මා.” සක්ක ගල්කැට සේ වචන විසිර ගියේ ය. ඇස්පිය ගැටීම වෙහෙසකරය. ඔහු සීමාවක් නොදුටුවේ ය.

”පෙරනියවල ඉඳන් සුනාමියට ඇවිත් උඹලා හිටියේ අම්පාරේ පිරිවෙනේ.”
”අරන්තලාවේ පෙති ගහලා මරපු නායක හාමුදුරුවන්ගේ පිරිවෙනේ.”
”පාරේ උන්නු දෙමළ මිනිස්සු පිරිවෙනට අරන් ගිහින් බලාගත්තේ සෝමරතන හාමුදුරුවෝ. ලැගුම් ගන්න දුන්නේ ලොකු හාමුදුරුවන්ගේ මිනිය තිබ්බ සාලාවේ.”
”මතකද උඹේ පුතෙක් බලෙන්ම ඒ නරුමයෝ ඇදගෙන ගියා කීවා?…. සිමියොන්ගේ කේන්තිය සාමිනාදන්ගේ වැළලූණු අතීතය ගොඩගත්තාට සැක නැත. සියල්ල හමුවේ ඔවුන් මොණරාගලටත්, ඉන් පසු අක්කර හැට ගමටත් ආ බිහිසුණු ගමනක මතකය ඉරා දැමිය නෙැහැකි වූවකි. ගිනිගත් වෙඩි බෙහෙතේ දුර්ගන්ධය අවකාශය පුරා යන කලකටත් වඩා වේගයෙන් දුර්ගුණයේ පැහැය සිරුර පුරා ඇදී යන වග දෙසිතටම පැහැදිලිය .

”ඇයි හොඳයි කං නෑ දැන් උඹලා එක්ක.” සිමියොන් හඬ බාලකරමින් අවසන් තීරණය පිට කළේය.

සිත කැලතූ වචන වමනය දමා දෙපැත්ත ඇද වී තැලී ගෙවී තිබූ කුලූගෙඩිය ඉක්මන් පහරින් කළුගල තැලූම් කෑවේය. නමුත් ක‍්‍රමයෙන් වේගවත් බව වෙහෙස විසින් උදුරන ලදී. හැව ඇර ඇදෙන්නා වූ සර්පයෙකු සේ සාමිනාදන් ඇදී ගියේ ය. අනතුරුව දෙදෙනාම කළු ගල් හා පොර බදින හඬ පමණක් එහි ඉතිරි විය. කුලූගෙඩි පහරට පසුව නැගෙන දෝංකාරයේ හඬ ගල් තලාවේ උස කියා පෑවේ ද මූසල පෙනුමකිනි. පහළ ගල් තලාවේ වූවෙකු ඉහළ බලන කළ අංශක අනූව ද ඉක්මවා යන්නා සේ මය. ගත වූයේ නිමේශයකි. ඉහළ සිට පහළට බසින ගල් පතුරක බොල් හඬ ජෙගනාදන්ගේ මොර දීමට දෙවැනි විය. සිදු වූයේ යමක් ද එය සිමියොන් හට වැටහීමට ප‍්‍රමාද නොවීය.
”අයියා…. අයියා…. මයේ පුතා වෙටුණා.”
”වාංග අයියා…. වාංග…. ඉන්ගෙ වාංග”

”හයියෝ…. අප්පා….”
”ආඩවන්…. එන්ඩ කුළන්දෙයි සිත්තිරම් මාසත්තිලා තමා ඉපදුණා. අපලේ…. අපලේ…. ඊයේ ? හීනේ තමා දෙක්කා. ගොක් කොළ, අඹ කොළ කණපිට තිබ්බා….”

පුතු හිස පපුවට තද කරමින් සිහිවිකලින් දොඩවමින් ආ ගමන ගල් පතුරු ගොඩ මත රඳන පය වේගය ඇද දමන මුත් දරු දුක විසින් තැනූ සෙනෙහස ඒ සියල්ල පැරදවීය. සිමියොන්ට සිහි වූයේ සිය පුතාගේ මිනිය සීල්කර නිවසට ගෙන ආ මොහොතය. දාරක ස්නේහය නම් සම් මස් ඇට පසාරු කරන් ගිය ආත්මීය බැම්මකි යැයි ඔහුට දැනුනේ ය. අතීතය කුලූගෙඩි පහරින් කඩා බිඳ දැමීය. පළමු විපරම තුළ එහි බරපතල බවක් නොපෙනෙන නමුත් ගල් පතුරින් තුවාල කල හිසෙන් රත් පැහැ රුධිරය අතොරක් නොමැතිව වෑස්සෙයි. එය දුටු සිමියොන්ගේ නෙත් සිහින් විය. ඇඟිලි අතර සිර වී තිබූ වඩයක ලේ සටහන් නෙත් සිදුරු කරමින් හදවත සොයා රිංගයි. වේදනාව කළු සුදු නොහඳුනයි.

හදවත ඉක්මන් ය.

සිමියොන් අවසන් තීරණයට පැමිණියේ ය.

සෙල්ලාක්කාසු by Suranga Kumarasiri

ටකරන් වහලේ හිල්වලින් පෙරිලා ආපු හිරු එළිය බිත්තියේ රටා මවද්දී ඇඳ මුල්ලේ ගුලි ගැහිලා හිටපු තංගම්මට නැගිටින්න කාලේ හරි කියලා දැණුනේ රස්නෙත් එක්ක. නැගිටලා අඩිය තියනවත් එක්කම වහලෙන් බේරෙන වැහිවතුර පිරෙන්න බිම තියලා තිබ්බ ටින් එකක් පෙරළිලා ගියේ කකුලත් සීතල කරගෙන.

? පුරාම එක දිගට ඇද හැලූණ වැස්සට තෙතබරියම් වුණ තේ පඳුරු ඇකිලිලා, මුසාප්පුව පහ වෙලා ගුලි ගැහිලා තිබ්බ තේ ගස්, වැටුණ ඉර එළියට දිග ඇදෙද්දි ඒ උණුසුමේම ලැයිම්වල මිදුලේ ඇණ තියාගෙන ඈත කඳු වලල්ල දිහා බලාගෙන ඉන්න ලෙච්චමීලා සින්නයියලා දොරකඩට ආපු තංගම්මට පේනවා.

”රාමයියා….. රාමයියා…..”

ලියුම් බෙදන රාමන්ගේ කටහඬ, තංගම්මා එලියට බැහැලා ඉස්සරහට ගියේ නොඉවසිල්ලෙන්.

”ආ….. තංගම්මා …..”

”අදත් නෑ බං, ඒත් සෙල්ලම්මගෙයි නාච්චිගෙයි ඒවා නම් ආවා”

”නාච්චි නම් ඕං ගියා පවුල පිටින්ම බැංකුවට”

හැමදාම වගේ බලං ඉන්න බව දන්න රාමන් තංගම්මට එහෙම කියාගෙන කුරුකු පාදෙයි දිගේ පල්ලම් බැස්සා.

ලැයිම් කාමරේට ඇතුල්වෙද්දිම පේන කංකානි රාජුගේ පොටෝ එක එතෙන්ට ඇවිල්ලා අවුරුදු 15ක ට වැඩියි. පොටෝ එකට එහා පැත්තේ බිත්තියේ වරිච්චි ගැලවිලා වහලෙන් වැටෙන වතුර බිංදුවලට හේදිලා ගිහිල්ලා ඉරිතැලිලා තියෙන බිත්ති මැද්දෙන් එළියත් පේනවා. අවුරුදු දාසයේ ගැටිස්සි කාලේ තමන්ව කැන්දාගෙන එද්දි ලැයිම් කාමරේ තිබ්බ විදිහ තංගම්මට මතක් වුණා. මේ සල්ලිවලින් ඉස්සෙල්ලාම කරන්න ඕන වහලෙයි ලැයිම් කාමරෙයි හදන එක.

”අම්මේ….. අම්මේ…..”
”උඹේ චෙක් එක අදත් නැද්ද?
”එන්න චෙක් ඩා…………?
”උඹේ එක තමයි නැත්තේ අරුන්ගේ ඒවා නම් ඇවිල්ලා”

එලියට බැහැපු තංගම්මට පෙණුනේ වැනි වැනි තේ පඳුරු අතරින් බොඳවෙලා යන නඬේසන්ගේ රූපය.

ඉස්සර තමන් වැඩ ඇරිලා එද්දි උඩ ලැයිමේ ඉඳන් බලන් ඉඳලා තරගෙට දුවගෙන ඇවිත් හතරදෙනාම ඇෙඟ් එල්ලෙන හැටිත් එයිනුත් ඉස් ඉස්සෙල්ලාම ඇෙඟ් එල්ලිලා තොරතෝංචියක් නැතිව කියව කියව ආපු නඬේසන්……

දිග හුස්මක් ඉහලට ගත්ත තංගම්මා ආපහු ඇතුළට ගියේ කළුවුණ ආකහෙන් වැහි බින්දු ඇඟට වැටෙන්න පටන් ගත්ත හින්දා.

ඉස්සර පයින් එන්නත් බැරි තරමට හේදිලා වලවල් හෑරිලා තිබ්බ පාරට දැං කොන්ක‍්‍රීට් වැටිලා ඒ පාර දිගේ ආව අන්නෙයි කෝදෙයි බස් එක ලැයිම ගාවින් නවත්තලා පාර දිගේ උඩහට ගියා. ඒ එක්කම කෑ ගගහා ආවේ කෝවිලේ දීපවාලී පූජාවට ආධාර එකතු කරන වෑන් එක. ඊළග මාසේ එන දීපවාලී එකට ලොකු පූජාවක් තියන්න ඕනේ, ගිය අවුරුද්දේ පහළ ලැයිමේ රාජමනී තිබ්බ පූජාව වගේ. තමන් තනි කරලා කංකානි රාජු දෙවිියන් ළඟට ගිහිල්ලා මේ අවුරුද්දට අවුරුදු පහළවකුත් වෙනවනේ. චෙක් එක හෙටවත් ආවොත්……?

”අම්මේ අදත් චෙක් එක නැද්ද?

ළඟදි වටගොඩ දාපු ගාමන්ට් එකේ වැඩට යන ශර්ධා ගෙට ගොඩවුණේ එහෙම අහගෙන.

”අයියෝ එනකු තෙරියාද…..?”

”හැමදාම බාලක‍්‍රිෂ්ණන් අහනවා වෙඩිින් එක ගන්නෙ නැද්ද කියලා?”

”අම්මේ….. රොම්බ රොම්බ පසික්කුදු”

ප‍්‍රශාන්ත් කෑ ගහගෙන ගෙට ගොඩ වුණේ ඒ එක්කම

”අම්මේ අම්මගෙ සල්ලි අදත් නෑ නේද?”

”සෙල්ලගෙ තාත්තගෙ නම් ආවලූ ලක්‍ෂ පහළවක් විිතර තියෙනවලූ. හෙට ඌ නම් වීල් එක ගන්න යනවා කිව්වා.”

”වීලූත් ගණන් යන කතාවක් තියෙන්නෙ හන්දියේ වීල් පාක් එකේ දාගත්තා නම් හයර් තමයි, කෝ ඉතින්..?”

”ආ අම්මේ…..”

”මේං මේක ගනේෂ කඩෙන් ලියලා දුන්නා.”
”කඬේ බිලද කොහෙදෝ?”

නඩලමේ ගහලා වරෙල්ලා ගෙදර වියදමට කීයක්වත් දෙන්න එකෙක් නෑ, අවුරුදු ගානක් කරලා කරලා තව ඉවරෙකුත් නෑ වචනවලට නොහැරවුන සිතිවිලි තංගම්මා හිතේම ගුලිකර ගත්තා.

රාති‍්‍රය පුරාම ඇද හැලුණ වර්ෂාව නැවතිලා වගේ, ලැයිමට එහා පැත්තෙන් ගලන් යන ඇල පාරේ ඝෝෂාව ඊයේ ? ඉඳන් වැඩිි වෙලා. තව එක දිගට වැස්සොත් ආයෙම ලැයිම් කාමරවලින් යන්න කියයි. ගිය පාර නාය ගිය ඇල්බියන් වත්තේ ටොප් ඩිවිෂන් එකේ ලැයිම්වලින් අයින් කරපු මිනිස්සු බලන්න කී දෙනෙක් ආවත් තාම ඉන්නෙ කූඩාරම්වල කියලා රාමන් කියපු හැටිි තංගම්මට මතක් වුණා.

”අම්මේ….. අම්මේ…..”
”ආ… මේ උඹනෙ වා වා..”
”මම බැලූවා කවුද මේ වේලාපුවම කියලා”
”අම්මෙ රාජු කිව්වා අම්මගෙ සල්ලි ආවද කියලා බලන් එන්න කියලා, ගේ වැඩ තව ටිකක් තියෙනවා”

උඹලට ඉතිං සල්ලි තමයි මතක නිකංවත් අම්මෙක් ඉන්නවද කියලා මතක නෑ. ලොකු එකාට උගන්වන්න කොයි තරම් දැඟළුවද ගෑණි ගත්ත දවසේ ඉඳලා ඌ මේ පැත්තෙ ආවෙ නෑ, වචන වලට නොහැරවුණ සිතිවිලි තංගම්මා හිතේම තද කර ගත්තා.

”මම යනවා අම්මේ….”
”ඉඳකින්….! මෙහෙම දරුවො මාත් හැදුවනේ”

අවුරුදු ගානකට පස්සෙ ඇවිත් ආ පයින්ම හැරිලා යන ලේලි දිහා තංගම්මා බලං හිටියා.

ලැයිම් පේළිය කෙලවර තියෙන ලොකු ගහ තේ ගහක් කියලා තමන්ට කංකානි රාජු කිව්වෙ කසාද බැඳපු අලූත. තේ ගහ ගානට මිම්මට පඳුරක් වගේ දළු කඩන්න පුලුවන් විදිහට තියෙන්නෙ කප්පාදු කරලා සාත්තු කරන හින්දා, ඒත් තමන් ඒක විශ්වාස නොකරපු හැටි තංගම්මට මතක් වුණා. ඈත පෙනුණු තේවලින් පිරුණු මලයනාඩුව බොඳවෙලා ගියේ ඒ මතකයත් එක්ක.

”තංගම්මෝ…. තංගම්මෝ….”
”එංග ඩා නී..?
”මේං උඹේ චෙක් එක”
”මෙතැන අත්සන් කරපන්… හෙමින් හෙමින් බං”
”කෝ අතත් වෙව්ලනවනෙ….. ඕක ඉරෙයි…..”
” ඕං එහෙනම් උඹගෙ කරදරත් ඉවරයි”

වෙන රාත‍්‍රිවල ලැයින් කාමරේ පුරාම ලැගලා තියෙන සීතල ගෙනෙන්නෙ නිසල බවක්, ඒ නිහඬ බව බිඳිලා අතොරක් නැතිව ගිනියම්ව ගෙවුණ රාත‍්‍රියකට පස්සෙ තංගම්මට බැංකුවට යන්න සිද්ධ වුණේ නඬේසන් ගෙනාව වෑන් එකක ඔක්කොම එක්ක.

ආව ලක්‍ෂ ගානක සල්ලිවලින් තමන්ට ඉතුරු වෙන්නෙ සොච්චමක් විතරයි. ගේ හදලා කීයක් හරි පොතේ දාගෙන මාසෙකට පොළිය ගන්න හිතන් හිටිය හීන අනෙක් හීනත් එක්ක හිත ඇතුළෙම ගුළි කර ගත්ත තංගම්මා සල්ලි ගන්න ලියලා දීපු කොලෙත් එක්ක බැංකුවේ පෝලිමට එකතු වුණා. මොනවා වුණත් ඒ මගෙ දරුවොනේ…. ශර්ධා, ප‍්‍රශාන්ත්, රාජු, නඬේසන් මුන්ව හදන්න තාත්තා නැති වුණ දවසේ ඉඳලා විඳපු දුකක්.

සල්ලි ටික අරන් දරුවන්ට දීපු තංගම්මා බැංකුවෙන් එළියට බැස්සා.

අවුරුදු හතලිස් ගානක් පුරාවට ඇවිිදපු තේ පඳුරු අතර වංගු ගැහුණ පාර දිගේ එද්දි තංගම්මට දැණුනෙ හරි සැහැල්ලුවක්.

හෙට උදේම ආපහු ගිහිං වත්තෙ මහත්තයාට කියලා දවසේ පඩියට වැඩ ඉල්ල ගන්න ඕන. අයින් වෙද්දිත් දවසකට දළු කිලෝ විස්සකට වඩා කඩපු තමන්ට ආපහු වැඩ දේවි කියන එක තංගම්මට විශ්වාසයි. බානුගෙ ලැයිමට අල්ලපු වහලා දාලා තියෙන ලැයිම් කාමරේ ගැනත් ඒ ගමන්ම අහලා බලනවා.
⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
තේ පඳුරු බේර බේර උඩට යද්දි ඇෙඟ් හැප්පෙන මීදුමත් සීතල සුළඟත් තංගම්මට ගෙනාවෙ සතුටක්. රිකිලි දාලා උඩට මතු වෙලා තියෙන තේ දළු තමන් එනකන් බලන් ඉන්නවා වගෙයි. පින්න වැටිලා හැඩ වෙලා තියෙන තේ දළු තව ටික වෙලාවකින් ඉර එළිය වැටුණහම රිදී පාටින් දිලිසේවි. හුරු පුරුදු තේ පඳුරු මැද තංගම්මට දැණුනේ හරි සුරක්‍ෂිත හැගීමක්.

”ආඬ වනේ…. මුරුග පල්ලා!”
”මොකෝ බං මේ තංගම්ම…..?
”මං ලොකු මහත්තයාට කියලා ආවේ”

තමන්ව දැකලා පුදුමෙන් කෑ ගහපු කංකානිට තංගම්මා උත්තර දුන්නා.

”මුරුග සාමි පල්ලා අක්කේ ඇයි බං……?”
”අයියෝ කඩවුලේ…..!
”උඹෙ සල්ලිත් ආවනේ……?
අනිත් පැත්ත හැරුණ තංගම්මා දළු කඩන්න පටන් ගත්තා.
”එන්න සෙයිය….!”

වසන්තයට තව දුරයි… by Surandi Dilrukshi

ළා පාට ඉරඑළිය වළාකුළු අස්සෙන් එබිලා යාන්තමට හිනා වුණා. තවමත් කූඩාරමේ ඉටි කොළය රත් වෙලා නැති නිසා, ඉහිරුණු පිණි බිංදු තවමත් අලස ඉරියව්වෙන් වැතිරිලා බලන් හිටියේ අහස දිහා. සුළං රැුල්ලේ තාලෙට නටන්න හදන ඉටි කොළය අත් ලණුවලින් ගැට ගහලා තිබුණු නිසා නිහඬවම හිටියේ තරහාවෙලා ද මන්දා. කූඩාරම කෑලි කපන තරම් සීතල වුණාට දවල්ට ඉටි උණු වෙන තරම් රස්නෙයි. ඉස්සර ම නම් තල් අතු ටිකක් හරි වියාපු පොල් අතු ටිකක් හරි හෙවිල්ලලා අටවා ගන්න කූඩාරම පුරා දිවා ? දෙකේ ම පුදුම සනීපයක් තිබුණා. ඒත් ඉතිං දැන් කාලේ තල් අතු පොල් අතු කොහෙන් හොයන්න ද? ඒවා හොය හොයා ඉන්නවට වඩා හොඳම දේ කීයක් හරි දීලා ඉටි කොළයක් ගන්න එක. ඒක අකුළලා සිලි බෑග් එකක දා ගත්ත ම ඕන තැනකට ගෙනියන්න පුළුවන්. ඉතිං මොකට ද තල් අතු, පොල් අතු….? ඒත් ඉර ගිනි ගන්න වෙලාවට ඉටි රෙද්දත් නපුරු වෙලා ඉරෙන් උදුර ගත්තු ඉදිකටු තුඩුවලින් ඇඟට අනිනවා. එහෙම වෙලාවට කූඩාරමත් එක්ක හිත අමනාප කරන් ඒකෙන් එළියට බැහැලා ගෙඟ් දිය රැුළි ඉඹලා නැළවි නැළවි එන සුළඟ පොරෝගෙන ගං ඉවුරේ ගහක් යට වැතිරිලා ඇස් පියාන හීන බලනවා. ඒත් ඉතිං ආයේ ?ටත් ගාල් වෙන්න වෙන්නේ කූඩාරමේ ම තමයි. හැබැයි දත කට හිරි වැටෙන සීතලේ….

හෙළුවැල්ලෙන් ගඟට පැනලා ජකිරි බිකිරි ගාන කොලූ කුරුට්ටෝ තාමත් ගං දියේ නින්දට බාධා කරන්න නාවේ උනුත් මේ හීගතුවට ගුලි වෙලා බුදියාන ඉන්න හින්දා. වෙනදාට ඔලොගුව කර ලා ගෙන පරණ ලට්ට ලොට්ට ටිකක් ඒකේ ඔබාගෙන මලයාලම් සාස්තර කියන්න පාරට බහින සිද්දී අම්මා, පාර්වා අම්මා, සෙල්ලී විතරක් නෙමෙයි රිළව් නටවන්ඩ, නයි නටවන්ඩ, අවසර දුන්නොත් සාස්තරයක් කියන්ඩ ලෑස්ති වෙලා මගට බහින තුරු අප්පා, පේරු, සාවන්, සේදු ගේවත් අද එළියට බහින්න සූදානමක් නැති හැඩයි.

කළුගංබඩ ට කූඩාරම් ගහන්න උන්දලා ඇවිදින් දැන් දවස් හතරක්. තව දවස් තුනකින් මෙතැන අතෑරලා වෙන ලැගුම්පොළක් හොයාගෙන යන්න වෙනවා. දින හතරකට වඩා එක තැනක කූඩාරම් ලා ගන්ඩ වරං නැතුවා මිසක නැත්තං මේ ඇවිදින ජීවිත උන්දැලාට එපා වෙලා.

”හපෝ…. ඒ පාර ඔන්න අහිකුණ්ඨක රැුළක් බැහැ වැටිලා. දැං ඉතිං පොල් හනස්සක්වත් පරිස්සම් කරං ඉවරයි” කියලා හුඟක් ගම්වල දොරවල් මූණට ම දඩස් ගාලා වැහෙනවා. ඒත් මුන්දලා අදහන දෙවියන් කියන්නෙත් අනුන්ගේ දේ කඩා වඩා ගන්නෙපා කියලා. විලි වහගන්න ඇඳන් ඉන්න වස්තරේ ඇරුණුකොට රෙදි කෑලි දෙක තුනක්, ආයිත්තමක් ඇර වටිනා කියන යමක් කූඩාරම්වල නෑ. එක අතකට මේ ජීවිතේ මොන තරම් සැහැල්ලූ ද කියලා සෝභාට හිතුණා. මායිම් ගහන්න ඉඩමක්, පරිස්සම් කරන්න ගෙයක්, පොළී වෙන්න තැන්පතු මුදලත් නැති වුණාට ඇහැට පේන තරම් දුර අහසට, කුරුල්ලෙකුට වගේ සැහැල්ලූවකුයි සෝභලාට ඉතිරියි.

කීයක් හරි හොයා ගන්න ඕන නිසා පුංචි කපටිකමක් ඇරෙන්න මිනීමැරුම්, මංකොල්ලකෑම් කරන්න කවදාවත් වරිගෙන් අවසර නෑ. මුහුදු වෙරළක් ළඟපාත කූඩාරම් හදන කොට සෝබලාට වාසියි. උදේ ඉරඑළිය ඇඟ මැළි කඩන මොහොතේ ඉඳලා හවස රැුළි ගසලා අකුල ගන්න මොහොත වෙනතුරු ම වෙරළ පිරෙන්නේ පෙම්වතුන්ගෙන්. එහෙම යුවළක් දැක්ක ම ලස්සනට ගාණක් කපන්න සෙල්ලී, සිද්දී අම්මා හරි දක්ෂයි. එතන පළපුරුදු අය නම් ළඟට එන්නත් කලියෙන් අත වනලා සාස්තර එපා කියනවා. ඒ නිසා යන්න ඕන කෝඩු පාට සමනල ජෝඩු ගාවට කියන එක සෝභලා හොඳින් ම දන්නවා. කොණ්ඩෙට නානාප‍්‍රකාර මෝස්තර නොකර කොටට ම කපලා ඉන්න, බාටා සෙරෙප්පු වෙනුවට සපත්තු දාලා, පිරිසිදුවට, පිළිවෙළට අඳින පළඳින, ඩිංගක් විතර නපුරු පාට කෙනෙක් නම් ඒ ආරක්‍ෂක අංශයට සම්බන්ධ කෙනෙක් කියලා දැන ගන්නේ එක ම එක ඇස් බැල්මකින්.

ඒ වගේ අය එන්නේ මාස ගාණකට සැරයක් නිසා ඒ පුංචි සමනලියෝ කියන දේ අහන්න ඒ සමනල්ලූ කැමතියි. ඉල්ලන දේ අරන් දෙන්නේ, කියන කියන දේ කරන්නේ ඒ ගත කරන පුංචි නිවාඩුවේ දී තමුංගේ සමනලී එක්ක සතුටින් ඉන්න. මාස ගණනාවක් දුරකථන කම්බි දිගේ එහෙට මෙහෙට ගලන ආදරය ඉඳලා හිටලා අත්දකිද්දී ඒ තියෙන හුරතලයයි, ආදරයයි නිසා සමනලී හිතන්නේ සමනලයා ඉන්නේ තමුන්ගේ ආණ්ඩු මට්ටුවේ කියලා. ඒ වගේ අයට කියන්නේ පොදු සාස්තරයක්.

”මාත්තියා…. සාස්තර ආනවද?”
”එපා…. එපා….”

මහත්තයා කෙළින් ම ප‍්‍රතික්ෂේප කරනවා. ඒත් නෝනා නිහඬයි. ඒ වෙලාවට තමා පුංචි ගැල විජ්ජාවක් කරන්නේ.

”මාත්තියා ෂල්ලි යෙපා. නිකං අත පෙන්නන්න. සාස්තරේ ෂරි නං විතරක් ෂල්ලි දෙන්න කීයක් අරි ෂන්තෝසමට. මාත්තියා දිවා ? නොබලන රස්සාවක් තමා කරන්නේ. මූණ ෂැර පාට වූණාට මොකද හිත නං රත්තරං ටිකට හොඳා තමා. නෝනා සීදේවි වුණාට පිරිමි නැකතේ. දෙන්නට ළග දී ලොකු ම ලොකු වාසනා චක්කරයක් තමා කැරකෙන්න තියෙන්නේ.

මේ ටික කිව්ව ම ඇති නෝනාට මහත්තයාගේ අත කොනිත්තන්න. මනෝවිද්‍යාත්මක ආචාර්ය උපාධිය නොගත්තට කරන්න ඕන මොකක්ද කියලා සෝභලා දන්නවා. මහත්තයාගේ හිත නැමුණා හිත හොඳයි කිව්ව පාරට. නෝනාගේ හිත නැමුණා සීදේවීට කිව්ව පාරට. ඔය වගේ ජෝඩු හත අටක් දවසට නමා ගත්තම ඇති දවසේ වියදමට.

සෝභා කූඩාරමේ ඇලවිලා ඉන්න ගමන් කල්පනා කරේ ඒවා තමයි. ඇස් අරිනකොට හැමදාමත් පේන කළු පාට කූඩාරම් රෙද්ද අද පෙනුණේ රත්තරං පාටට. ගෝපි නං දැං අවදි වෙලා ගං ඉවුර දිගේ ඇවිදිනවා ඇති. උදේ පිණි බිංදු පාග පාග ඇවිදින කොට ඇඟට හරි සනීපයි කියලා ඉඳලා හිටලා සෝභාගේ කණට කිට්ටු කරලා කියන ගෝපි මනමාල හිනාවක් පානවා. ඒ වෙලාවට ලාවට රතු පාට වෙන මූණ අහකට හරවා ගන්න සෝභාත් යාන්තමට හිනා වෙනවා.

අදින් පස්සේ සෝභා ගාඬි බිළින්දියෙක් වාගේ රැුහේ උන්නු කාලේ අහවරයි. හෙට උදේට තමුං අවදි වෙන්නේ ගෝපිගේ බිරිඳ විදියට කියලා මතක් වෙද්දි හීන් ලැජ්ජාවක් හිරියකුත් එක්කලා ඇෙඟ් විහිදුණා.

”සෝභා…. අවදි වෙයං….”

මහ ගාඬි ආගයා බිරුසන් දීපු සද්දෙට සෝභා දිඩිස් ගාලා නැගිට්ටා. ඇඳන් ඉඳපු ඇඳුම් පිටින් ම කළු ගං දියේ එබෙන්න ගියේ කූඩාරම මැද්දේ ඉඳපු රැුයේ උන් දිහා නොබලමයි. මේ මහ උදේ සීතල ගං දියත් ඈට දැනුණේ උණුවට. වෙනදාට වඩා හුඟක් ලස්සනට ගලා ගෙන යන දිය රැුළිවල තට්ටු පිට තට්ටු ඇහිරෙන ඉරඑළිය පෙනුණේ මංගල සාටකයක් වගේ. සෝභා හුඟ වෙලාවක් දියේ එබි එබී නෑවා.

ගෝපි හිටියේ කූඩාරමට පේන නොපෙනෙ දුරින් ඉන්න ගාඬි බිළින්දි ගැන හීන දාහක් පුරෝ ගෙන. පෙම් බස් මුමුණපු සැහැල්ලූ ජීවිතයට වඩා වෙනස් ම රසයක් විදින්න හදන ඇස් දිළිසෙමින් තිබුණා. කූඩාරම මැද්දේ තිබ්බ එළිමහන් බිමේ බත්, කිරි, බුලත් ආදිය හරි පිළිවෙළකට අඩුක් කරලා තිබ්බා. මහ ගාඬි ආගයගෙන් පස්සේ රැුහේ නායක වරම ගෝපිට හිමියි. ඒ නිසා ගෝපිගේ මංගල දිනය රැුහේ රෙගුලාසි කියන්න හොඳ ම දවස විදිහට මහ ගාඬි ආගයා තීරණය කරලා තිබ්බා. දැන් දැන් රැුහේ එවුන් එව්වයින් පිට පනිනවා කියලා උන්දැට දැනිලද මන්දා. බුලත් හප විසි වෙවී දොඩවන රැුහේ රෙගුලාසිවලට වඩා ගෝපිගේ හිත ගිහින් තිබ්බේ දැන් දැන් සබට එන මනමාලි ගැන. වෙනදා හෙලූවැල්ලෙන් දුවන කොලූ කුරුට්ටෝ පවා මොකක් හරි කඩමාල්ලක් පටලගෙන කොනකට වෙලා හිටියා. තව එකෙක් කොහෙන්දෝ අහුල ගත්තු කළු කණ්ණාඩි දෙකකුත් දාගෙන හිටියේ. වෙනදා නං තරුණියක් සහේට ගන්නවා කියන්නේ ඒ කුඩාරමෙන් මේ කූඩාරමට ඇවිදින් පදිංචිවීම විතරයි. ඒත් මේක මංගල්ලයක්ලූ නේ. ඒකයි මුළු රැුහැ ම මෙතන උන්නේ වෙන්නේ මොකක්ද කියලා බලන්න.

සෝභාගේ කොණ්ඬේ තිබ්බ අවුල් කඩලා තනි කරලට ගෙතුවේ මහ ගාඬි ආගී. සෙල්ලී ඊයේ කළුතර බෝධියට පූජා කරන්න කියලා විකුණන්න තියා ගෙන ඉන්න පිච්ච වට්ටියක් අරන් ඇවිදින් ගොතපු මල් මාලේ දෙකට තුනට නවලා කොණ්ඬේ ගැහුවා. මහ ගාඬි ආගී නළලේ තිබ්බ තිලකේ නිසා සෝභා වඩාත් සෝභමාන විදියට පෙනුණා. දිළිසෙන අලූත් සුවඳ හමන ඇඳුම් නිසා සෝභා හිටියේ පුදුම තරම් ලැජ්ජාවකින්. සෝභාගේ අම්මා සුරුස් ගාලා හොටු සීරාවක් උඩට ඇද්දා. මහ ඇත්ති ඔහොම ඇඬුවට ගණන් නොගත්ත සෝභාට ඕන වුණේ මේක ඉක්මනට ඉවර වෙලා ගෝපි ළඟට යන්න.

මහ ගාඬි ආගියි, මහ ඇත්තියි මැද්දට වෙලා ආපු සෝභා මූණ උස්සලාවත් බැලූවේ නෑ. සෝභාට දැනුණේ කම්මුල්වලින් ගිනි පුපුරු පිටවෙනවා වගේ හැඟීමක්. ගල්කිස්ස මහ හෝටලේ තිබ්බ මංගල්ලයක් නොවුණට සතුටක් සැහැල්ලූවක් ඉහිරිලා ගියපු සරල මංගල්ලෙන් හැමෝගෙ ම සිත් සැනසිලා තිබ්බේ. හැමෝම මැද්දෙන් වාඩිවෙලා ගෝපියි සෝභයි විවාහ චාරිත‍්‍ර කරා. හදලා තිබ්බ කෑම කෑවා. කට්ටියම ඉන් පස්සේ විසිරුණා. මගුල එච්චරයි.

ගෝපිට උවමනා වුණා මේ මධු මලත් එක්ක ඉක්මනටම ජීවිතේ පටන් ගන්න. ඒත් තාමත් මහ ගාඬි ආගයා එළිමහනට වෙලා කොලූ කුරුට්ටෝ වටකර ගෙන අතීතය ගොඩ ගන්නවා. ගෝපිටවත් සෝභටවත් දැන් නං කිසිම අවධානයක් නැති ගානයි.

ගෝපි හෙමින් හෙමින් සෝභාගේ අතින් අල්ලා ගෙන කූඩාරම් පැත්තට ගියා. ඒත් ඒ හැම කූඩාරමක් ළග ම කවුරු ම හරි වාඩි වෙලා හිටියා. එක පාරටම කොහොම ද අලූතින් කූඩාරමක් අටවන්නේ අනික් අය බලා ඉද්දී. උන්දැලා මොකෝ නොදන්නවයැ ඒකට හේතුව මොකක්ද කියලා. ඒ නිසා තාමත් සෝභාගේ ඇස්වල තියෙන ආරාධනාවට ප‍්‍රතිචාර දක්වන්න ගෝපිට බෑ.

”අපි යමු ගං ඉවුරට….”

ගෝපි හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ අනිත් අයගේ අවධානයට ලක් නොවෙන විදියට. සෝභාත් හෙමින් ගෝපිගේ පස්සේ වැටුණා. සුළඟත් එක්ක දීග ආපු පොකුරු දාස් ඇටයකින් පැළ වුණු මල් පඳුරක අගිහේ තිබ්බ පොකුරු දාස් මල ගෝපි කඩාගත්තේ සෝභාට දෙන්න.

උදේ ගඟට පැනලා නටන රස්සාව මගෑරුණු කොලූ කුරුට්ටෝ දැන් වැඩ පටන් අරං. දෙන්න ම ගං ඉවුරේ තිබ්බ ගලක් උඩ වාඩි වුණේ කරන්න දෙයක් නැති නිසා. එහෙව්කොට කොහොමද දාස් මලක සුවඳ බලන්නේ?

”කමක් නෑ. ඉක්මනට ම ? වෙයි නේ.”

ගෝපි කිව්වේ සුළඟට නටන කෙහෙරැුල්ලක් ඇගේ කණ පිටු පස්සෙන් රඳවන ගමන්. අනේ මේ ජම්බු මල දෝතට ම ඇවිදින් තිබුණට…. ගෝපි හූල්ලලා මූදේ ගිලෙන්න යන හිරු බෝලය දිහා බැලූවා.

”එතකොට අපි යමු කූඩාරමට”

”ඒත් ඔක්කොම ඉන්නවා අද. ලැජ්ජයි මට. මහ ගාඬි ආගයා අද සන්තෝසෙට කියලා ගිනි ගොඩක් ගහනවා කියව්වා. එතකොට අපි….?”

”මං දන්නේ නෑ. මගෙන් මුකුත් අහන්නෙපා.”

සෝභා සීතල අතින් ගෝපිගේ අත අල්ලා ගත්තා. දෙන්නම ඇහිපිය නොහෙලා බලා හිටියේ අනන්තය දිහා. ඉරඑළිය රැුස් අකුල ගෙන පල්ලම් බහිද්දී ගෝපිගේ ඇස් දිළිසුණා. තමන්ගේ ඇස් ඉස්සරහා පිපිලා බබලන ? කුමාරි මලේ සුවඳ තවත් තදින් දැනුණා.

”සෝභා…. මේ කළුවරට ඇස් ඇරලා බලන්න. මේ තියෙන්නේ කට්ට කරුවල වුණත් ඇහැ පුරුදු වුණාම පෙනෙයි මාව ඔයාට.”
”ඇස් අරින්න ඕන නෑ. මට ඇස් පියා ගත්තත් පේන්නේ ඔයා”

කළුවර පළාගෙන ආපු හීන් හඬින් ගෝපිගේ හිත උණුසුම් වුණා.

”ඉතිං….”
”ඔයාට පේනවද අර…. ඉර බැහැලා හඳ පාය ගෙන එන්නේ. ඒක පිරිච්ච හඳක්. ඉරට වඩා වෙනසක් නෑ. අපි ව රැුහැට පේනවා.”

ගෝපි හිස ගස්සලා බැලූවා. සෝභා කියන්නේ ඇත්ත. මුළු රැුහැට ම තමා ව පේනවා දවාලටත් වඩා හොඳින්. අනේ මේ හූල්ලන හුස්ම කුණාටුවක් වගේ ඇවිදින් මොහොතකටවත් අනික් අයගේ ඇහිපිය වහ ගන්නවා නං.

”අපි යමු.”
”කොහේ ද?”

හඳ එළියෙන් කිරි සළුවක් ඇඳගෙන ඉදපු කළුතර බෝධිය දිහා බලලා ගෝපි පුංචි ප‍්‍රාර්ථනාවක් කරා. හඳ එළිය වැතිරිලා බබලන පුංචි අඩි පාර දිගේ කූඩාරම් තියෙන ඉසව්ව පහු කරගෙන ආවා. අද පසළොස්වක පෝය දවස. පාර දිගට ම ලයිට් දාලා. පාර පුරා ම බෝධිය වඳින්න යන සෙනඟ. සෝභා අසරණකමින් පිරුණු මූණ ගෝපි දිහාට හැරෙව්වා. කවදාවත් නැති තරමට කළුවර අද පැරදිලා. වෙනදාට වෛර කරන කළුවර බිංදුවක් හරි අහුල ගන්න තියේ නං කියලා ගෝපිට හිතුණා.

මල්, තෙල්, හඳුන්කූරු සුවඳ කලවම් වුණු බැතිබර සුවඳක් මුළු පාර පුරා ම රස්තියාදුවේ ගියා. හඳ එළිය අනුකම්පාවෙන් වගේ හිනා වූණේ ‘අනේ මට කරන්න දෙයක් නෑ’ කියන්න වගේ. වාහනවල එළියටයි, හඳ එළියටයි, වීදි පහන් එළියටයි සැරින් සැරේ වෙනස් වන සෝභාගේ හඳ මුහුණ දිහා ගෝපි බලාගෙන හිටියා. ටික වේලාවක් අනිමිස ලෝචනයෙන් ඉඳපු ගෝපි අනිත් පැත්ත හැරිලා පිච් මල් වට්ටියක් මිලට ගත්තා. අද උදේ සෝභාගේ කොණ්ඬේ ගහපු පිච්ච මල් තාමත් අවදියෙන් ඉන්න උත්සාහ කරා.

පාර පුරා අනන්තවත් අය පන්සල් යනවා. ගෝපි ගිහිං ඒ එක්කෙනෙක් අතට මල් වට්ටිය දුන්නා.
”පූජා කරන්ට මාත්තියා. අපිට මළුවට එන්න වරං නැතුවා.”

ඒ සිරීපාදේ යන්න ආපු සමනල ජෝඩුවක්. මල් වට්ටිය ඒ දෙන්න අතට දීලා ගෝපි ආපිට ඇවිදින් සෝභාගේ අතින් අල්ලා ගත්තා.

”අපි යමු.”
”කොහේද?”
”කොහේ හරි අපිට කියලා තෙනක් ඇති සෝභා. එතැන්ට යමු අපි. කවදා හරි අපිට හම්බු වේවි එතැන.”
සෝභා ප‍්‍රශ්න හුඟක් ඇහුවේ නෑ. තද සීතල නිසා කරේ දා ගෙන ඉඳපු වේල්පට අරන් ඉහට දාගෙන ගෝපිගේ අතේ එල්ලූණා.

ඇස්වලින්, හද එළියෙන්, වීදි පහන් එළියෙන් වෙන් වෙලා තමුන්ට හිමි තැන හමු වෙන තුරු ඈතට ඈතට ඇවිද ගෙන යන තරුණ යුවල දිහා සමනල ජෝඩුව ගල් ගිලලා වගේ මොහොතක් බලාගෙන ඉඳලා, ආපිට හැරිලා පන්සල් මිදුලට ඇතුළු වුණා. සමනල ජෝඩුව මළුවටත්, සළබයන් ජෝඩුව නොදන්නා අනන්තයකටත් ඇවිද ගෙන යන හැටි බෝ සමිඳුන් උපේක්‍ෂා සහගත විදියට බලාගෙන හිටියා.

හිමව් අරණේ කඳුළු බිංදුව by Gayashika Kumudumali

වෙනදා මෙන් අදත් එලාම් ඔරලෝසුව නාද විය. ඇස්දෙක ඉතා අමාරුවෙන් විවර කරගත් නිමල්ට අවට පෙනුණේ අමුතු වෙනසකි. කිසිදා ගතට හා සිතට නොදැනුණ මූසල හැඟීමකි.

කාල වර්ණ මේඝ වලාවන් දසත පැතිරී තිබේ. සූර්යයාගේ ඝන රශ්මි ධාරාව නියඳගල අවට පැතිරුණේ නැත. දින කිහිපයක් තිස්සේ ඇදහැලූණු වර්ෂාව වැව් අමුණු ඉතිරීයාමට තරම් කුරිරු වී තිබූ බව නිමල්ට දැනගන්නට ලැබුණේ ගුවන් විදුලි ප‍්‍රවෘත්ති විකාශයෙනි.

‘‘නැගිටින්න පුතා වැඩට යන්න.’’

අලසකමේ තේජස රජදහන කරගත් නිමල්ට මවගේ කටහඬ ඇසුණේ නැත. තම පෙරෝනයෙන් මුළු ඇඟම වසා ගත්තේ සුරතල් කිරිකැටියෙකු මවගේ උණුසුමට ගුලි වන්නාක් මෙනි.

හිටිහැටියේම බෙල් එකේ දෙවන නාදය යටපත් කරමින් අතිභයංකාර විශාල හඬක් ඇසුණි. නිමල් බිමට පැන්නේ ය. ඔහුව බිමට වැටුණා යැයි කීවොත් වඩාත් නිවැරදි ය. අම්මා ඇස් ලොකුකර එදෙස බලා සිටී.

”මොකක් ද පුතේ ඒ?”

නිමල් අම්මා ඇසූ පැනයට පිළිතුරු නොදී එළියට ගොස් වටපිට බැලූවේය. හාගල කඳුවැටියම වෙනදා නිලට නිලේ බබලද්දී අද ධුම ජාලාවකින් වැසී ඇත. ඒත් සමඟම ගම්වැසියන්ගේ බිය මුසු වූ හඬක් ද පරිසරයට එක් විය. මහා ගාලගෝට්ටියක දසුනක් ඒ මොහොතේ නිමල්ගේ මනසේ සනිටුහන් විය. ලොකු කුඩා සියලූදෙනා සිව්දෙස අරක්ගෙන ඇති ඛේදවාචකය සමඟ එකට එක්වී සිටිති.

අම්මා දිව්වේ, ”අපේ හාමුදුරුවො, අපේ හාමුදුරුවො” කියමිනි. අම්මාගේ මුවින් පමණක් නොවේ තවත් ගැහැණුන් කිහිප දෙදෙනෙකුගේ මුවින් පිටවුණේ එම වචන ටික පමණි.

නිමල්ට මඟදී හමු වී පියදාස මාමා දුවන ගමන් ම කීවේ ”ගිය සතියෙ අපේ දානෙ මතක් කළාම කොහොම හරි පහළොස්වෙනිදට වඩිනවා කිව්වා පුතේ” කියා ය.

නිමේෂ කිහිපයකට පසු කඳු පාමුල සමීපයට පියවර කිහිපයක් මෙහායින් නිමල් පසුකර පොලිස් ජීප් රථයක් ඇදෙන්නට විය. ඒ මොහොතේ පොලිස් නිලධාරියාගේ මෙගාෆෝනය කි‍්‍රයාත්මක වී ජනතාව දැනුවත් කරන්නට විය.

පොලීසිය පනවන ලද සීමාවට ගිය නිමල්ට හදවත පසාරු කරගෙන දෙසවනට මුසු වූයේ ගම්වැසියන්ගේ වැළපිලි හා සුසුම් හඬය. ගල් සමඟ පස්කුට්ටි ඒ වනවිටත් ජලය සමග මිශ‍්‍ර වී පහළට රූරා වැටෙමින් තිබුණි. කුටි හතරකින් සමන්විත වූ සේනාසන ඉසව්ව තිබු තැනක්වත් මේ වනවිට සොයාගැනීමට නොහැකි විය. පැය භාගයක් යන්නට පෙර පැමිණි හමුදා භටයෝ මුළු සිරුරම වැසෙන සේ කබා පැළඳ ගෙන අතුරුදහන් වූ පිරිස් සෙවීමේ කටයුතුවල නිරත වූහ.

එහි වැඩවිසුවේ එක් හිමිනමකි. උන්වහන්සේ කොළඹ සරසවියේ උපාධිය ලබා සිටි බවද අසන්නට ලැබිණ. කොළඹ සරසවියෙන් තම ජීවිතයට ආභරණයක් වූ උපාධිය ලබාගෙන තිබෙන බව අවටින් ඇසුණු කතාබහෙන් දැන ගන්නට ලැබුණි. අදට අවුරුදු පහකට පමණ ඉස්සර හාමුදුරුවො සේනාසනයට වැඩම කරල තිබෙන්නෙ.

ජීවිතයේ කෙතරම් කටුක අත්දැකීමක් වුණත් මඟහරවා ගැනීමට නොහැකි නම් යා යුතු හොඳම මඟ නිවනයි. නිවන් මඟට සමීප වීමට තරුණ හදවතකට කොයිතරම් අමාරුයි ද? දෙමාපිය සහෝදර සහෝදරියන් ගැන කිසිම හෝඩුවාවක් දැන ගන්නට නොහැකි විය. එහෙත් තනි නොවූ ස්වාමීන් වහන්සේ ගම්වැසි සියලූදෙනාටම ”අපේ හාමුදුරුවෝ” විය. උන්වහන්සේගේ සිල්වත්කමේ කිසිම සැකයක් ගම්වැසියන්ට තිබුණේ නැත. උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින දිනයන් ගම්වැසියන් දැන සිටියහ. දුෂ්කර වූ අඩිපාරේ පිණ්ඩපාතය ලබාගැනීමට හැකිවිම උන්වහන්සේ ලැබූ භාග්‍යයකි. ඒ නිසාම වැඩි කැමැත්තක් දැක්වූයේ පිණ්ඩපාත දානය වැළඳීමටයි.

මළගෙදරකදී ශෝකී හදවත් සැනසුවේ ලොව සියලූ දේ නිත්‍ය නොවන බව පසක් කරමිනි. කුඩා දරුවන්ට හොඳින් ඉගෙන ගෙන සමාජයට සේවයක් කරන ලෙස අවවාද කළේ පියෙකු මෙනි. නිමල් ද හිතට කරදරයක්, සෝ තැවුලක් දැනුණ විගස හැමවිටම උන්වහන්සේ සොයා ගියේය. මුලින් ම රැුකියාවට යන දිනයේ පවා උන්වහන්සේගේ ආශීර්වාදය ලබාගැනීමට ගිය දිනය නිමල්ට සිහිවිය. තාත්තාගේ අකල් මරණයෙන් සිත් තැවුලට පත් නිමල්ටත්, නිමල්ගේ මවටත් සැනසිලි වදන් පැවසුවේ බුදු දහම හා මුසපත් වෙමිනි.

”අනේ බලහං අක්කේ, ගිය සතියෙ පිණ්ඩපාතෙ වඩිද්දී හාමුදුරුවො අපේ ගෙදරටත් වැඩියා.”
”පොඩි එකාට සහලෝලෙට උණ නිසා උන්වහන්සේගෙ පිරිත් බලෙන් උණ කොහෙන් ගියාද මන්දා”
”සිරියාවතී නංගිට කියන්න, උන්වහන්සේට වෙලාවක්, අවේලාවක් නෑ කාට වුණත් උපකාර කරන්න.”
”අපේ පොඩි එකාගෙ ශිෂ්‍යත්ව පූජාවත් කරේ දේව හාස්කමක් වගේ. ඒ පූජාව කරත් හරි අපේ එකා ලොකු ඉස්කෝලෙකට ගියානෙ බං.”

ගැමියන්ගේ මතකයේ රැුඳුණු ඒ හොඳ ගුණධර්ම නිසාදෝ හැම දෙනාටම වාවගන්න බැරි වේදනාවක් මේ ව්‍යසනයෙන් ඇති විය. භූගර්භ විද්‍යාඥයින්ගේ මතය වූයේ කඩා හැලූණු පස් අඩි විසිපහක් (25* පමණ ඝණකමට ඇති බවයි. සවස හතර පමණ වනතුරු බැකෝ මැෂින් එකක ආධාරයෙන් කුටි තිබූ පෙදෙස පාදාගත්ත ද සෙවූ වටිනා දේ තවදුරටත් සැඟවී ඇත. සෘධි බලයකින් හිමිනම කොහේ හෝ දෙසකට වඩින්න ඇත් ද? තවම හිමවූ අරණේ භාවනායෝගීව මේ කලබගෑනිය නොදැන උන්වහන්සේ භාවනාවකට සමවැදී ඇත් ද?

සිදුවූයේ කිසිවෙක් නොසිතූ අරුමයකි. අවටින් ඇසුණේ මුළු පරිසරයම දෙදරුම් කෑ මහත් විලාපයකි. වයසක කාන්තාවක් හා මැදිවියේ පසු වූ කාන්තාවක් ගල්මුල්වල හැපී වර්ෂාව ද මඟහරිමින් සේනාසනය වෙත පියමනින්නට විය.

”අනේ මේ වුණේ උහුලන්න පුළුවන් අපරාධයක් ද? සතර වරිගෙම නිවන් දකින්න පුළුවන් වෙයි කියලා නේ ද ඔබ වහන්සේ මේ තරම් දුර ආවේ”.

වයසක කාන්තාව නොනවත්වා තම වේදනාව පිටකරන්නට විය. ඇය සමඟ සිටි අනෙක් කෙනා හාමුදුරුවන්ගේ සහෝදරියකි. ඇය පැවසුවේ හාමුදුරුවන් අවුරුදු හයේ දී පමණ මහණ වී හොඳින් ඉගෙන ගෙන සරසවියෙන් උපාධිය ද ගැනීමෙන් පසු භාවනා කිරීමට ආරණ්‍යගත වූ බවයි.

නිවන අරමුණට යන මිහිකත මනුෂ්‍යයාට අනිත්‍යතාව කියා දීමට තෝරාගත් සුදුසු ම ආකාරය සොබාදම් මාතාව මෙලෙස තෝරා ගත්තේ ඇයි දැයි හැමදාටම නොවිසඳෙන ගැටලූවකි. හඬමින් සිටි කාන්තාවගේ හඬ හිටි හැටියේ ම නැවතිණ.

රැුස්ව සිටි සියලූ දෙනාගේ දෑස් ඇය දෙසට යොමු වූ අතර සියලූදෙනා ඒ දෙසට ඇදෙන්නට වූහ.

අනතුරුව සෙනඟ අතරින් ඉඩ ලබමින් කිහිපදෙනෙකුගේ දෑත් මතින් ගිලන් රථයකට ඇතුළු කරන වයසක කාන්තාව නිමල් දුටුවේය.

පිරිමි ගැටය by Prabhani Sachintha Manthreerathna

මොන වදයක් ද? මොකක්ද මේ පිස්සුව කියල මේනකා ? එළි වෙනකල් කල්පනා කළා. ඊයෙ ? විතරක් නෙවෙයි, ගොඩක් දවසට එහෙමයි. ආදරේ කියන්නෙ මෙච්චරම හිර බන්ධනයක් ද?

ඊයේ ?ත් කියන්නෙ නැතිව කෑම කෑව කියල එයා මේනකාට හොඳටම දොස් කිව්වා. මේනකා හිටියෙ ඒකට නෙසෑහෙන්ට හිත රිදිල. ඒක හිත රිදිල්ලකට වඩා අමුතුම වේදනාවක්. හරියට පපුවෙ මහාමේරු පර්වතය හිරවෙලා පෙනහලූ ගල් වෙලා වගේ. අත දාලා පපුව හාරලා ඒ පර්වතය එළියට ඇදල දාන්න තියෙනවා නම්…… ඉස්කෝලෙ යන කොට බාලදක්ෂවලට මේනකා ඉගෙන ගත්තා එක සමාන මහතින් යුත් ලණු දෙකක් එක් කරන ‘පිරිමි ගැටය’. පේ‍්‍රමය නම් රැුහැන මේනකා සහ ඒ යකා අටේ ඉලක්කමේ හැඩයෙන් යුත් ගැටයෙන් යා කරල ඉවරයි. පිරිමි ගැටේට මේනකා තද වෙලා හිර වෙලා ඇඹරිලා හුස්ම ගන්න බැරිව පීඩා විඳිනව දැක්කම මේ කෙල්ලට පිස්සු හැදෙයි ද කියලත් හිතෙනවා….. එක අතකට පව් නෑ. මේ මෝඩ කෙල්ලට ඇයි වෙන අතක් බලාගන්න බැරි? ඇයි මේ වගේ විඳවන්නෙ? ආසාවට ද? පිස්සු, කෙල්ලො හරි මෝඩයි. හිතන්නෙ හිත ගිය තැන මාලිගාව කියලා. මේක හරියට තිත්ත බෙහෙත් බිබී ඉන්නව වගේ වැඩක්.

අම්මා නං කියන්නෙ අපි සංසාරෙ එකතු කරපු සංස්කාර ධර්මයන්ගේ ආනුභාවෙ හැටියට තමා අපේ කසාද මනුස්සය උනත් හම්බෙන්නෙ කියලයි. පෙරේදා රේඩියෝ එකේ හාමුදුරුවෝ කිව්වෙත් ඒ ගැනම තමා. ඒ නිසා උදේ හවා නොවරදවා පන්සිල් ගනිද්දි මොනවා පැතුවත්, ගිය ආත්මෙ එකතු කරපු සංස්කාර ධර්ම වෙනස් වෙයිද කියලත් සැකයි. මේනකා රොහාන්ට කැමති වුනෙත් ගිවිසුමකට බැඳිලා.
”වෙන පිරිමි ළමයි එක්ක කතා කරන්න බෑ” පළවෙනි වගන්ති ය.
”නිතර ගෙදර දුවන්ඩ බෑ”
‘‘? වෙනකං ප‍්‍රැක්ටිස් බෑ”
”කපල් ඩාන්ස්වලට යන්ඩ බෑ” ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් මේනකා රට රටවල නැටුම් තරගවලින් දිනපු හරි දක්‍ෂ නැටුම් ශිල්පිනියක් අපරාදෙ…….
එපා! නෑ! බෑ! පිස්සුද? රොහාන්ගෙ පේ‍්‍රම ශබ්දකෝෂෙ වැඩි තැනක් තියන වචන ටික.
”ඇයි ඒ එපා කියන්නෙ?” මේනකා ඇහුව.
”ඇයි ? මං කැමති නැති නිසා, ඔයා මගෙ ගර්ල්ෆ්‍රෙන්ඞ් නං මට කැමති විදිහට ඉන්ඩ ඕන”
”ඒක මාර වැඩක්නෙ. ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඞ් කියල ඔයාට ඕන දේවල් විතරක් කරන්ඩ ඕන කියල නීතියක් නෑනෙ. මං ඩාන්සිං නවත්තන්නෙ නෑ.”
”එකට එක කියන්ඩත් එනවද?’’ රොහාන්ගෙ දත් ඇඳි පූට්ටු වුනාම දත් අතරින් පතර තියන හිඩැස් වලින් ඒ වචන ටික රිංගල එළියට එනකොට රොහාන්ගෙ ගිලූණු ඇසුත් දොඹගෙඩි දෙකක් වගේ ඇස් කුහරෙන් එළියට ආවා. හරි හතරැුස් නාස් පුඩුත් දෙකෙළවරින් වක් වෙලා පිම්බුණා. හරියට පෙතිපාං පෙත්තක් හරි මැදින් අල්ලලා මිරිකුවාම එන හැඬේ වගේ, හරියටම කියනවා නම් ඒ නහය ගරා යකාගෙ නහය මතක් කරනව. එයාගෙ කඩවසම්, ටිකක් විතර සරාගී දෙතොලටයි එච්චරම ඝණට වැවිල නැති ඇස් බැමිවලටයි ඒ නහය ගැලපුනේම නෑ.

තුන් වේල හරියට නොකෑවත්, ෆේස්බුක් එකට ලොග් නොවුනත් නැටුම් පුහුණුවීම් නම් එයා කවදාවත් මග ඇරියෙ නෑ. කොටින්ම කියනව නම්, එයාව හදපු වඩපු අම්මාවත් අප්පච්චිවත් නැටුම් නතර කරන්න කියල තහංචි දැම්මෙ නෑ. මේනකා රොහාන්ගෙ මේ නීතිය ගැන ගොඩක්ම කලකිරිල හිටියෙ. එයාගෙ ස්මාර්ට් ෆෝන් එකේ ගැලරියෙ සේව් කරල තියන, පිරිමි ගැටයෙන් යා කරපු කඹ දෙක ඒ පිරිමි ගැටේ වගේම එකට වෙලිල ඇලවිල ඉන්න පින්තූරය දිහා කිසිම හැඟීමකින් තොරව එයා බලාගෙන හිටිය. එයාගෙ හදවත හරියට ලූණු නැති කිරිහොදි හැලියක් වගේ හැඟීම් විරහිතව එහෙට්ට මෙහෙට්ට කැලති කැලති තිබුණා. රොහාන් ඒ පින්තූරෙ තමා එයාගෙ එෆ්බී ප්‍රොෆයිල් පික් එකට දාගෙන තිබුණෙ.
”ඔවාගෙ කට ඇදයිනෙ හිනාවෙනකොට. බලනවකො කැත. මං ඒක එඩිට් කරල වෙන කටක් දැම්මා. කොහොමද කොල්ලගෙ වැඩ….. (හිනා මුහුණු තුනක්*’’
මේ සෙල්ෆිය ගත්ත දවසෙ ? රොහාන් මේනකාට මැසේජ් කරල කිව්වෙ එහෙම.
”මං ඔයාට ආදරෙයි මේනු. ඔයාව කාටවත් අයිතිවෙන්න දෙන්නෙ නෑ මං. මං ගොඩක්ම ආස ඔයාගෙ ඔය ලස්සන හිනාවටයි තද රතු, මටසිළිටු චුට්ටි තොල්වලටයි…… මාව අල්ලගත්තෙ ඔයාගෙ ඔය ලා දුඹුරුපාට වටකුරු ඇස්….. මං හරි ආසයි ඔයා කතා කරනකොට ඔය දිග ඇස්පිහාටු ගැස්සෙන දිහා බලාගෙන ඉන්න……. ඩාන්සිං කරල හැඩවෙලා තියෙන ඔය ඉඟ වටේ අත දාගෙන යන්න මං කොච්චර කාලයක් බලාගෙන හිටියද කෙල්ලෙ…..”

යාලූ වුණ මුල් කාලෙ රොහාන් එවපු මේ වගේ මැසේජ් මේනකාට මතක් වුණා. ටෙලිවිෂන් එකේ මෙගා නාට්‍යවල වගේ ඒ වටකුරු ලා දුඹුරුපාට ඇස් රතු වුණේ නෑ. බාගෙට හිඳුනු දිය ඇල්ලකින් වගේ කඳුලූ ?රා වැටුනෙත් නෑ.

ඒත් අර මහාමේරු පර්වතය ආයෙත් පපුව ඇතුලට වැදිල පෙනහලූ තද කරන්න පටන්ගත්ත. මේනකාගෙ හක්කෙ දත් ඉබේටම පුට්ටු වුණා. මොකක්දෝ මහ අමුතු බරක්, සමහරවිට අර මහාමේරු පර්වතයේ බර ද කොහෙද මේනකාගෙ පපුවට දැනුණා. එයාගෙ නැටවෙන දිගටි ඇඟිලිවලින් පපුව හාරලා ඒ ගල පපුවෙන් එළියට ඇදල දාන්න මේනකාට ඕන වුණා. ජර-බර ජග්-බග් ගාලා පපුව හාරගෙන හාරගෙන යන්න මේනකාට හිතුනා. පපුවක් නොතිබ්බ නම් කොච්චර එකක්ද……
පිරිමි ගැටයට අහුවුණු මේනකාගෙ පිරිපුන් හුරුබුහුටි කම්මුලේ රොහාන්ගෙ දකුණු කම්මුල සුපර් ග්ලූ ගාල වගේ ඇලවිල තිබුණා. රොහාන් ඒ සෙල්ෆිය ගද්දි බෙන්ච් එකේ වාඩිවෙලා හිටියෙ බාගෙට. එහෙම නැත්තං එයාට මේනකාගෙ කම්මුලට එයාගෙ කම්මුල අලවන්න වෙන්නෙ නෑ. කොහොම හරි මේ සෙල්ෆිය දෙතුන් වතාවක්ම ගන්න සිද්ධ වුණා. කැමරාව ෆෝකස් වුණේම දෙන්නාගෙන් එක්කෙනෙක්ගෙ මුණ බාගෙට වැදෙන විදිහට. බෙන්ච් පෝලිමේ තව කපල් හිටියත්, එතන පහුකරගෙන කී දෙනෙක් ගියත් රොහාන් ඒ කාටවත් ෆොටෝ එකක් අරන් දෙන්න කියල කිව්වෙ නෑ. එයාට ඕන වුණේ ඒක එයාගෙ අතින් ම ගන්න. ඒකෙත් පොඩි ගතියක් තියෙනවනෙ…..

ගානකට අඩු කරපු මූණ පුරා වවල තියෙන රොහාන්ගෙ රැුවුල මේනකාගෙ සිනිඳු කම්මුලේ ඇනෙනකොට දැනුණ සියුම් සීරිමක් බඳු වේදනාව මුසු කිතිය නිසා මේනකාගෙ ඉහේ ඉඳල දෙපතුලේ මාපට ඇඟිල්ලේ කොන දක්වා ම ක‍්‍රමයෙන් හිරිගඩු පිපීගෙන ආපු හැටි මේනකාට මතක් වුණා. ඒ විදිහටම හිරිගඩු පිපුණ පළවෙනි දවස තමයි අර බාස්කට් බෝල් පිච් එක එහා පැත්තෙ තියෙන පේ‍්‍රම විමානෙදි රොහාන් මුල් වරට ඇයව සිපගත්ත දවස. පිච් එක අයිනට වෙන්න තියන ඇකේසියා ගහෙන් වැහුණු අන්ධකාර වූ සිසිල් පේ‍්‍රම විමානෙ පස්සෙන් පහු මේනකාගෙ වධකාගාරය බවට පත්වුණා. ඇකේසියා ගහට හේත්තු වෙලා හිටපු මේනකාගෙ තද රතු පාට තොලේ වම් කොණේ තිබුණ තද කලූ ලපය සිඹින්න ගිය රොහාන්, තව අඟලක් මෙහාට කරල ඇගේ දෙතොලම සිපගන්න තරම් ‘රොමෑන්ටික්’ වුණා. පිරිමි ගැටය අටේ ඉලක්කමේ හැඬේට නෙමෙයි හැට හතරෙ හැඬේට ඇඹරිල වෙලිල තද වෙල ගලවන්නත් බැරි ගානට පැටලිල තිබුණා……

මේනකා මුලින්ම අම්මයි අප්පච්චියි එක්ක පළමු වසරට රෙජිස්ටර් වෙන්න එනකොට බලංගොඩ පඹහින්න පාර දෙපැත්තෙම දැක්කෙ ගෙවල්වලටත් වඩා ‘රූම්ස්’. රෙස්ටුරන්ට් එකේ නමටත් වඩා ලොකුවට තද කලූ නැත්තං තද රතු පැහැදිලි ඉංගී‍්‍රසි අකුරින් ‘රූම්ස්’ කියල ගහල තියනව. සමහර තැන්වල රෙස්ටුරන්ට් එකක් පේනතෙක් මානෙක නෑ, හැබැයි අතුරු පාරකට හැරෙන තැන ලොකු බෝර්ඞ් එකක ‘රූම්ස්’ කියල ගහල නම් තියනව.

”රූම්ස් 1000/-”
ආපහු යන ගමන එයාල ගියේ හපුතලේ පැත්තෙන්. ඒ යන අතරමගටත් ‘රූම්ස්’

රොහාන් හොඳටම රොමෑන්ටික් වුන, මේනකාගෙ මධු ග‍්‍රහයා හොඳටම උච්ච වුන දෙවනි දවස තමා එයාල හිරිකට්ටෙන් කන්න ගිය දවස. ගියෙ නම් දවල්ට කන්න කියල. හැබැයි ආපහු හොස්ටල් ආවෙ නම් ?ට කාලා. කොච්චර තදින් ගැට ගැහිල තිබුණත් මේනකා එදා පිරිමි ගැටේට හිර වෙලා හිටියෙ අමුතුම සතුටකින්. කියන්න තේරෙන්නෙ නැති ආශාවකින්. වින්දනයකින්. ඒ සුවය එයා කවදාවත් විඳල තිබුණෙ නෑ. ඒ ආශාවයි වින්දනයයි විස්තර කරගන්න බැරිව එයාගෙ උගුර යටින් හීන් කෙඳිරියක් එළියට ආවා. ඒ සුවය විඳින්න තියෙන පහසුම විදිහ තමා ඒ හීන් කෙඳිරිය. රොහාන්ගෙ ගොරෝසු ඇඟිලි මේනකාගෙ සිනිඳු ඉඟටිය, ළපටි ගෙල පුරා වෙල්වට් එකකින් පිරිමදිනව වගේ එහෙ මෙහෙ සක්මන් කළා. දිය පිපාසාවෙන් මිරිඟුව පසුපස දුවන මුවැත්තියක් වගේ මේනකා රාග පිපාසය පසුපස ලූහුබඳින්න ගත්තෙ නිරුත්සාහිකව ම. රොහාන්ගේ කිලෝ හැටපහ මේනකාගෙ ළපටි මල් නටුවට දැනුණේම නෑ. රොහාන්ටත් තිබුණෙ හරියට අරුන්දතී රෝයිගෙ නවල් එකේ වෙලූතට තිබුණ ජාතියෙ චොක්ලට් බොඩියක්. හැබැයි වයිට් චොක්ලට්. සික්ස් පැක් ගහන්න රොහාන් සෑහෙන ගේමක් දුන්නා. දැන් එයාගෙ ට‍්‍රයි එක ෂාරුක් ඛාන් වගේ එයිට් පැක් හදාගන්න.

ඒ මහා පුරුෂ දේහය ඇය දොළදුකක් සන්සිඳවනව වගේ විඳගත්තා. චොක්ලට් ඩි‍්‍රන්ක් එකක අමෘත රසය විඳිනව වගේ, විඳගත්ත. ආයෙත් අර හීන් කෙඳිරිය මේනකාගේ උගුර යටින් පිට වුණා. ආයෙත්….. ආයෙත්…… යටිබඩෙන් නික්මෙන අමුතුම හැඟීමක් ක‍්‍රමයෙන් එයාගෙ හිස්මුදුණ දක්වා ම ඇදිල ගියා. ලේ නහර උමතුවෙන් වගේ නලියන්න ගත්තා. ආයෙත් අර හීන් කෙඳිරිය පිට වුණා. මේනකාගෙ වම් කම්මුලත් ගෙලක් අතර හිර වෙලා තිබුණ රොහාන්ගෙ හුස්මපොදක් හදිස්සියකින් වගේ මේනකාගේ සිනිඳු කම්මුල රත් කරගෙන ඒ හිර බන්ධනයෙන් මිදිල ගියා. රාග සුවයෙන් වැහිල තිබුණ මේනකාගෙ දෑස් විවර වුණා.
”අම්මා!”

ඒක හරියට හොස්ටල් එකේ නතර කරල යන දවසෙ මේනකාව ආදරෙන් ඉඹගෙන ඉඹගෙන ගිය අම්මගෙ අර දුක්බර සුසුම මේනකාගෙ කම්මුල රත්කරපු වෙලාව වගේ. මේනකාට ඒ දුක්බර සෙනෙහෙබර සුසුම තවත් ඇහෙනව දැනෙනව වගේ. මේනකාගෙ හදවත කඩාගෙන වැටුණා. එයාට නිකං ලැජ්ජාවක් වගේ අමුත්තක් දැනුණා. අම්මා එයාලගෙ ආදර යහන ළඟට වෙලා මේනකාල දිහා බලාගෙන ඉන්නව වගේ ගතියක් එයාට දැනුණා. ”දුව මේ වෙලාවෙ කොල්ලෙක් එක්ක කුණුහරුප නටනව කියල අම්මල ඇත්තට දන්නෙ නෑනෙ” කියල මේනකාට හිතුණා. ඒ අතරතුර රොහාන් හාදු වැස්සක් අරන් මේනකාව නාවනවා.

හාද්ද කෙසේ වෙතත් හෝරාවකට දෙකකට පස්සෙ ඛේට වැස්සකින් නෑවිල, තෙත්වෙල, පෙඟිල, මේනකා පේ‍්‍රම විමානෙන් එළියට එනවා. ඇගේ සුසිනිඳු කෙහෙරැුළි සෘජු බැවින් දකින කෙනෙක් ඇය පේ‍්‍රම විමානෙට ගිහිං පේ‍්‍රමයෙන් මුසපත් වෙලා එන ගමනක් බව දැනගන්නෙ නෑ. ඒත් රොහාන්ගෙ කැරළි ගැසුණු කෙහෙරැුළි එහෙ මෙහෙ වෙලා නළලට වැටිල, පෙලක් දවසට ඩෙනිමෙ උඩ බොත්තම ගලවගෙනම හොස්ටල් යනකොට යාලූවො දන්නව මේ මිරිස් ගල කහ කෑල්ල අඹරන්න ගිහිං එන ගමනක් කියලා. සමහර දවසට ගානකට අඩු කරපු මූණ පුරා වැවුණ රැුවුල් ගස්වල එතුණු දිග සෘජු කෙස් ගස් දෙකකුත් එක්කම හොස්ටල් යනකොට යාලූවෝ රොහාන්ට ඉන්න දෙන්නෙම නෑ.

ඊයෙ ? රොහාන්ගෙ දෝසෙත් එක්ක නිදාගෙන මේනකා අද උදේ මතක් කරලම ”ජී. එම්” කියලා යැව්ව. නිකං නෙවෙයි හොඳ හැටි මතක් කරලම ”ජී. එම් මගෙ රත්තරං පණ” කියලම යැව්ව.

ඒකත් එක විදිහක පුරුද්දක් වගේ. උදේට නැගිටල ඉබේටම ගිහිං මූණ හේදෙනවා වගේ, නග්නව ඉන්නෙ නැතුව ඉබේටම ඇඳුම් ඇන්දෙනවා වගේ උදේ නැගිටිනකොට ”ජී. එම් මගෙ රත්තරං” කියන එකයි නිදාගන්නකොට ”ජී. එන් මගෙ පණ” කියන එකයි හරියට බයිසිකලේක යනවා නම් හෙල්මට් එකක් පැළඳිය යුතුයි වගේ වැඩක්. හදවත පත්ලෙන්ම එන ආදරණීය හැඟීමක් එක්ක කරන ප‍්‍රාර්ථනාවක් විදිහට ඒ ගුඞ් නයිට් කියවිල්ල එළියට එන්නෙ නෑ.

නිදාගන්න හිතුනම රොහාන් එක පාරටම ”මං නිදාගන්නවා ජී. එන්., එස්.ඞී., බී.එස්. වස්තුව’” කියල එවනවා. ආයෙත් කතා කරන්නෙ පහුවදා දවල් දහයට තමා. අනික මොකක්ද මේ අකුරු කැටියක් එවන්නෙ? ඇයි මනුස්සයෙක්ට බැරි පිළිවෙළකට ආදරෙන් ජී.එන්. නොකියා ගුඞ් නයිට් කියන්න? බී.එස්. නොකියා බුදු සරණයි කියන්න? එස්.ඞී. නොකියා ස්වීට් ඞී‍්‍රම්ස් කියන්න? කොච්චර වැදගත් ද? මේක හරියට කාගෙදෝ නමක මුලකුරු පේළියක් වගේ. මේනකාට එහෙම කියන්න බැරි වුනොත් නැත්තං ගුඞ් නයිට් කියල විතරක් යැව්වොත් ”හම් එච්චරද හා” කියල රොහාන් රිප්ලයි කරනවා. ඒත් මේනකාට ආදරණීය හැඟීමෙන් ?ට සුභ පතන්න තරම් සිතිවිල්ලක් එන විදිහට රොහාන් හැසිරෙන්නෙ නැත්තං…..

මේක හරියට ”කැම්පස් ආවම ගර්ල්ෆ්‍රෙන්ඞ් කෙනෙක් ඉන්නම ඕනි” වගේ වැඩක්. කොල්ලෙක් වුනාම බොන්නම ඕන. ඒ නිසා බොනවා. බොන්නන් වාලෙ බොනවා. බෝයිෆ්‍රෙන්ඞ් කෙනෙක් වෙන්නත් වාලෙ වෙනවා. ඒ නිසාම කොහෙ හරි යන්නන් වාලෙ යනවා. කපල් එකක් වුනාම කොහේ හරි යන්නම එපැයි.

”එහෙම යන්න ඕන කියල නීතියක් නෑ”
”මොකද නැත්තෙ? හැම කපල් එකම යනව. සුරතලී, ඇඩිෂැම්, බඹරකන්ද, සමන්දේවාලෙ… අපිත් යන්නම ඕන”
”කාගෙ නීතීයක්ද ඕක? ඇයි වියදම් කරගෙන ඔය ගමන් යන්නෙ? එහෙනම් ඔයා මාව තියාගෙන ඉන්නෙ ඔයාගෙ ඕන එපාකම්වලට වෙන්න ඇති…… ඇවිදගෙන වැව පැත්තට යමු. දුර ගමන් යන්න බෑ”
”තමුසෙ විතරයි ඔහොම ඉන්නෙ. අනිත් උංගෙ කෙල්ලො තමා හැම තැනම රවුම් ගහන්නෙ. උන්ට ගමේ කොල්ලයි මෙහෙ කොල්ලයි. අපේ එවුං මට හින්ට් ගහනව හැම වෙලේම”

පුද්ගලික දේවල් කොහොමද හැමෝටම පොදු වෙන්නෙ? අපි කොහේ ගියත් මොනවා කළත් අනිත් අය දැනගන්න ඕන. අනිත් අයට ඕන විදිහට වෙන්නත් ඕන. එතකොට අපි දෙන්නගෙ පුද්ගලිකත්වෙ?

යාලූවෙලා ඉන්නව නම් පිරිමි ළමයට ඕන හැමදේම ගෑණු ළමයා දෙන්න ඕන. එහෙම නැත්තං ඒක චාරිත‍්‍ර වාරිත‍්‍ර කැඞීමක් වෙනවා. නැටුම් එපා. ඔය ගවුම් අඳින්න එපා. අහවලාට කතා කරන්න එපා. අරක එපා. මේක එපා, කියලා පිරිමි ළමයි මේ තරමට පරිපාලකයෝ වෙන්න හදන්නෙ ඇයි කියල මේනකාට හිතාගන්න බෑ. මට බෑ. එන්න වෙන්නෙ නෑ. අයියා කැමති නෑ හලෝ කියල ගෑණු ළමයි මේච්චරම යටහත් පහත් වෙන්නෙ ඇයි? තමන්ගෙ දෙමව්පියො අවසර දුන්නත් ජීවිතේට බොහොම මෑතකදි ඇතුල් වුණු පිටස්තරයෙක්ට කීකරු වෙලා තමන්ගෙ දක්‍ෂකම්, ස්වාධීනත්වය පරිහානියට පත්කරගන්නෙ ඇයි කියල මේනකාට තේරුණේ නෑ. කෙල්ලොන්ගෙ මෝඩකම ද? කොල්ලොන්ගෙ උද්දච්චකම ද? නැත්තං දෙකම ද?

”මේ වීක්එන්ඞ් එකට මං ගෙදර යනවා” ගිය සතියෙ මේනකා කිව්වා.
”ගෙදර?” රොහාන්ගෙ මූණ දැක්කම බෙරි වුණ බත් හැලියක් මතක් වුණා.
”හැම තිස්සෙම ගෙදර දුවනව. එපා යන්න”
”ඇයි මට ගෙදර යන්නත් ඔයාගෙන් අවසර ගන්න ඕනද? අපි තවම බැඳල නෑ”
”ඒක හරි ඉතිං…… ඒ වුනාට හැමතිස්සෙම ගෙදර දුවන්නෙ?”

දැන් කවුද හැමතිස්සෙම ගෙදර දුවන්නෙ? අනුෂ්කා නම් හැම සති අන්තෙම යනවා. ගෙදර යන නිසා ලැප් එකේ ලොග් අවුට් නොවුන රොහාන්ගෙ මේල් එකෙනුයි එෆ්බී එකවුන්ට් එකෙනුයි ලොග් අවුට් වෙලා ෆෝන් එකේ තිබුණ පින්තූරෙ ලැප් එකට දාල පාස්වර්ඞ් එකකුත් දාන්න මේනකා ලෑස්ති වුණා.

”ඒකෙනුත් ලොග් අවුට් වෙනව. මහ පුදුම කෙල්ලෙක්නෙ. කෝ අර ෆොටෝ එක? ඒකත් දාල ලැප් එකට”

මේක මහ පුදුම වැඩක්නෙ. මෙච්චරම ආධිපත්‍යයක්? එයාලට ඕන විදිහට විතරම ද ගෑණු ළමයි ඉන්න ඕන? මේක මහ හිසරදයක්. ඔන්න අර මහාමේරූ පර්වතය ආයෙත් මේනකාගෙ පපුව ඇතුළට ඩොග් ගාලා වැටුණා. සක‍්‍ර දේවේන්ද්‍රයගෙ පඬුපුල් ආසනය රත්වෙනව වගේ පර්වතය ටික ටික ගිනියම් වුණා. ඒ ගිනියම මේනකාගෙ කන් දෙකෙනුයි ඉස්මොල්ලෙනුයි පිටවෙන්න ගත්තා. ඊටත් වැඩියෙන් ඒකෙ බර…… ඒ බරට මේනකාගෙ දත් ඇන්ද තදින්ම පූට්ටු වුණා. මූණෙ ලේ නහර සේරම හිස් වුණා. පෙණහලූ තදවෙල ගල්වෙලා හිර වුණා. කන්දෙක මහ සද්දෙන් හෝ ගාන්න පටන්ගත්තා. ඒ අතරෙ රොහාන්ගෙ කඩවසම් මුහුණ රත්වුණ මුට්ටියක් වගේ මේනකාට පේන්න ගත්තා. ඇයි මෙච්චරම පිරිමි ළමයි ගෑණු ළමයින්ගෙ නිදහස උදුරගන්න හදන්නෙ? ඇයි එයාලා මෙච්චර බලහත්කාරෙන් ගෑණු ළමයට අයිතිවාසිකම් කියන්න පෙළඹෙන්නෙ කියල මේනකාට නම් තේරුම් ගන්නම බැරි වුණා.

”කවුද ඒ?”
”කසුන් කියල ළමයෙක්. ඔරියන්ටේෂන් එකේදි අපිත් එක්ක ඩාන්සිං ගෲප් එකේ හිටියා”
”මොකද ඌ එක්ක කතා කරේ? අපේ එවුං මට පස්ස පැත්තෙන් හිනා වෙවී ගියා”
”එතකොට ඔයා මගෙ යාලූවන්ට මැසේජ් කරන්නෙ? අර මැනේජ්මන්ට් එකේ කෙල්ලො දෙන්නට එෆ්බී එකෙන් කතා කරන්නෙ? අර කෙල්ල? නන්-ඇකඩමික් කෙල්ල? ඒ කෙල්ලට වෙන සිම්වලින් මැසේජ් කරන්නෙ…….?” එතකොට රොහාන්ගෙ කට සීල් වෙනව. එයාගෙ යාලූවො මොකට තමන් ගැන එච්චර වද වෙනවද කියල මේනකාට තේරුම්ගන්න බෑ.

”කහ කෑල්ල…… ඉටි රූපෙ ….. බාබි ඩෝල්…..” ඒගොල්ල මේනකාව නිර්වචනය කරපු හැටි.
”උඹේ කොක්ක අන්න කවුද මල පෙරේතයෙක් එක්ක කතා කර කර ගියා”
”අපෝ උඹේ කොක්ක මහ පඩත්තල එකියක්නෙ. දැක්කම ගුඞ් මෝර්නිං කියන්නෙත් නෑනෙ”
”මොකද බං උඹේ කෑල්ල මෙච්චරම උඹ එක්ක ගමන් යන්න අකමැති”

ඇද-කුද හොයනව ඇරෙන්න මෙයාලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඇත්තටම? ඊට පස්සෙ රණ්ඩු. කොහොමත් දවස් දෙක තුනක් යනකල් ග‍්‍රහය නීච වෙලා ඉන්නව.
”අපේ එවුං මට හිනාවෙනව. හින්ට් ගහනව. තව පොඞ්ඩෙං මං එකෙක්ගෙ දත් දෙකක් ගලවනව. තමුසෙට මොකද? තමුසෙට ඔක්කෝටම වඩා සී.ඒ. එක ලොකුයිනෙ”

අනුන්ගෙ ඊර්ෂ්‍යාවට බෙහෙතක් විදිහට තමන්ගෙ ඇගයීම, ලෙක්චර්ස් අවුල් කරගන්න තරම්, තමන්ගෙ බඩගින්න කැපකරන්න තරම් උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල පේ‍්‍රමවන්තයො පේ‍්‍රමවන්තියො මෝඩ වෙනව, බොළඳ වෙනව කියන්නෙ හරිම විකාර ප‍්‍රශ්නයක් කියල මේනකා හිතුවා.

මේ බහුරූප, විකාර, ලට්ට, ලොට්ට් එක්ක එහෙට්ට මෙහෙට්ට කැලති කැලති තිබුණ. මේනකාගෙ ලූණු නැති කිරිහොදි හැලිය ටිකෙන් ටික මිරිස් හොදි හැලියක් වෙන්න ගත්තා.

මේනකාගෙ කකුල් දෙක වටේ මදුරු මළ කඳන් පහළොවක් දාසයක් විතර විසිරිලා තිබුණා. අනුෂ්කගෙන් මැසේජ් එකක් ඇවිත්ද කොහෙද ෆෝන් එකේ පුංචි ලා නිල් පාට එළිය නිවි නිවී පත්තු වුණා. පපුවෙ හිරවෙලා තිබුණ මහාමේරු පර්වතය දැං ලොකුම ලොකු ප‍්‍රශ්නාර්ථෙක හැඬේ අරං මේනකාගෙ ඔලූවටම නැගල ….. පිරිමි ගැටේට හිරවෙලා හිටපු මේනකාගෙ හිතේ තියෙන්නෙ සතුටකට වඩා කලකිරීමක් වුණත් මේ සම්බන්ධෙ අතරමත නතර කරන්න පුලූවන්කමක් මේනකාට තිබුණෙ නෑ. අනේ කොහොමද එහෙම කරන්නෙ? හීනෙකින් වත් බෑ…… ඒත්, මොන වදයක් ද මේ කියලත් එයා නොයෙක් වර කල්පනා කළා.

එළියෙ මහ අමුතු හඬක් එක්ක තදේටම හුළං හමනව. හොස්ටල් එක ඉස්සරහ තියන කොළ හැලූණ වෙරළු ගහ ආවේස වෙච්ච ආතුරයෙක් වගේ ලවක් දෙවක් නැතුව එහෙ මෙහෙ වැනෙනව. ඇඹරෙනව. කැරකෙනව. සේරම ගස්වල කොළ සබරගමුවෙ හුළඟට ගහගෙන ගිහිං. හරියට සොකරි නටන නග්න මිනිස් රූප වගේ ඇඹරෙනව. කාලෙකින් වැස්සෙ නෑ.

දැං ඉතිං මොකද කරන්නෙ? රොහාන්ව යාලූ කරගන්න තියන හොඳම විදිහකට මේනකාගෙ හදවත කියන ලූහුඬු දැන්වීම් පිටුවෙ ඇබෑර්තුවක් ඇති වුණා. තව දවසකට විතර සීතා ඇන්ටිට කෑම ඕඩර් නොකර ඉන්න හිතාගෙන අතේ තිබුණ ෆෝන් එක මේසෙ උඩින් තියපු මේනකා, ඒ පමාවටම ආයෙත් ඒක අතට අරන් ”මං හෙට ලෙක්චර්ස් එන්නෙ නෑ අනූ” කියල මැසේජ් එකක් ටයිප් කළා…….

වළා කැරලි by Oakindage Thilakaratne

වසර පහළොවක් ම ගෙවී ගියද අතීතයේ දැල්වුණු ගිනිදැල් තවමත් මුළු සිරුර ම දවා අළු කරයි.

”චෝස්” ගා සරස්වතී ඉඳුල් වතුර කොරහ එළියට විසි කළාය. කඳු අතරින් හිරුඑළිය නිදි ගැට කඩමින් එළිය කිරීමට සැරසුණත් මීදුම එයට මග අවුරාලීය. එකිනෙකා පරයමින් නැගී සිටී කඳු පන්තිවල බටහිර පාමුල පිහිටි ගස් පන්ති කිසිදිනක නැගෙන හිරු දැක නැත. ”ඈ මුත්තු උඹ අදත් ඉස්කෝලේ යන්නේ නැද්ද?….” ඇන තියාගෙන කූඩැල්ලෙකු සුරතල් කරන තම පුතාගෙන් සරස්වතී ඇසුවේ සැරෙනි. පිටුපසට හැරී මුත්තු අඟුරු කෑල්ලක් හපමින් ඇඟිල්ලක් කටේ ගසා සිනාසුනත් ඔහුගේ මුහුණත් කටත් වෙන්කර හඳුනාගත නොහැකි විය. සරස්වතී කොලූවා දෙස මොහොතක් බලා සිට ගෙතුළට ගියා ය. කොලූවගේ ඇට ටික විතරයි සිතමින් සරස්වතී පිටි ගුලිය වඩවා රොටියක් පිච්චුවා ය.

වැස්සට සේදී දිය සෙවල බැඳී ඇති අඩි පාර මැද ගෙවී ඇති සෙරෙප්පුව ලිස්සන බැවින් මුත්තු දෙපස වැවී ඇති තණබිසි මත අඩිය තබමින් ගමන් කළේය. ඇඟ දැවටෙන තේ පඳුරුවල ඇති පිණිවලින් නෑවුණ කලිසම හොඳටම තෙත බරියම් වී දෙකලවාවලට ද දැනේ. දොළ හරහා දමා ඇති පොල්කොට ඒදණ්ඩ මතින් යාමට නම් සෙරෙප්පු දෙක අතට ගත යුතුමය. නැතිනම් පොත් ටිකත් තෙමාගෙන නාගෙන ආපසු ගෙදරටම යාහැකිය. පුරුද්දට මෙන් එගොඩ වී රොටියේ කෑල්ලක් කෑලි කෑලිවලට කඩා මාළුවන්ට විසික්කර පාසලට පය ඉක්මන් කළේය. අඩි පාරවල්වලින් එකා දෙන්නා බැගින් එන ළමයි පාසල අසල දී ගොඩක් බවට පත් වේ. ගෙදරටත් පාසලටත් ඇඳි කලිසමෙහි තට්ටම් ප‍්‍රදේශය හිල්වීමට ඔන්න මෙන්න කියා තිබිණ. හැමදාම මෙන් අදත් පාසල් නුහුරු තැනක් මෙනි ඔහුට හැඟුනේ.

හිරුගේ අවසන් ශේෂය ද කඳු ගැට්ටට වැසී ගියේ ය. වලාකුළු කැරලි ගසන්නේ අඳුර ගිල ගනිමින් පොළවට පාත්වීමට මෙනි. කෝවිලේ සීනු නාදය ඇසුනු සරස්වතී එදෙසට හැරී මුරුගන් දෙවියනේ මගේ මිනිහත්, කොල්ලාත් රැුක දෙන්න යැයි සිතින්ම දෙවියන් වැන්දා ය. ඇය උදේ පටන් හවස් වනතුරු වත්තේ දළු කඩා තකහනියක් ගෙදර පැමිණෙන්නේ ගෙදර උන්ට කන්න මොනවා හෝ රත්කර දීමට ය. අගුවෙහි දමා තිබූ තේ ඉපල් ටික ද පිණි බැහී ඇති බැවින් උගුර වියළෙන තුරු ලිපට පිඹිය යුතු ද වේ. දවල් දවසේ ම ගිනි අව්වත් සමඟ පොර බදිමින් වත්තේ දළු කඩා ගෙදර පැමිණියාට පසු ද බීමත් තාත්තාගෙන් වන කරදරවලට ද මුහුණ පෑම හේතුවෙන් තම මව වයසට වඩා මහළු වී ඇති බව වයස අවුරුදු අටක් වුව ද මුත්තුට සිතුණි.

උඩුපුස්සැල්ලාව කන්ද වළා පටලයෙන් වසා හමාර ය. අන්ධකාරයත් සමඟ පැමිණෙන අඳෝනාව යන්තමින් තේරෙන වයසේ සිට මුත්තු අත්දැක ඇතත් එයට ඇති බිය කිසි දිනෙක සිතින් පහව නොතිබිණි. පුතේ බුදු පහන පත්තු කරපන්…. මවගේ විධානයෙන් පහන දල්වා වැඳ කුප්පි ලාම්පුව ද දැල් වූ ඔහු කුරුම්බැට්ටිය අතට ගෙන කරකවමින් සිටියේ ලූණුවත්ත නගරයේ ලොරිවලට එළවළු පටවා අදවත් තම පියා සිහි බුද්ධියෙන් ගෙදර පැමිණියහොත් පැන්සල් පෙට්ටියක් ගැනීමට මුදල් ඉල්ලා ගැනීමට හැකි බැව් සිතමින් ය.

කිරි කැටි මීදුම් ගුලි පාත් වුව ද වැස්ස දුර ගොසිනි. වළිකුකුළන් එකා පසුපස එකා තම ලැගුම්හල් වෙත ගමන් කරයි. පහළ ගම් දෙසින් ඇසුණ හූ හඬට මව හා පුතා මිදුලට බැස කන් යොමා සවන් දුනි. හූ හඬට යාව තිත්ත නොසරුප් හඬ ද දැන් දැන් ඇසේ. එම හඬ හඳුනාගත් සරස්වතී ඇඳ සිටි රෙදි කොන ගසා දමා ගෙතුළට වැදුණා ය. ”පර බල්ලෝ එනවා මට හූ කියන්න. අඩෝ මම සිරිපාල. මම දකුණෙ. උඹලා එකෙක්වත් මට ලොකු නෑ අඩෝ….” හතර අතට පැද්දි පැද්දි පැමිණි සිරිපාල හරකෙකු පත බෑවෙන්නාක් මෙන් උළුවහු කොනේ ද හැපී බිම ඇද වැටුණේ ය. ”පර බල්ලෝ එනවා මට හූ කියන්න. අඩෝ මම සිරිපාල….” ගෝරනාඩුව කෙඳිරිල්ලක් බවට හැරී ඇත. මාතර දික්වැල්ලේ උපන් සිරිපාල තම ඥාතියෙකු සමඟ ගැටවර වියේ දී ම වැලිමඩට පැමිණි අයෙකි. සරස්වතී සිවම්මා මව සමඟ ලකී ලෑන්ඞ් වත්තේ දළු ගෙන යනවිට ඇය සමඟ හාදව විවාහ වී තම හිතවතුන්ගේ ද උදව් ඇතිව බෙරලියපොළ රජයේ ඉඩමක අනවසරයෙන් කුඩා නිවසක් තනා එහි පදිංචි වූයේ ය.

දුරුතු හීතලට ගැහෙමින් රැුහැයියන් කෑ ගසද්දී මුත්තුට සීත අහලකටවත් පැමිණ නැත. දොරපළුව උළුවස්සට හේත්තු කළ සරස්වතී පැදුරු කඩමාල්ලේ ගුලි වී සිටින තම පුතාත් හතරගාතයෙන් බිම වැටී සිටින තම ස්වාමියාත් දෙස බැලූවේ දැඩි වේදනාවක් සිතෙහි දරාගෙන ය. ”ඒයි, ඒයි, බත් කන්න….” කොතෙක් දුක් දුන්න ද ඔහු තම ස්වාමියා නොවේ දැයි සිතමින් ඇය සෙමෙන් ඔහුට කතා කළා ය. ”ඒයි ඒයි කන්න….” ”කන්න, කන්න තෝ පර බැල්ලි. තෝ කසිප්පු රාජාට මොකට ද බැන්නේ? මම තොගේ අම්මගෙ අප්පගේ සල්ලිවලින් ද බොල බොන්නෙ?….” ගෙතුළ ශබ්දය ටිකින් ටික උස් විය. පතබෑවී සිටි සිරිපාල දැන් ඇණ තියාගෙන ය. ”මගේ අම්ම අප්ප මැරිලා. ඒත් දැන් ඔහෙත් අප්ප කෙනෙක් කියලා අමතක ද? පොඩි එකාගෙ ඇට ගොඩ විතරයි. ඌට කන්න නෑ. අඳින්න නෑ. ඉස්කෝලේ ගෙනියන්න පොතක් නෑ. මේවා දකිනකොට මගේ පපුව හෝස් ගාලා ඇවිලෙනවා. අනේ මුරුගන් දෙවියනේ….” සරස්වතීට හැඬුම් එයි. ”බැල්ලි තෝ මට බණ කියන්න එනව ද? පර බැල්ලි….” අඩියට දෙකට ඇය ළඟට පැමිණි සිරිපාල සටාස් පටාස් ගා සරස්වතීගේ කම්මුලට ගසාගෙන ගියා ය. මෙතෙක් වේලා නිදාගෙන මෙන් සිටි මුත්තු ඉබේට ම නැගිටුනි. ”අනේ තාත්තේ අම්මට ගහන්න එපා. අනේ තාත්තේ…. මුත්තු විලාප තියයි. ”පල නොට්ටිගෙ පුතා අහකට….” අතින් අල්ලා ඇද දැමූ මුත්තු දොර ළඟට ම විසික් වී ගොස් වැටුණේ ය.

කුළුගෙඩි පහරවල් මෙන් පහරවල් එක පිට එක අතින් ද, පයින් ද සරස්වතීට එල්ල වූවා ය. මුත්තුගේ කෑගැහිල්ලත් සරස්වතීගේ කෑගැහිල්ලත් එකම අඳෝනාවකි. දිනපතාම ඇසෙන ඔවුන්ගේ අඳෝනාව ගම්මුන්ට සාමාන්‍ය සිද්ධියක් බවට පත් වී තිබුණි. වැරෙන් වැදුණු සිරිපාලගේ පා පහරකින් බිත්තියේ එල්ලා තිබූ ලාම්පුව ද බිම දමාගෙන සරස්වතීගේ හිස මුත්තුගේ දෙපා මුල බිම වැදුණා ය. ලාම්පුව පෙරළී එහි තිරය පසෙක ගිනි ගනී. යක්ෂාවේශ වූ සිරිපාල වෙව්ලමින් දත්කූරු සපමින් බිත්ති කෙළවරේ සිටී. පා පහරින් ඇද වැටුණු සරස්වතීගේ හිසෙන් ගලා ගිය රක්ත වර්ණ රුධිරය ගොම මැටි පොළව පොඟවමින් ගලා යන අයුරු ලාම්පු එළියෙන් දුටු මුත්තු මවගේ හිස අල්ලා බැලූවේ ය. කිරිපොවා උණුසුම් කල ප‍්‍රාණ සම මෑණියන්ගේ සිරුර නිසල ය. ඔහුට සිහි එළවා ගත නොහැකි විය. ”මගේ අම්මා….” බියත් වේදනාවත් දරාගත නොහැකි ශෝකයත් විසින් එකවර පහර ලැබූ මුත්තුගේ සිතෙහි තම පියා කෙරෙහි ඇති වූ වෛරය නිමක් නැත. සිහි විකල් වූ මුත්තු ඇරී තිබුණු දොර පළුවෙන් එළියට පැන වේගයෙන් දිව්වේ ය. හිසට නිනව්වක් නැත. ඝණ අඳුරේ පය පැකිලී ගල්වල හැපී ඇද වැටුණු වාර අනන්ත ය. දණහිසෙන් ද, වැලමිටෙන් ද ලේ ගලා යයි. හදවතේ වේදනාව ඊට සම නොවේ. මෙතෙක් වේලා කොපමණ දුරක් දිව්වා දැයි ඔහු නොදනී. ”මගේ අම්මා….” ඔහුට සිහි වන්නේ එපමණකි. ලූණුවත්ත පාර අයිනේ එළවළු පටවා අවසන් කර නවතා තිබූ ලොරි රථයකට නැගී මුත්තු එහි ගෝනි අතර සැඟවුණේ ය.

වසර පහළොවක් ම ගෙවී ගිය ද අතීතයේ දැල්වුණු ගිනිදැල් තවමත් මුළු සිරුර ම දවා අළු කරයි. මගේ අම්මා…. ඇය මිය ගියා නේද? මවගේ රක්ත වර්ණ රුධිරය පියාගේ පුපුරු ගසන දෑස් සිහිවන විට තවමත් හදවත බියෙන් සේ ම වෛරයෙන් ද සලිත කරවයි. ”පුතා….” ගෝපාලන්ගේ හඬින් මුත්තු ගැස්සී ගියේ ය. ”මොනව ද පුතා කල්පනා කරන්නේ?….” ”මුකුත් නෑ….” ඔහු කෙටියෙන් ම පිළිතුරු දුන්නේ ය. ”මම දන්නවා පුතා ඔයාට අතීතය තාමත් භයංකර හීනයක්. ඒත් අපි අතීතෙන් පාඩම් අරගෙන අනාගතය හදා ගන්න ඕන. යථාර්ථය කියන්නේ හෙවනැල්ලට නෙවෙයි පුතා. දැනුම් තේරුම් නැති කාලේ හිතේ පුරවගත්තු සිතුවිලි දැනුම් තේරුම් ඇති කාලෙදි හිතත් එක්ක ම තර්ක කරලා ඒවා විසඳගන්න ඕන. එදා මගේ ලොරියට ඔයා නැග්ගෙ ඔයාගෙ විතරක් නෙවෙයි අපෙත් වාසනාවට.” ඔහු පැවසුවේ සරුවට වැවී තිබූ එළවලූ කොටු දෙස බලාගෙනය. ”අපිට පුතෙක් නැති අඩුව මැකුවෙත් ඔයා තමයි පුතේ….” වෙනදා මෙන් නොව තමන් හදා ගත් පියාගේ කුමක් දෝ වෙනසක් මුත්තු දුටුවේ ය. ”පුතා මමයි අම්මයි හිතුවා මගේ අක්කගේ දුව ඔයාට කසාද බන්දලා දීලා මේ දේපල ඔක්කොම ඔයාට ලියලා දෙන්න. ඒත් ඒ ඔයාගේ කැමැත්තෙන් විතරයි.” මුත්තු ඔහු දෙස බලා සිටියා පමණි. ”පුතා ඔයා සිංහල වුනාට ඔයා අපේ ම පුතෙක්. අපි හෙට ම යමු. ඔයාගේ තාත්තාව බලන්න….” ගෝපාලන් මුත්තු ළඟින් නැගිට සිටිමින් පැවසුවේ ය.

රියදුරු අයියකච්චි හන්දියෙන් දකුණට හැරී අලිමංකඩ දෙසට රථය පැදෙව්වේය. තාත්තා කොහේ ඉන්නවා ද දන්නෑ. කමක් නෑ මට අම්මගේ සොහොන් කොත ළඟට ගිහින් පහනක් පත්තු කරන්න හරි පුළුවන්…. මුත්තු සිතුවේ ය. ගෝපාලන් පියාගේ බල කිරීම මත මේ ගමන ගිය ද මුත්තු අතීත සිදුවීම් මතක් කිරීමට ද අකැමැති ය.

වැලිමඩ නගරය එදා මෙන් ම අදත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. ශීත සුළං රැුළි රිය කවුළුවෙන් පැමිණ ගත දැවටෙන්නේ තමා අඳුනා ගත් සේ ය. රථය අඹගස්දෝව පසුකර ලූණුවත්ත නගරයට පැමිණි පසු හදවතේ ස්පන්දන වේගය වැඩි වී ඇතැයි ඔහුට සිතුණේ ය. පන්නලවෙල පාසල දුටු මුත්තුට අතීත සෙවණැලි එකින් එක මතක් වූයේ ය. අතුරු පාරවල්වලට කොන්කී‍්‍රට් දමා තිබුණ ද තේවතු පෙර සේ ම සරුවට වැඞී ඇත. තේ පඳුරු අතරින් ඇවිද ගිය ඔවුන් මුත්තුගේ නිවස සීමාවට පැමිණියේ ය. පෙර තිබූ කටුමැටි නිවස වෙනුවට සිමෙන්ති ගඩොලින් තැනූ කුඩා නිවසක් එහි වූයේ ය. අවුරුදු අටක් දහයක් වයසැති කොල්ලෙකු සහ කෙල්ලක මිදුලේ කෝම්පිට්ටු සාදයි. ඔවුන් අමුත්තන් දුටු විගසම පොල්කටු විසික් කර ගෙතුළට දිව්වේ ය. පිටුපසට හැරී සිටි කාන්තාවක් ගෙතුළ යමක් කරමින් සිටිනු දුටු මුත්තු තාත්තා වෙන ගෑනියෙක් ගෙනල්ලද දන්නෑ…. යි සිතුවේ ය. පැමිණි ගමනේ නීරස බවද මවගේ හා තමාගේ ජීවිතය විනාශ කළ පියා දෙවැනි ගැහැණියක විවාහ කරගැනීම පිළිබඳ කොහෙත්ම දරා ගත නොහැකි වූ කේන්තියකින් මුත්තු ආපසු හැරුණේ ය. ඔවුන්ගේ අඩි ශබ්දය ඇසී ගෙතුල සිටි කාන්තාව දොරකඩ වෙත පැමිණ ”මේ මහත්තුරු කවුද දන්නෑ…. යි ඇසුවා ය. එම හඬ මුත්තුගේ දෙකන් හරහා හදවත විනිවිද ගියේ ය. මුත්තු ඉද්ද ගැසුවාක් මෙන් සිටි තැනම නැවතුණි. උඩුපුස්සැල්ලාව කන්ද වසාගත් කළු වලාව හදවතේ ඇති කළ ගින්න නිවා දැමීමට මහා වරුසාවක් ඇති කළා සේ විය. දෑස් කඳුලින් තෙත් වුණි. නෙත දකින්නේ සිහිනයක් දැයි ආපසු හැරණු මුත්තුට සිතුණේ ය. දෑස් පොඩි කර බැලූවේ ය. මේ ඇය ම ය. ගොළු වූ දිව වචන තනයි. ”මගේ අම්මා….” රැුවුලකොට වැවී ඇති පැහැබර මුහුණ පැත්තකට පීරන ලද කොණ්ඩය හා පිළිවෙලකට අඳින ලද ඇඳුම් රාජකුමාරයෙක් සේ විය. වසර පහළොවක් නොව කල්ප ගණනාවක් නොදැක සිටිය ද තම කුසින් වැ¥ පළමු ප‍්‍රාණය සරස්වතීට හඳුනාගත හැක. ඇයගේ ළය පුරා සිර වී තිබු දාරක පේ‍්‍රමය පිටාර ගලා ගියා ය. ”මගේ පුතා….” හඬමින් වැළඳගන්නා මව හා පුතු දෙස ගෝපාලන් පවුල ලබා සිටියේ වාවාගත නොහැකි සතුටකිනි.